වර්ෂ 2016 ක්වූ ජූනි 16 වැනිදා බ්‍රහස්පතින්දා




අම්මා තරම් පරාර්ථකාමී ගැහැනියක් මා දැකලා නැහැ

අම්මා තරම් පරාර්ථකාමී ගැහැනියක් මා දැකලා නැහැ

අනෝජා වීරසිංහ මවගේ මතකය සිහිපත් කරයි

වරින්වර ඇද හැලෙන වැහිපොද තව නොබෝ වේලාවකින් ධාරානිපාත වැස්සක් වන බවට ලකුණු අවට පරිසරයේ ගැබ්ව ඇත. ඔන්න මෙන්න ඇද හැලෙන්නට තතනන ගැබ්බර අහස් කුස ඊට කදිම සාක්ෂියකි. මාස කිහිපයකට ඉහත වැහිපොදක් බලාපොරොත්තුවෙන් දෙනෙත දල්වා සිටි මහී මාතාවන් සිය ප්‍රීතිය පළ කරන්නට මෙන් එබී බලන ලා නිල්පැහැති තණ පළසේ ඇත්තේ ඇගේ සාරය නොවේද? එවිට ම මගේ සිතට පිවිසියේ අම්මේ, ඔබ ය.

දින කිහිපයක කලින් ඔබ වල් ගලවන්නට තැතැණූූ මහගෙදර ඒ බිම් කඩේ, පෙති එක දෙක වැවුණු වල්පැළ සෙමින් එබී බලන්නට සැරැසෙන අයුරු මගේ දෙනෙතට හසුවූයේ ඉබේම ය.

“මොනවද අම්මා මේ කරන්නේ. කුකුලවත් කැපුණ නම්”

ටික දිනකට කලින් මා පැවසූ කළ ඔබ සිනාසුණු අයුරු තවමත් මගේ හදවතේ ඇඳී නෑදී යයි. ඒ අතීතය පිළිබඳ සිතුවිලි මා හදවත මොදු කරන්නේ ශෝකී හැඟීම් සමුදායකි.

ඔබත් මේ මහීමාතාව මෙන් නොවේදැයි වරෙක මට සිතේ. මේ මහී මාතාව මෙන් ඔබ මොනරාගල හිඳීකිවුල ගම්පියසේ දරුවන් තනන්නට වෙහෙස වූ අයුරු මට අද මෙන් මතකය. එවිට ඈත අතීතයට අයත් ඒ සිදුවීම් එකින් එක මගේ සිතේ පෙළ ගැසෙන්නට වූයේ තරගයට මෙනි.

අප සියලුදෙනා පෙරටු කරගෙන ඔබ බදුල්ලේ සිට මොනරාගලට පැමිණියේ තාත්තාට රැකියාව අහිමි වීමත් සමඟ ය. ඒ වනවිට තාත්තා මොනරාගල ඉඩම රැගෙන තිබුණේ ඊට ටික කලකට පෙර ය. බොහෝ පහසුකම් මැද ගෙවුණු අපගේ ජීවිතය මොනරාගලට පැමිණි පසුව එසේ නොවුණු බව සැබෑ ය. එහෙත් ඒ දුෂ්කර බව අපට වගේ වගක් නොවීය. මන්ද රිසි සේ දුව පැන නටන්නටත්, කඩාගෙඩි කන්නටත් මුළු පරිසරයේ ම අයිතිකරුවන් වූයේ අප බැවිනි. ඒ සඳහා අප සමඟ ම මේ ගම් පියසේ වූ කුඩා දරුවන් ද සහභාගි වූයේ එක් මව්කුසේ උපන් උන් මෙනි. එවැනි කටයුතුවලට අපට, අම්මේ ඔබගෙන් ලැබුණේ නොමඳ සහයෝගයකි.

“සිරිවර්ධන නෝනා”

