වර්ෂ 2016 ක්වූ ජූනි 16 වැනිදා බ්‍රහස්පතින්දා




‘හැට හතර මායම්’ ෂූටින් ඉවරයි

‘හැට හතර මායම්’ ෂූටින් ඉවරයි

සුනිල් ටී. ප්‍රනාන්දුගේ හැට හතර වැනි සිනමා නිෂ්පාදනය හැට හතර මායම් හි රූගත කිරීම් නිමාවට පත් විය. එය සුදේශ් වසන්ත පීරිස්ගේ අධ්‍යක්ෂණයකි. හාස්‍යෝත්පාදක සිනමාපටයක් වන එහි විජය නන්දසිරි, මහින්ද පතිරගේ, සුසිලා කෝට්ටගේ, විශ්ව කොඩිකාර, විශ්ව ලංකා, නිරෝෂා තලගල, මේනකා මධුවන්ති, සරත් චන්ද්‍රසිරි, නිල්මිණි කෝට්ටේගොඩ , ඩී. බී.ගංගොඩතැන්න, පවිත්‍රා වික්‍රමසිංහ, හර්ෂි පද්මරත්න ආදීහු රංගනයෙන් දායක වෙති.

ගාමිණී මොරගොල්ලාගම කැමරා අධ්‍යක්ෂවරයාය, සරත් සමරවික්‍රමගේ කලා අධ්‍යක්ෂණයකි, කේෂාන් පෙරේරාගේ සංගීතයෙන් හැඩගැන් වුණු හැට හතර මායම් හි පූර්ණ සචින්ත සහ ලන්ත්‍රා පෙරේරා ගීත ගායනා කරති. සුනිල් ධර්මසිරි සහ චතුරංග හෙට්ටිගේ ගීත රචකයෝය, රොඩ්නි වැන්ඩ්‍රකෝට් අංග රචනා ශිල්පියාය, කිරන් ඩි සොයිසා ඇඳුම් නිර්මාණය සහ කොණ්ඩා සැකසුම සිදු කොට ඇත. හැට හතර මායම් හි රේඛීය නිෂ්පාදනය සුනිල් ධර්මසිරිගෙනි.


‘වස්සානේ සඳ’ ගීත පටිගත කෙරේ

උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමාපටය වූ වස්සානේ සඳහි ගීත පටිගත කිරීම පසුගියදා නුගේගොඩ ඉන්වේව්ස් ශබ්දාගාරයේදී සිදු විය. මෙහි සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහගෙනි. වස්සානේ සඳ ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයකි.


බර්මින් දේදුනු පාලම අරඹයි

බර්මින් ලයිලි ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කරනු ලබන ඔහුගේ නවතම ටෙලි සිතුවමහි මුහුරත් උලෙළ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නුගේගොඩ සංහිද හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ. දේදුනු පාලම ලෙසට නම් කොට ඇති එය බර්මින්ගේ 45 වැනි ටෙලි නිර්මාණය වේ. ශ්‍රියානි අමරසේන, වීණා ජයකොඩි, ඩිනක්ෂි ප්‍රියසාද්, මුතු තරංගා, විනු සිරිවර්ධන, අනුජ් රණසිංහ, අමිල කරුණාරත්න, චංචලා වර්ණසූරිය, ස්වර්ණලතා රණසිංහ, සමාධි යශෝධරා, නඩරාජා සිවම්, නිරංජනී ශන්මුගරාජා, අනුර ධර්මසිරිවර්ධන, අචල වල්පොල, හර්ෂණ වික්‍රමසිංහ, ශෙරීන් කාසිම්, ඉමාෂා වීරතුංග, ආනන්ද සෝමසිරි, තිලක් ජයවීර, රාජසිංහ ලෝලුවාගොඩ, සංජුල දිවාරත්න, කපිල සිගේරා, රංජිත් ජයසේකර, කුමුදු නිලවීර, රංග විජේවික්‍රම, අංජලී දිසානායක, සුනිල් ප්‍රේමකුමාර, අනුෂා දිල්හානි, ලක්විනි කරුණාආරච්චි, අසංකි සඳමාලි, රියන්ත ප්‍රනාන්දු, සුසිල් ප්‍රනාන්දු, නිලු තිලකරත්න, නෙතු ආකාශා, දයා වයමන් ඇතුළු පිරිස මෙහි චරිත මවති.

දේදුනු පාලම රාජසිංහ ආරච්චිගේ සරණපාලගේ නිෂ්පාදනයකි. කේ. බී. හේරත් රූපවාහිනි රචනයකි.

ඩොනල්ඩ් කරුණාරත්න කැමරා අධ්‍යක්ෂණයෙන් ද, ගයාන් මාපලගම අංග රචනයෙන් ද, කුමාර ඩී. රාහුබද්ධ කලා අධ්‍යක්ෂණයෙන් ද, ප්‍රියාන් අනුර ශ්‍රී ඇඳුම් නිර්මාණයෙන් ද, මෙත්තානන්ද විතාන නිෂ්පාදන කළමනාකරණයෙන් ද මේ සඳහා දායක වේ. නිශ්චල ඡායරූප මහේෂ් නිශාන්තගෙනි.


සරත්ගෙන් ‘කන්කලු නළු ගී’

සරත් කුලාංග විසින් කළ සංගීත නිර්මාණ ඇතුළත් ‘කන්කලු නළු ගී’ සංගත තැටිය දැන් නිකුත් වී ඇත. එහි ජනක් ප්‍රේමලාල්ගේ ‘අබුද්දස්ස කෝලම’, ‘රාජකපුරු’, විජය නන්දසිරිගේ ‘ශ්‍රී ගජබා’, ජගත් මුතුකුමාරණගේ ‘ආටානාටිය’, අනුර දහනායකගේ ‘මම තවම පණ පිටින්’, සරත් කුලාංගගේ ‘දෙයියොත් දන්නේ නෑ’, ප්‍රියන්ත රංජන්ගේ ‘රූකඩ රාජ්ජේ’, ‘කොලොම්පුරේ’, ‘මල්වඩම් අනවශ්‍යයි’ වේදිකා නාට්‍ය ගී විස්සක් ඇතුළත් වේ.


