වර්ෂ 2016 ක්වූ ජූනි 16 වැනිදා බ්‍රහස්පතින්දා




සුමිගෙන් අහන්න

‘පනාමුරේ ඇත් රාජා’ ලීවේ
රාජකරුණා ද? මලලසේකර ද?

වත්තල හේකිත්තේ ලක්ෂ්මන් රණසිංහ
ප්‍රශ්නය - පරසතු මල නමින් හැඳින්වෙන්නේ කුමන මලක්ද?
පිළිතුර -
කොබෝනීල මල. සුර අසුර සටනේදී තමන් සතු මලත් අහිමිව අසුරයන් යන්ට යද්දී අන් සතු මල තමන් සතු කර ගත් සුරයෝ ඊට 'පරසතු මල' යැයි කීවා.
මාතලේ ධර්මා ඒකනායක
ප්‍රශ්නය - 'මනමෙ' නාට්‍යයේ ගී ඇතුළත් ඹ්ර්‍ථ තැටියක් නිකුත්ව තිබේද?
පිළිතුර -
ඔව්. 'සංගීතා' ලේබලය යටතේ නිකුත්ව තිබෙනවා. එහි ගී ගැයුවේ 'මනමෙ' මුල්ම නළු නිළියන් වූ බෙන් සිරිමාන්න, ට්‍රිලීෂියා ගුණවර්ධන, එඩ්මන්ඩ් විජේසිංහ, ශ්‍යාමන් ජයසිංහ යන අයයි.
අත්තනගල්ල විමලසේන හපුතන්ත්‍රි
ප්‍රශ්නය - 'පනාමුරේ ඇත්රාජා' ගීතය ලීවේ ආනන්ද රාජකරුණා ද? නැත්නම් ඒ ගීතය ගැයූ සුගතපාල මලලසේකරද?
පිළිතුර -
ඒ පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. මලලසේකර කියනවා එයා ඒ ගීතය ලියා ගායනා කළා කියලා. නමුත් ආනන්ද රාජකරුණා, මලලසේකර සමඟ පනාමුරේ ඇත්ගාල නැරඹීමට ගිය ප්‍රකට ගායක සී. ටී. ප්‍රනාන්දු කියන්නේ රාජකරුණ ගීතය ලියා මලලසේකරට භාර දුන් බවයි.
මේ ගීතය ග්‍රැමෆෝන් තැටි සමාගමක් එක්ක කතා කරගෙන තැටිගත කරන්න. යන වියදම මම ගෙවන්නම් කියා රාජකරුණා කී බව සී. ටී. සඳහන් කරයි.
කොස්වාඩියේ ෂෙල්ටන් වීරවර්ධන
ප්‍රශ්නය - ප්‍රවීණ පුවත්පත් කලාවේදී ගුණදාස ලියනගේ කාලයක් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ ප්‍රවෘත්ති ලේකම් තනතුර දැරුවාද?
පිළිතුර -
නැහැ. ඩේවිඩ් කරුණාරත්නගෙන් පසු ඒ තනතුරට යෝජිත වුණේ ලියනගේ තමයි. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළා. ආචාර්ය සරත් අමුණුගම මාර්ගයෙනුයි ඒ යෝජනාව ආවේ.
වාද්දුව අනුලා ගල්හේන
ප්‍රශ්නය - 'සොර්බා ද ග්‍රීක්', 'ද ලාස්ට් ටෙම්ප්ටේෂන් ඔෆ් ජීසස් කයිස්ට්' යන සුප්‍රකට නවකතා ලියූ නිකොස් කසන්ට්සාකිස් වරක් ලංකාවට පැමිණියාද?
පිළිතුර -
ඔව්. ඒ පිළිබඳව ඔහු යම් යම් සටහන් තබා තිබෙනවා.
පූගොඩ සරත් නාවින්න
ප්‍රශ්නය - සී. ටී. ප්‍රනාන්දු ගයන 'බිළිඳා නැළවේ උකුලේ' ගීතය රචනා කළේ කවුද?
පිළිතුර -
ඇලන්සන් පියදාස.
නිකවැරටියේ අමල් ඉන්ද්‍රජිත්
ප්‍රශ්නය - දේව් ආනන්ද් ග්‍රෙගරි පෙක් වගේ නම් ශම්මි කපූර් කවුරු වගේද?
පිළිතුර -
බර්ටි ලැන්කැස්ටර් වගේ.
ජාඇළ දෙහියගාතේ අමරදාස පද්මපෙරුම
ප්‍රශ්නය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ 'පරසතු මල්' චිත්‍රපටයට ගී ලිව්වාද?
පිළිතුර -
ගීත දෙකක් ලිව්වා. ඒත් ඒවා චිත්‍රපටයට යොදා ගැනුණේ නැහැ. එය සාර්ථක රචනා දෙකක් නොවූ බව 'පරසතු මල්' චිත්‍රපටයේ නිෂ්පාදක චිත්‍ර බාලසූරිය කියා සිටිනවා.
කැලණිය පෙතියාගොඩ ආර්. ඒ. අමරසිංහ
ප්‍රශ්නය - බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න කතා රචනයේදී දෙමළ හෝ හින්දි චිත්‍රපට අනුකරණය කළාද?
පිළිතුර -
ඔහුගේ 'වනලිය' 'මිනල් කොඩි' නමැති දෙමළ චිත්‍රපටයේ අනුකරණයක්.
වෙන්නප්පුව පල්ලිය පාර වියානි ගුණවර්ධන
ප්‍රශ්නය - ලතා මංගේශ්කාර් උපන්නේ කිනම් වසරේද?
පිළිතුර -
1929 දී.
හික්කඩුව සීනිගම ඊ. දයානන්ද ද සිල්වා
ප්‍රශ්නය - සීමන් අප්පුගේ චරිතය වඩාත් දක්ෂ අයුරින් රඟපෑවේ ජෝ අබේවික්‍රමද? (සිරිපාල සහ රන්මැණිකා) රෙක්ස් කොඩිප්පිලිද? (මරුවා සමඟ වාසේ)?
පිළිතුර -
ජෝ අබේවික්‍රම.

මේ අයත් ප්‍රශ්න එවා තිබුණා. මුල්ලේරියාවේ පී. ඒ. ජයන්ත, අවිස්සාවේල්ලේ පී. වයි. අනුලාවතී, මහේෂිකා කුඩගම , පූගොඩ ඩී. බී. කුලතුංග, මුංහේනේ එච්. ඉන්ද්‍රපාල, වැලිගල්ලේ එච්. එම්. විජේතිලක, වැලිගම්පිටියේ කෙනත් පෙරේරා, සීදූවේ චමි ප්‍රනාන්දු, මූදුකටුවේ මිල්ටන් ප්‍රනාන්දු, වත්තල හේකිත්තේ ලක්ෂ්මන් රණසිංහ.

ඔබේ ප්‍රශ්න පහත ලිපිනයට යොමු කරන්න
‘සුමිගෙන් අහන්න’
‘සරසවිය’ ලේක්හවුස්, කොළඹ 10.