කටපුරා ගමේ උන් සියල්ලන් ම ඔබව ඇමතුවේ ඒ ආදරණීය නාමයෙනි. ඔබගේ සුරතෙන් යමක් නොලැබූ අයකු හිඳීකිවුල ග්‍රාමයේ නිවෙසක වෙත් නම් ඒ පුදුම සහගත ය. කුමක් හෝ දෙයක් ඉල්ලා ගෙන පැමිණියකු හිස් අතෙන් යවන්නට අම්මේ, ඔබගේ සිත කිසිවිටෙක ඉඩ නොදුණි. අපගේ නිවෙසේ අප සියල්ලන්ට ම අමතර තවත් කිහිපදෙනෙකුට ද සෑහෙන්න බත ඉදිණි. පාසල අවසන් වී අප සමඟ බඩවැටි දිගේ දඟ කරමින් පැමිණෙන ළමුන් කිහිපදෙනෙකුගේ ද කුස පුරවා මිසක, ඔබ ඔවුන්ට යන්නට නොදුන් වග නම් සහතික ය. සමහර විටෙක අප පැමිණෙන්නට පෙරාතුව කවුරුන් හෝ අහර නොගෙත් අයකු නිවෙසට පැමිණියහොත්, ඔබගේ නොමසුරු සුරත දිව යන්නේ අපගේ බත්පතට ය. එවැනි විටෙක අපට නැවත උයනතුරු බලා සිටීමට සිදුවුණු අවස්ථා එමට ය. ඔබට තිබුණේ එවැනි පරාර්ථකාමී සොඳුරු සිතකි.

එකල ඔබ මසාදුන් බතික් සල්වාර් ඇඳුමට මම බෙහෙවින් ප්‍රිය කළෙමි. ඒ ඇඳුමට කොපමණ ආදරය කළේ ද යත් දන්නේ මා පමණ ය. වරක් ගමේ පැවැති උත්සව අවස්ථාවකට සහභාගි වනු පිණිස මම ඒ ඇඳුම අඳීන්නට සිතා උන්නෙමි. එහෙත් පුදුමය නම් ඒ ඇඳුම තිබුණු ස්ථානයෙන් අස්ථාන ගතවීම ය. ඒ පිළිබඳ මා, ඔබෙන් විමසූවේ ශෝකයෙනි.

“මම ඒ ඇඳුම, ඇඳුම් නැති ළමයකුට දුන්නා. ඔයාට ඔය ඕන තරම් ඇඳුම් තියෙන්නේ.”

ඈ දුන් පිළිතුරෙන් මගේ නෙත් බොඳ විණි. ඒ කාරණා මූලික කර ගනිමින් මායා අක්කාත්, මාත්, මල්ලිලාත් ‘සරදියෙල්ගේ නංගී’, ‘වෙස්සන්තරගේ දුව’ ආදී විවිධ අන්වර්ථ නාම ඔබට පට බැන්දේ ඔබ සතුව තිබුණා වූ මේ පරාර්ථකාමී හදවත නිසාම ය.

එහි තරම යළිත් හෙළිවූයේ ඔබගේ දෙණ අසල දී ය. ඒ කාරණය අප සමඟ පැවසුවේ එකල ග්‍රාමයේ කුඩා දරුවකු ලෙස සිට දැන් වැඩිහිටියකු බවට පත්ව සිටි අයෙකි.

“ලොකු නෝනා ඒ කාලයේ ගමේ ළමයි හැමෝට ම කිරි බොන්න දුන්නා. ඒ වෙනුවෙන් ඈ අපූරු දෙයක් කරලා තිබුණ වග අපි දැන ගත්තේ අපේ දෙමව්පියන්ගෙන්. අපට කිරි බොන්න දෙන්න ඕන නිසා ම ඈ එළදෙන්නු පස්දෙනෙක් අරගෙන හදලා තිබුණා. උන්ගේ කිරියි අපට ඈ බොන්න දීලා තිබුණේ.”

එදින අද වනතුරුත් අප නොදත් රහසක් හෙළිවූයේ ඒ අයුරිනි.

සීලවතී සිරිවර්ධන

එදා පටන් ගෙනා ඒ හොඳ පුරුදු මියෙනතුරු ද ඔබ අමතක නොකළා ය. අප කොතෙක් දේ ගෙනැත් දුන්න ද ඒ සියල්ල ම අන් අයට බෙදන්නට ඔබට යන්නේ හෝරා කිහිපයකි. අප කොතෙකුත් චීත්ත ගෙනැවිත් දුන්න ද ඊළඟ දිනයේ යනවිට ද ඔබ ඇඟලගෙන සිටින්නේ පරණ චීත්තයම ය. එදා දුන් චීත්තය පිළිබඳ ඔබගෙන් විමසූ කලෙක අපට පාන්නේ සුපුරුදු සිනහවම ය. ඒ සිනහවේ ඔබගේ මුවෙන් නොපවසන කතා දහසක් ගැබ්ව ඇති බව මම දනිමි.