ශ්‍රී නාට්‍ය රංග කවයෙන් මියගිය කලාකරුවන්ට පින් පෙත්

මියගිය කලාකරුවන්ට සහ ඔවුන්ගේ ඥාති හිතවතුන්ට පින් පමුණුවමින් ශ්‍රී නාට්‍ය රංග කවය මඟින් සංවිධානය කළ සිල් සමාදානවීමේ වැඩ සටහනක් සහ ඉඳුරාගාරේ ධර්මරතන හිමියන් පවත්වනු ලබන සුමධුර ධර්ම දේශනාවක් මෙම මස 18 වැනිදා එනම් පොසොන් පොහොයට පෙර දින කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි සිංහල සංස්කෘතික ආයතනයේදී (සුදර්ශිය) පැවැත්වෙයි.

එදින උදෑසන 6 ට සිල් සමාදන්වීම සිදුවනු ඇත. 9 ට ධර්ම දේශනාව ආරම්භ වී සෙසු ධර්මානුකූල වැඩසටහන් දිනය පුරාවටම පැවැත්වීමට නියමිතය. ඒකාකාරී කාර්යබහුලත්වයෙන් මිදී මානසික සුවයක් විඳීම සඳහා මේ අවස්ථාවට සහභාගි වෙන්න යැයි ශ්‍රී නාට්‍ය රංග කවය වෙනුවෙන් එහි සභාපති ඊ. ඩී. ශ්‍රියාපාල කලා ක්ෂේත්‍රයේ සැමට විවෘත ආරාධනාවක් කරයි. මෙහි සංවිධායක කමිටුවේ සාමාජිකයින් ලෙස නිල්මිණි තෙන්නකෝන්, නිල්මිණි සිගේරා, චිත්‍රා වරකාගොඩ, මංජුලා කුමාරි, දුලානි අනුරාධා සහ සචිනි අයේන්ද්‍රා කටයුතු කරති.


උපාලිට සෙත් පතා බෝධි පූජා පින්කමක්

මේ වන විට අතුරුදන්ව සිටින රංගන ශිල්පී උපාලි කීර්තිසේනට සෙත් පතා බෝධි පූජා පින්කමක් මෙම මස 18 වැනිදා රත්නපුර නව විහාරස්ථානයේදී පැවැත්වෙනු ඇත. උපාලිගේ සල්ලි වේදිකා නාට්‍යයේ අනුශාසක පූජ්‍ය බෝපැත්තේ මෙත්තජි හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ පැවැත්වෙන මෙම පින්කම සල්ලි වේදිකා නාට්‍යයහි සාමාජිකයන්ගේ සංවිධායකත්වයෙන් සිදු කෙරේ. මෙම අවස්ථාවට සැම දෙනාට සහභාගී වෙන්නැයි සල්ලි වේදිකා නාට්‍යයේ පිරිවර විවෘත ආරාධනාවක් කරයි.


බර්ලින් නාට්‍ය කලාව හා මගේ අත්දැකීම් කතිකාව 21 වැනිදා

නාට්‍ය වේදී එම්. සෆීර් මෑතකදී ජර්මනියේ පැවැති ‘තියටර් ට්‍රෙෆෙන් 2016’ නාට්‍ය උලෙළ සඳහා සහභාගි වීමෙන් ලද අත්දැකීම් හා බර්ලීනයේ වර්තමානයේ පවතින නාට්‍ය කලාව පිළිබඳ ඉදිරිපත් කිරීමක් මේ මස 21 වැනිදා පසුවරු 5.00ට ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වෙයි.

මීට පෙර අවස්ථා කිහිපයකදී ම ජර්මනියේ නාට්‍ය වැඩමුළු සඳහා දායක වී ඇති එම්. සෆීර් මෙවර සංචාරයේදී ලෝකයේ විශාලම නාට්‍ය උලෙළ නරඹා ඇති අතර එහිදී එහි සංවිධායකයන්, නාට්‍ය අධ්‍යක්වරුන්, නාට්‍යකරුවන්, රාජ්‍ය නිලධාරීන් ආදී විශාල පිරිසක් හමු වී සාකච්ඡා කර ඇත. මේ පිළිබඳ ද එදින සාකච්ඡා කෙරේ. මේ කතිකාව සංවිධානය කරන්නේ ඉන්ටර් ඇක් ආර්ට් නාට්‍ය කණ්ඩායම මඟිනි.


Coriolanus අද

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය බ්‍රිතාන්‍ය කවුන්සිලය සමඟ එක්ව සංවිධානය කෙරෙන ෂේක්ස්පියර් චිත්‍රපට උලෙළ වෙනුවෙන් අද (16) පස්වරු 4.00ට Coriolanus චිත්‍රපටය කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී තිරගත කිරීමට කටයුතු යෙදා ඇත.

ෂේක්ස්පියර් චිත්‍රපට උලෙළේ තෙවැනි මාසය වෙනුවෙන් තිරගත කෙරෙන ස්ටාරින්ග් රැල්ෆ් විසින් අධ්‍යක්ෂණය කළ Coriolanus චිත්‍රපටය පිළිබඳ කතාබහට එක් වන්නේ ආචාර්ය සෞම්‍ය ලියනගේ ය.