වර්ෂ 2016 ක්වූ ජූනි 16 වැනිදා බ්‍රහස්පතින්දා




නමක් හැදෙන කොට කතන්දරත් හැදෙනවා

නමක් හැදෙන කොට කතන්දරත් හැදෙනවා

ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්දගේ සිතුවමින්

ආකාසයෙන් මෙන් පාත් වී සුජිත් ඊළඟ වතාවේ රෝල්ව ගියේය. ඔහු නැගිටින්නට වෙර දැරුවේය. තොලට දැනුණු ලේ රස අමිහිරි බවක් ගෙනාවේය. කිසිවකු ඔහු ඉදිරිපිට යෝධයකු සේ සිටගෙන සිටියේය. එම මුෂ්ටි පහර වැදුණේ ඔහුගෙන් බැව් සුජිත් ඊළඟ මොහොතේ තේරුම් ගත්තේය. නැඟිට සිටියහොත් තවත් පහරක් කන්නට වනු ඇතැයි සිතුණි. සුජිත් එලෙසම බිම වැටී සිටියේය. තාර පාරේ උණුසුම රාත්‍රියේ නමුදු පහව ගොස් නැත. විදුලි පහන තිබුණේ මඳ දුරකිනි. තරුණයන් කිහිප දෙනෙකු සිටිනු ඔහුට පෙනිණ.

මැරයා සුජිත්ට ළං විය. ඔහුගේ සපත්තුවේ විසිවුණු දූවිලි සුජිත්තගේ නාස් පුඬුවලට ඇතුළු විය. ජීවිතය පිළිබඳ අප්‍රමාණ බියක් ඔහුට දැනිණ. චිත්‍රපටයක මෙන් හිස් කබල කෑලි කෑලි යන අන්දමට වෙඩිල්ලක් පත්තු වෙතැයි ඔහුට හැඟිණ, මැරයාගෙන් ජීවිතය ඉල්ලා පළක් නොවේ. එබැවින් සිරුරේ ඇති සියලු වෙර එකතැනකට ගෙන එය මහ හඬින් මුදා හැරියේය.

'බුදු අම්මෝ! මාව මරනවෝ'

විදුලි පහන ළඟ සිටින තරුණයන් එකවරම හැරෙන බව යන්තම් පෙනිණ. අසල කොහේ හෝ තැනකින් නිවසක විදුලි පහන් දැල්විණ. ඒ සමඟ පණ ගැන්වුණු මෝටර් සයිකලය රූං කියාගෙන කන අසලින් අනිත් පැත්තට ඉඟිළිණි. තවත් මොහොතක් හෝ ජීවත්වීමට ඉතිරිව ඇතැයි වැටහුණු සුජිත් ඒ නිමේශය වෙනුවෙන් සැකසිණ.

'රතු වැස්ස රඟපාන්ඩ ගත්තම මේ ළමයා ගණං ගියානේ'

වීරප්පෙරුම පැවසුවේ සිනහවෙමිනි. ඔහු කියවමින් සිටි පොත මේසය මත දමා මානවී දෙස බැලුවේය. ඈ බැල්කනියට වී අවට නරඹමින් උන්නාය. නගර සිමාවේ පැත්තකට සීරුවට අහස ගොඩ වුණි. නිවාස සංකීර්ණයේ ඉහළට වන්නට තිබූ මේ නිවහන වීරප්පෙරුම මිලයට ගත්තේ නොබෝදාය. ඒ ඇමරිකාවේ පරිගණක ඉංජිනේරුවරයකු වන තම වැඩිමහල් පුතුගේ නමිනි.

'මේක ලොකු පුතාට'

වීරප්පෙරුම මානවී උන් තැනට පැමිණියේය. මානවී අවට වටපිටාව බැලුවාය. කොන්ක්‍රිට් වනාන්තරයේ කෙළවර ලොකු දිය පාරක් ගලා බසී. ඒ දෙපස හරිත වර්ණය. ඈත අලුතින් ඉදිවන ගොඩනැඟිලි පෙළකි.