මහගෙදර අවට පරිසරයේ ඇත්තේ දැඩි නිහැඬියාවකි. ඒ නිහැඬියාව පවසන්නේ දින කිහිපයකට ඉහත ඔබගේ සමුගැනීම නොවේදැයි මගේ සිත විමසයි. ඒ ඇසිල්ලේ යළිත් මගේ සිත දිව යන්නේ මේ ගම් පියසේ ගෙවුණු ඒ සොඳුරු අතීතය වෙතට ම ය.

වන ගහනයෙන් යුක්ත හිඳීකිවුල ගම්මානය මිනිස් ගහනයෙන් යුත් ගම්මානයක් බවට පත් කරන්නට, අම්මේ ඔබ මෙන්ම තාත්තා ද ගත් වෙහෙස කුඩා දැරියකව සිටි මගේ මතකයේ දැනුදු සටහන්ව තිබේ. ඒ ගලක කෙටූ අකුරක් පරිද්දෙනි.

‘උගත්, බුද්ධිමත් දරුවන් සිටිය යුත්තේ සිය පවුලේ පමණක් නොවේ’

යන වගන්තිය ඔබ දෙපළ ඇදහූ එක ම බොදු වැකියයි. අම්මේ, ඔබ හා තාත්තා ගමේ පාසලක්, පන්සලක් තනන්නට මූලික වන්නේ ද ඒ නිසා ම බව අපි දන්නෙමු. එතැනින් නොනැවතී සමිති සමාගම් රැසකුත් පවත්වමින් හිඳීකිවුල ග්‍රාමය දියුණු කළේ එහි වසන්නේ සිය දරු කැල යැයි සිතමිනි. ඒ පුරුද්ද ඔබ මෑතක් වනතුරු ද අමතක නොකළා ය. ඉතා මෑතක වුවද ගමේ ඕනෑ ම කටයුත්තකදී ක්‍රියාකාරී සාමාජිකාවක ලෙස ඔබ කටයුතු කළේ තරුණියක ලෙසිනි. අම්මේ, ඔබේ ඒ ශක්තිය අද අප සිටින තැනට එන්නට පාර පෙන්වූ බවට කිසිවකුටත් රහසක් නොවේ.

ඔබ කෙතරම් ශක්තිමත් කාන්තාවක වීද යත් මේ සියලු කටයුතු සමඟ අප දොළොස් දෙනා ද රැක බලා ගත්තේ මහත් ආදරයෙනි. එකල තාත්තා ගම බලා පැමිණියේ මසකට වරකි. ඒ එනතුරු දඟ ළමයින් රැසක් වූ අප හදාවඩා ගැනීම ලෙහෙසි පහසු නොවීය. එහෙත් ඒ භාරධුර වගකීම කිසිඳු කන්කෙඳීරි ගෑමකින් තොරව ම ඔබ සියතට ගත්තා ය.

ඔබ උදෑසන ම අප සොයා පැමිණෙන්නේ කොහොඹ යුෂ කෝප්පයක් අතැතිව ය. කොහොඹ යුෂ බොන්නට අකැමැත්තෙන් මාත්, මායා අක්කාත් නිවෙස වටා දුව ගිය අයුරු අද ද සිහිපත් වන වනවිට මා මුවට නැගෙන්නේ සිනහවකි. අප කුඩාකල දියනාන විට හිස ගැල්වූයේ අද මෙන් සුවඳ සබන් නොවේ. උළුහාල් හා දෙහි ය. ඒවා හිස ගල්වන්නට අකැමැති වූ මාත්, අක්කාත් ගස් උඩ නඟින්නේ අම්මේ, ඔබගෙන් බේරී පලා යන්නට සිතමිනි. එහෙත් සිදුවන්නේ අනෙකකි. ඔබගේ අණ අපට වඩා ප්‍රබල වන්නේ සැනෙනි. කොකුම් පොතු ගලේ ගා මුහුණ සෝදා හැරියේ ද අම්මේ ඔබ දුන් ඔවදනට අනුව ය. ඒ සියල්ල ඔබ කළේ අප සියල්ලන්ගේ සනීපාරක්ෂාව පතා බව අද අපි දනිමු.

නිවෙසේ කටයුතු සඳහා ඔබට උදව්වට කිහිපදෙනෙක් ම සිටියහ. එහෙත් ඒ සියලු කටයුත්තක් ම ඔබගේ සුරතෙන් ඉටු කිරීමට තරම් ඔබ සූර තැනැත්තියක් වූවා ය. එදා ඔබ අතෙන් සැකසූ ඒ බත්පතේ රස මට මේ දැනුදු දැනෙන්නා සේ ය.

