වර්ෂ 2016 ක්වූ ජූනි 16 වැනිදා බ්‍රහස්පතින්දා




නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 2

මෙරට වේදිකා ඉතිහාසය ගෙනහැර පාමින් නාට්‍ය හා රංග කලාව විෂය ඇසුරු කරමින් ලියැවෙන ලිපි මාලාවක්


නව තාත්වික නාට්‍ය කලාවක පුරෝගාමියා සුගතපාල ද සිල්වා

නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 2

හැටේ දශකය වනවිට 'මනමෙ' නාටකයෙන් ආරම්භව තිබුණු ශෛලිගත නාට්‍ය සම්ප්‍රදාය එක තැන පල්වෙමින් එහි පිරිහීමේ ලකුණු ප්‍රකට කළේය. ඊට හේතු වූයේ මහාචාර්ය සරච්චන්ද්‍ර වැනි නොමඳ කවීත්වයකින් හෙබියා වූ පෙළ රචකයන්, රංගනයේ පමණක් නොව ගී ගායනයේ හා නර්තනයේ ද කුසලතා සපිරි නළු නිළියන් සිංහල වේදිකාවේ අතිශය විරල වීමයි.

සුගතපාල ද සිල්වා 1962 දී 'බෝඩිංකාරයෝ' නාට්‍යයෙන් නව සංවාද (තාත්වික) නාට්‍ය සම්ප්‍රදායක් ආරම්භ කරන්නේ එවන් පසුබිමකදීය. එය සිංහල නාට්‍ය කලාවේ නව ප්‍රබෝධයක මං සලකුණක් බවට පත් වෙයි.

සුගතපාලගේ මුල්ම නාට්‍ය රචනය 'එක වල්ලේ පොල්'ය. එය 1959 ලංකා කලා මණ්ඩලයේ නාට්‍ය පිටපත් රචනා තරඟයෙන් දෙවැනි ස්ථානය දිනා ගත් නාට්‍යයකි. (පළමු ස්ථානය දිනා ගත්තේ හෙන්රි ජයසේන ලියූ 'පව්කාරයෝ' නාට්‍ය පෙළය).

'බෝඩිංකාරයී' ලියැවෙන්නේ ඉනික්බිතිවය. එය 1962 ද පිහිටුවා ගැනුණු 'අපේ කට්ටිය' නම් වූ නාට්‍ය කලා සංවිධානයේ පළමු නිෂ්පාදනය වන්නේය. ගතානුගතිකත්වය පිටුදකිමින් නූතනවාදී අදහස්වලින් ක්‍රියාකාරී වූ තරුණ කණ්ඩායමක් 'අපේ කට්ටිය'ට එක්ව සිටියහ. සුගතපාල ද සිල්වා, සිරිල් බී. පෙරේරා, ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර, රැලෙක්ස් රණසිංහ එහි ප්‍රමුඛයෝ වන්නාහ.

'බෝඩිංකාරයෝ' කාලීන සමාජය යථාර්ථවාදීව නිරූපණය කරන්නකි. 'බෝඩිංකාරයා' නම් වූ චරිතය වුව සමාජයට අලුත්ය. ගමෙන් නගරයට සංක්‍රමණය වන ඔවුන්ගේ ජීවිතවල පවත්නා නිස්සාර ස්වභාවය 'බෝඩිංකාරයෝ' අනාවරණය කළේය. මෙහිදී සුගතපාල යුරෝපයේ ප්‍රචලිත වෙමින් තිබූ සාංදෘෂ්ටිකවාදයෙන් කිසියම් අනුප්‍රාණයක් ලැබුවා යැයි කිව හැකිය.

නාට්‍යයක් වශයෙන් සාර්ථක වූ 'බෝඩිංකාරයෝ' නව සංවාද නාට්‍ය ප්‍රවණතාවයකට මුල පිරුවේය. අද දක්වා පැවත එන්නේ ඒ ප්‍රවණතාවයමය.

'තට්ටු ගෙවල්' (1964) සුගත්ගේ ඊළඟ නාට්‍ය නිර්මාණයයි. විවාහ ජිවිතවල පවත්නා සංකීර්ණත්වය මෙම නාට්‍යයේ අන්තර්ගත වූයේය. ප්‍රාණවත් සංවාද රචනයත්, කුසලතා පූර්ණ රංගනයත් 'තට්ටු ගෙවල්' සාර්ථකත්වයට පත් කළ ප්‍රධාන සාධක විය.