'මේ ගෙට ආවම මට මහා පාළුවක් දැනුණා. මගේ නෝනා හිටිය නම් කොච්චර සන්තෝෂ වෙයිද? මයෙ කොල්ලා මහා දඩබ්බරයා'

මානවී කිසිත් පැවසුවේ නැත. පහත මාලයේ ඇති පිහිනුම් තටාකය බැල්කනියට කදිමට පෙනෙයි.

'තව ටිකකින් ඉර බහීවි. එතකොට පළාතම ලස්සනයි'

මානවී ළදැරියක ලෙස වට පිටාවේ සුන්දරත්වය බලද්දී යළිත් වීරප්පෙරුම පැවසුවේය.

'ඔයා කැමති නැද්ද මෙහේ නවතින්න'

වීරප්පෙරුම ඇසුවේ මානවිගේ ඉණ වටේ අත යවමිනි. පෙරදා රාත්‍රියේ ඔහුට මහත් තනිකමක් දැනිණ. හුස්ම හිරවෙන ගතියකින් වහා ඇඳෙන් බැස ගත් ඔහු වතුර වීදුරුවක් එක හුස්මට බීවේය.

'මං ඉන්නේ අම්මාත් එක්ක ඒ ගෙදර'

වීරප්පෙරුම කිසිත් පැවසුවේ නැත.

'මම ඔයාට බල කරනවා නෙවේ. අම්මට පුළුවන් ඒ ගෙදර ඉන්න. ඔයාට පුළුන් මෙහෙ ඉන්න'

මානවී ආපසු හැරී වීරප්පෙරුමගේ මුහුණට එබිකම් කළාය.

'මට මොනවද දෙන්නේ?'

'ඔයාට මොනවද ඕනෑ?'

ඔහු පෙරළා ප්‍රශ්න කළේය.

'ඕන වෙච්ච දාට ඉලලන්නං'

'ඒකත් රජ කාලේ වගේනේ'

වීරප්පෙරුම මහ හඬින් සිනාසුණේය. රතු වැස්ස ටෙලි නාට්‍ය මානවිට ලැබුණේ එකවරමය. එයට තෝරා ගෙන තිබුණ් වෙන නිළියකි. එක් දිනක උදෑසනක මානවීට දුරකථන ඇමතුමක් ලැබිණ.

ටෙලි නාට්‍යයේ රඟපෑමට නියමිතව සිටි යෞවනිය විවාහක පෙම්වතකු සමඟ හිටි අඩියේ විදෙස් ගතව ඇත්තීය.

'චැනල් එකෙන්ම ඔයාව සිලෙක්ට් කළා' රතු වැස්සට මානවී තෝරා ගනිද්දී ඇති රෙකමාදුරුවක් ඇත්තේය.

මානවී එකඟ වූවාය. රූ ගැන්වීම් කොළඹ අවටමය. පේළි ගෙවල් පෙළක ජීවත් වන ඉතා අහිංසක ඕනෑම අභියෝගයකට මුහුණ දෙන යුවතියක් රතු වැස්සට පාදක විය. රතු වැස්ස ඉක්මනින් ජනප්‍රිය වන්නට පටන් ගත්තේය.

'ඔයාව දැන් හැම එක්කෙනාම ඉල්ලනව නේ'

දර්ශන තලයට පැමිණි නන්දික කියා සිටියේය. නන්දික චැනලයේ අධ්‍යක්ෂවරයාය.

අත්තා දවසක් කතා කළේ ගමේ පාසල් ත්‍යාග ප්‍රදානොත්සවය ගැන කියන්නටය. මානවී එහි ආරාධිත අමුත්තියයි. ඈ ගමට ගිය විට දිගු කලකට පසු සුමිත් මුණ ගැසිණ. පොත් සාප්පුව වසා දමා තිබිණ.