අම්මේ, කලා ලෝකයේ මේ තරම් දුරක් පැමිණෙන්නට තරම් ශක්තියක් මට ලැබුණේ ඔබගෙනි. පාසලේ පැවැත්වුණු විවිධ ප්‍රසංග, පන්සලේ පැවැත්වුණු පෙරහැරේ කළගෙඩි නර්තනය නටන්නට ඔබ මාව යොමු කළා ය. එපමණක් නොව කලා ලොවට පිවිසීමට මට ඔබගේ ආශිර්වාදය හිමි වූ එදින මා කෙසේ නම් අමතක කර දමන්න ද?

අනූතුන් වසරක් ගෙවී ගියද ඒ කාලයට ඔබගේ සිතේ වූ දිරිමත් බවත්, සෙනෙහසත් පරදන්නට නොහැකිව ළතැවිණි. හැරමිටියකවත් ආධාරයක් නොමැතිව ඇවිද ගිය ඔබ, නිතර ම තම කටයුතු තමා ම කර ගැනීමට පුරුද වූ අපූරු විලාසය අද ද මා පුදුමයට පතුකරනු නියතය.

මිය යන්නට පෙර ඔබ කොළොම්පුරවරයට පිවිසියේ අපගේ බලවත් ඉල්ලීම නිසාම ය. ඒ අව් රශ්මිය නිසා එක්වර ම ඔබගේ සමේ ඇතිවුණු ගැටලුවට බෙහෙත් කිරීම සඳහා ය. ඔබගේ සුවදුක් සොයන්නට මම නැඟණියගේ නිවෙසට ගියෙමි. මගේ පැමිණීමත් සමඟ එදින ඔබ කෙතරම් සතුටු වූයේ ද? සුපුරුදු ලෙස ඔබ ගයන ‘සෙනෙහස සොම්නස අතිනත ගත්දින’ ගීතය එදින ගැයුවේ ද මට අසන්නට ම ය. එහෙත් වැඩි කාලයක් මෙහි රැඳී සිටින්නට ඔබගේ සිතේ තිබුණේ නොකැමැත්තකි. ඔබ වඩාත් කැමැත්තක් දැක්වූයේ මොනරාගල ම වසන්නට ය. ඒ නිසා ඔබ යළිත් මොනරාගලට පිවිසියේ අප අතරින් සමුගෙන යන්නට පෙර දිනයේ ය. ඒ ඔබගේ තනි කැමැත්තට ය. එහිදී සිදුවූයේ නොසිතුවකි.

‘මට ටිකක් හුස්ම ගන්න අමාරුයි.’

එසැනෙන් ඔබව රෝහලට රැගෙන යන්නට ශියන් මල්ලීත්, සුමිත්‍රා අක්කාත් උත්සුක වූහ. මොනරාගල රෝහලේ වෛද්‍යවරුන් යුහුසුළුව ක්‍රියා කළේ ඔක්සිජන් ලබා දෙන්නට ය. ඔබගේ අසනීපය සුව අතට හැරුණු විගස මල්ලීත්, අක්කාත් සමඟ ඔබ කතාබහ කළේ සුපුරුදු සෙනෙහසෙනි.

එහෙත් නැවත් ඉක්මනට පැමිණීමට නම් ඉක්මනට යන්නට වුවමනාය. ලොව ඇත්තේ යාම් - ඊම් පමණක් බව සිහිපත් කරමින් මේ පොසොන් මාසයේ (6 වැනිදා) සවස 5.00ට පමණ ඔබ යන්නට ම ගියා ය. අප සියල්ලන් ම හැරදා යන්නට ම ගියා ය.

අදට ඔබ අප හැර ගොස් ගතවී ඇත්තේ සතියකුත් දින තෙදිනකුත් පමණි. කාලය ගත වී යන අරුමය. ටික වේලාවකට කලින් ඇරැඹුණු වැහිපොද මහවරුසාවක් බවට පෙරළී ඇත. වැහිපොද සීරුවට වැටේ. එහි ගැබ්ව ඇත්තේ අපූරු රිද්මයක් යැයි මට සිතේ. ඒ රිද්මයේ අරුමය මට කියා දුන්නේ අම්මේ ඔබ නොවේද? මම දෙනෙත පියා ගතිමි. මගේ සවන් රැඳී ඇත්තේ ඒ වැහිපොද වැටෙන රිද්මය මත ය. ඒ රිද්මය මට යමක් හඬ ගා කියයි. එහි ගැබ්ව ඇත්තේ අම්මේ, ඔබේ නාමයයි. කිසිදිනෙක මගේ හදවතෙන් ගිලිහී නොයන ඔබේ නාමයයි.