එතෙක් ස්වතන්ත්‍ර නාට්‍ය රචනා කළ සුගතපාල 1965 දී 'හරිම බඩු හයක්' නාට්‍යයෙන් පරිවර්තන නාට්‍යකරණයට ප්‍රවිෂ්ට වෙයි. 'හරිම බඩු හයක්' (සික්ස් කැරැක්ටර්ස් ඉන් සර්ච් ඔෆ් ඇන්ඩ් ඕතර්) ලුයිජි පිරැන්ඩෙලෝගේ රචනයකි. ආරක්කු වේදිකාව තුළ නළු නිළියනුත් - ප්‍රේක්ෂකයනුත් අතර පවතින පරතරය හැකිතාක් පියවන්ට උත්සාහ ගැනුණ මෙම නාට්‍යය වඩාත් වැදගත් වූයේ අන්තර්ගතය සම්බන්ධයෙන් නොව රංග කාර්යය සම්බන්ධයෙනි. නළු නිළියන් ප්‍රේක්ෂාගාරය වෙතින් වේදිකාවට යමින්ම, ඔවුන් සෘජුව ප්‍රේක්ෂකයන් ඇමතීම, වේදිකාව ක්ෂණිකව අඳුරු කිරිම් හා එළිය කිරීම් 'හරිම බඩු හයක්' හි දැක්ක හැකි වූ විශේෂතා කීපයකි. ගුණදාස අමරසේකර මේ ලක්ෂණ විවේචනය කළේ 'විජ්ජා කරණම්' කියාය.

සුගතපාල ඊළඟට යොමු වූයේ ටෙනිසි විලියම් වෙතය. ඔහු ඔහුගේ 'කැට් ඔන් අ හොට් වින් රූෆ්' නම් වූ නාට්‍යය 'හෙලේ නැග්ග ඩෝ'ං පුතා' (1966) නමින් සිංහල වේදිකාවට ගෙනාවේය. ටෙනිසි විලයම් මියගිය අවස්ථාවේ ඔහු අරභයා විශේෂ ලිපියක් ලියූ ගාමිණී හත්තොටුවේගම ඉතා වැදගත් කරුණක් සඳහන් කර සිටියේය. ඔහු මෙයින් කීවේ අපේ කට්ටියේ නාට්‍යකරුවන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණ තුළින් 'බෝඩිංකාරයෝ', 'තට්ටු ගෙවල්', 'රන්තෝඩු' තාත්වික නාට්‍ය කලාවට අලුත් මුහුණුවරක් දුන් නමුත් කලා කෘති වශයෙන් ඒවයේ ගැඹුරු සාහිත්‍ය රසයක් නැති නිසාදෝ පරිවර්තන අනුවර්තනවලට ඉල්ලුමක් ඇති වූ බවයි.

සුගතපාල ද සිල්වා පරිවර්තන නාට්‍යකරණයට යොමුවීමේ අධ්‍යාශය ඉහත සඳහනින් උද්ධරණය වෙයි. එහිදී ඔහු යොමු වන්නේ ටෙනිසි විලියම්ස් වෙතය.

ටෙනිසි විලියම්ස් ද විවාහ ජීවිතයේ සංකීර්ණතා පිරික්සා බැලූ නාට්‍යකරුවෙකි. එපමණක් ද නොවේ. ඔහු සමලිංගික සබඳතා අතෘප්තිකර ලිංගික ආවේශයන් ද විවරණය කළේය. ඔහුගේ නාට්‍ය මෙරට තුළ කෙතරම් ජනප්‍රිය වී ද කිවහොත් ඔහුගේ නාට්‍ය පහක් පමණ සිංහලට නැඟී වේදිකාගතව ඇත. 'අහස් මාළිගා' (හෙන්රි ජයසේන) 'වෙස් මුහුණු' (ධම්ම ජගොඩ) 'මවක් සහ දුවෙක් (වැලිකල රත්න) 'හිරු අවරට ගියාදෝ' (එස්. කරුණාරත්න) මෙන්ම 'හෙලේ නැග්ග ඩෝං පුතා' ද ඊට නිදර්ශනය.