ගමේ සිටි සාමාන්‍ය යුවතිය වඩා ඔපවත්ව මෝටර් රථයකින් එන අයුරු ගැමියෝ ඇස් ලොකු කරමින් බලා උන්හ. ඈ දන්න හඳුනන හැම කෙනෙක් සමඟ හොඳින් සිනාසී කතා කළාය. එය දුටු අත්තම්මා උපන් කඳුළ පිසදා ගත්තාය.

'මම මේ ටිකේම එන්නේ නෑ දිගටම ෂූටිං'

මානවී නිර්මලාට පැවසුවාය.

'අම්මා ගෙදර ඉන්න. මං වරින් වර එන්නං'

'දූ ගැන අහලා යෝජනා කීපයක්ම ඇවිත් තියෙනවා'

නිර්මලා කතා කළේ අකැමැත්තෙනි.

'අර මාව එක්ක ගිය දොස්තර මහත්තයත් අහල එවල තිබුණා'

මානවී උත්තර බඳින්නට ගියේ නැත.

'මොකද පුතේ කියන්නේ?'

'තව කොච්චර වැඩ තියෙනවද? මේ හදිස්සියට ඔක්කොම කරන්න පුළුවන්ද?'

'එහෙම කියලා බෑනේ'

'බැරි'? මොකේ පුළුවන්'

'හැමදාම ඔහොම ඉන්නවද දරුවෝ? අත්තම්මාත් කිව්වා.'

'බලමු, බලමු ඉස්සරහට'

මානවී ගමනට සූදානම් වන ගමන් පැවසුවාය.

'කතන්දරත් එමටයි පුතේ'

නිර්මලා මානවී ළඟින් වාඩි වූවාය.

'නමක් හැදෙන කොට කතන්දර නොහැදෙනවයැ'

දියණිය ගැන ඇසෙන ඕපදූප ඇගෙන් කෙළින්ම විමසන්නට නිර්මලා අපොහොසත්ය. වැඩපොළේදී මානවීගේ විස්තරය සහිත පත්තරයක් දකින අය ඈ ගැන පවසති. රතු වැස්ස ගැන ආදරයෙන් පෙළෙන කතා ටික වේලාවකින් ඕපාදූප වෙයි. වැඩ පොළේ ජයනන්ද දිනක් කට කැඩිච්ච කතාවක් පැවසුවේය.

'නිර්මලා දෝනියන්දැ ගැන කිව්වට, ඔය යන කොට වෙන දෝෂ අපි නොදන්නවයැ'

'මොනවා වෙනවද? මගේ කෙල්ල ගැන මට විශ්වාසයි'

'විශ්වාසා පරමා ඥාති කිව්වලු. අනේ බං'

ඒ සමඟ අසල සිටියකු ජයනන්ද නිහඬ කළ වග නිර්මලාට වැටහිණ. ඒ ගැන හාරා රණ්ඩු කරන්නට නිර්මලා අකැමැති වූවාය.

මානවී ගෙයින් නික්ම ගියේ නිර්ලාට වැඳ සමුගෙනය. නිර්මලාගේ ඇසට කඳුළු ඉනුවේය.

'අප්පත් නැතිව හදපු එකී'

සුසුමක් හෙළා සියල්ල විඳ දරා ගන්නට ඕ කල්පනා කළාය. රථයට ගොඩ වුණු නිර්මලා නතර වූයේ වීරප්පෙරුමගේ නිවහනේය. පසුදා දර්ශන තලයට ඈ ආවේ ප්‍රමාදවීමෙනි. මානවී එනතුරු ඔවුන් බලා සිටියහ. ඈ කෙළින්ම ගියේ හැඳ පැලඳ ගැනීමට වෙන් කොට ඇති නිවසටය. පේළි ගෙවල් පෙළක් වුව ඒ නිවහන තරමක් සුවපහසුය.