විචරකයන් සඳහන් කර ඇති ආකාරයට නම් 'හෙලේ නැග්ග ඩෝං පුතා' අසාර්ථක නිෂ්පාදනයකි.

ඉන්පසු සුගත් නැවතත් ස්වතන්ත්‍ර නාට්‍ය රචනයකට යොමුවෙයි. 'නිල් කට්රොල් මල්' (1967) එම නාට්‍යයයි. ප්‍රවීණ කලා විචාරක බෙනඩික්ට් දොඩම්පෙගමගේ ඉල්ලීමක් පරිදි ඔහු මෙමඟින් කාශ්‍යප චරිතය වේදිකාවට ගෙන එයි. මෙය ශෛලිගත සම්ප්‍රදායට අනුගතව යමින් නිපද වූ නාට්‍යයකි. ඇතැම් තැන්වල වෙස් මුහුණු ද භාවිත වෙයි. ග්‍රීක නාට්‍ය හැදෑරීමෙන් ලත් අත්දැකීම් තමා මෙහිදී ප්‍රයෝජනයට ගත් බව සුගතපාල කියා ඇත.

1968 දී සුගතපාලට නාට්‍ය කලාව තවදුරටත් හදාරන්ට ශිෂ්‍යත්වයක් ලැබිණි. ඒ ලන්ඩන් නගරයේ ඩ්‍රාමා ලීගයේය. එංගලන්තයේදී ඔහුට ප්‍රථම වතාවට බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ නාට්‍යයක් (ගුඩ් වුමන් ඔෆ් සෙට්සුවාන්) දක්නට ලැබිණි. ඔහු ලංකාවට පැමිණි විගස කළේ එම නාට්‍යය සිංහලට පරිවර්තනය කිරීමය. 'හිත හොඳ අම්මණ්ඩි' එම නාට්‍යයයි. මෙහිදී සුගත් ටෙනිසි විලියම්ස්ගෙන් බ්‍රෙෂ්්ට මාරුවීම ඔහුගේ කලාත්මක චින්තනයේ හා නාට්‍ය භාවිතාවේ වැදගත් සංසිද්ධියකි. පන්ති සමාජයක් තුළ පුද්ගලයා වැදගත් කොට සැලකිය හැකි ද යන ප්‍රශ්නය සුගත් තුළ ඇති වූයේය.

මෝඩ දෙවිවරු තිදෙනෙක් හොඳ මිනිසකු සොයන්ට මෙලොවට එති. මෙම නාට්‍යයේ ප්‍රකාශ කරන්නේ මේ ලෝකයේ හොඳ මිනිසතු වශයෙන් ජීවත්වන්ට ඇති අතිමහත් අසීරුතාවයයි. හොඳ මිනිසුන්ට ජීවත්වන්ට බැරි ලෝකයක් තිබේ නම් එය වෙනස් කළ යුතුය යන දැක්ම මෙම නාට්‍යයෙන් ඉදිරිපත් කරයි.

'දුන්න දුනු ගමුවේ' (1972) සුගතපාල ඊළඟට නිෂ්පාදනය කළ නාට්‍යයයි. මෙය වෘත්තිය සමිති ව්‍යාපාරය, වැඩ වර්ජන සඳහා කියැවුණු නාට්‍යයකි. නාට්‍ය රචනයේදී ඔහු 'වේටිං ෆෝ ලෙෆ්ට්' නම් වූ නාට්‍යයෙන් කිසියම් ආභාසයක් ලබා ඇත. 'දුන්න' මුළුමනින්ම දේශපාලන නාට්‍යයකි. එය පසුකාලීනව දේශපාලන නාට්‍ය රැල්ලකට මුල පිරුවේය. සාංදෘෂ්ටිකවාදී සුගතපාල මරාගෙන මාක්ස්වාදී සුගතපාල කෙනකු මේ නාට්‍යයෙන් මතුවනු අපට පෙනේ. 'දුන්න' ප්‍රේක්ෂක - විචාරක දෙපාර්ශ්වයේම පැසසුම ලද නාට්‍යයකි. මහාචාර්ය සරච්චන්ද්‍ර පවා මෙය අගය කර ඇත.

'මුතු කුමාරි' (1973) ඇලෙක්සැන්ඩර් බ්‍රෙෆෝට් ගේ ' ඉර්මා ල' ඩු' නාට්‍යයේ පරිවර්තනයකි. මෙය එතරම් සාර්ථක වූ නාට්‍ය නිෂ්පාදනයක් ලෙස සැලකිය නොහැකිය.

'තුරඟ සන්නිය' (1975) ජුලියස් හේ නමැති නාට්‍යකරුවාගේ කෘතියකි. ('ද හෝස්) කලිගියුලා අධිරාජ්‍යයාගේ චරිතය ඇසුරෙන් මෙහි පෙළ රචනා වී ඇත. මින් කියැවෙන්නේ ඒකාධිපතිවාදය ගැනය.

ඉන්පසු සුගත් 'නන්දි විසාල', 'දෑවැද්දෝ', 'සත සහ සත' යන නාට්‍ය තුන පිළිවෙළින් නිෂ්පාදනය කළේය. මේවා සාර්ථක හෝ අසාර්ථක නාට්‍ය වීම කෙසේ වෙතත් මේ නාට්‍ය ප්‍රේක්ෂකයන්ට දිර වූ නාට්‍ය නොවුණු වගක් පෙනිණි. සුගත්ගේ සමකාලීනයකු වූ ආර්. ආර්. සමරකෝන් මේ නාට්‍ය සම්බන්ධයෙන් කියා සිටියේ ඒවා ප්‍රේක්ෂකයන්ගේ ඉහට උඩින් පියාසර කළ නාට්‍ය බවය.

මෙයින් 'සත සහ සත' විශේෂත්වයක් වූයේ එය 'මනමෙ' නාටකයට ද පාදක වූ චුල්ල ධනුද්දර ජාතකය පාදක කර ගැනීමයි. මෙය එම ජාතක කතාවට දුන් නව අර්ථකතනයක් බඳුය. මෙහි කුමාරයා කුමාරසිංහය. වැද්දා වැදිසිංහය. දිසාපාමොක් ඇදුරු මහාචාර්යවරයාය. සත සහ සත යනු මිනිසා හා මුදල් යන අරුතක් විහිදුවයි. මුදල් නිසා මනුෂ්‍ය හැඟීම් වෙනස් වන ආකාරය පිළිබඳ විග්‍රහයක් මෙම නාට්‍යයෙන් කරන්ට තමා උත්සාහ ගත් බව සුගතපාල කියා ඇත.

'ඇසළ සඳ අවන්හල' (1981) ජෝන් පැට්රික්ගේ 'ටී හවුස් ඔන් ද ඕගස්ට් මූන්' නාට්‍යයේ පරිවර්තනයකි. යටත් විජිතවල සිදු කෙරෙන දේශපාලන හා සංස්කෘතික සූරාකෑම මෙම නාට්‍යයෙන් විවරණය වන්නේය.

විචාරකයන් පිළිගන්නා ආකාරයට සුගතපාලගේ විශිෂ්ටතම නාට්‍ය නිෂ්පාදනය වූ 'මරාසාද්' (1986) බිහිවන්නේ ඉනික්බිතිවය. එය පීටර් වයිස්ගේ සුප්‍රකට නාට්‍යයක පරිවර්තනයකි. මෙම නාට්‍යය ඉතාම ගැඹුරු සංකීර්ණ කෘතියකි. එය මුළුමනින්ම දේශපාලනිකය. නිෂ්පාදනය ද අති දැවැන්තය. මෙහි නළු නිළියෝ 52 ක් රඟපෑහ. මෙම නාට්‍යයත් සමඟ සුගතපාලගේ නාට්‍ය ජීවිතයේ කූටප්‍රාප්තිය සිදුවෙයි.

'සාන්තුවර සෙබළාණෝ' (1991) සුගත් නිපද වූ අවසාන නාට්‍යයයි. මෙය කොන්ත්‍රාත් නාට්‍යයකි. මුනිවරයකු වන ශාන්ත ඉග්නේෂස් ලොයොලාගේ 500 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මෙය එම චරිතය කරලියට නැංවූවකි.

ඒ හැරුණු කොට සුගතපාල, සැමුවෙල් බෙකට්ගේ 'වේටිං ෆෝ ගොඩෝ' නාට්‍යය 'ගොඩෝ උන්නැහේ' නමින් පරිවර්තනය කර ඇත.

එසේම සුගතපාල ගුවන් විදුලි නාට්‍ය ගණනාවක් ද රචනා කර නිෂ්පාදනය කර ඇත.