'මොනවද අයිසේ මෙච්චර පරක්කු'

එකවරම කාමරයට කඩා වැදුණු සුජිත් විමසුවේය. ඔහු තරමක් බීමත්ව ඇති වග මානවීට වැටහිණ. මානවීගේ ජංගම දුරකතනය නාද විණ.

'මානවී අද හවස මං එනවා'

පණිවිඩය ප්‍රනාන්දුගෙනි.

'අද මට ෂූටිං'

ඔහු මඟහරිනු රිසියෙන් මානවී පැවසුවාය. සුජිත් ඈ පසුපසිනි.

'නෑ අද හවස පාටියක්. මගේ යාළුාවොත් ඉන්නවා'

'අනේ සොරි, අද දිගටම . . .'

'උඹට අපිට බැරි උණාට නාකියත් එක්ක යන්න පුළුවන්'

දුරකතනයෙන් ඇසිණි. ඈ ඉදිරිපිටට එන්නේ සුජිත්ය. මානවීග් ඇසට කඳුළු නැගිණි. ඈ එය ආයාසයෙන් වළකා ගත්තාය.

'උඹේ ඔය පාට් අපිට දාන්ඩ එපා. මානවී අද එන්නම ඕනෑ, නැත්නම්'

'නැත්නම්?'

මානවී ඇසුවාය.

'උඹ මාව හරියට දන්නේ නෑ. උඹේ පින්තුර ලීක් කරන්න විතරයි තියන්නේ. උඹේ පරණ ඒවයි, මෙහෙදි ගහපුවයි'

මානවී මොහොතක් නිහඬ වූවාය.

'ඔව්. මං නැටුවා තමයි. තනියම නෙමෙයිනේ. මෙතන ඉන්නෙත් මාත් එක්ක නටපු එකෙක්. දැනටත් ඒවා වෙබ්වල දාලා තියෙන්නේ'

මානවී දුරකතනයට මහ හඬින් ගුගුළේ සුජිත් ඉදිරිපිට තබාගෙනය. සුජිත් මානවී කියන දෙස බලා සිට ඇගෙන් දුරකතනය උදුරා ගන්නට තැත් කළේය. ඈ ඔහු එක් පසෙකට තල්ලු කළාය.

'මහත්තයෝ ඔයගොල්ලන්ට ගෑනියකුට කරන්න පුළුවන් ඔච්චරයි. මඩ ගහයි, මරයි, වෙන මොනවද? මම එන්නේ නෑ'

ඈ දුරකතනය විසන්ධි කොට ආපසු හැරුණාය. සුමනවීර ඈ වෙස් ගන්වන්නට මඟ බලා සිටියේය.

'මේකප් දාන්න මං රෙඩි'

'සමහරු හදන්නේ මාව නටවන්න, බලමු'

ඈ අවසන් වදන් පවසනු දුටු සුජිත් ආපසු ගියේය. දර්ශන තලය වෙනකකුට පැවරූ සුජිත් එයින් බැහැර විය. කොහේදෝ තැනකට වී සිහි විකල්වන තුරු බොන්නට ඔහුට වුවමනා විය. පසුගිය දින කිහිපයේම එය ඔහුට පිළිසරණක් විය. එහෙත් පළමුවන උගුරෙන්ම ඔහුට එය එපා විය. තමා මේ කරන්නේ වැඩකට නැති වැඩකැයි සිත කියන්නට විය. වහා බිල ගෙවා දැමූ ඔහු අවන්හලෙන් එළියට බැස්සේය. අඳුරු මාවතේ මහ දුරක් පයින්ම ආ ඔහු ඉදිරියේ කිසිවකු සිට ගත්තේය. අනතුරක සේයාවක් දුටු ඔහු එයින් මිදෙන්නට නොව ඒ හා පොර බඳින්නට තීරණය කළේය.

කිසිවකුගේ පා පහරක් සමඟ ඔහු විසි වී ගියේය.

පිරිසකගේ කෑ ගැසීමත්, රෝහලක් වෙත ගෙන ඒමත් යන්තම් ඔහුගේ මනසේ විය.