වර්ෂ 2016 ක්වූ ජූනි 16 වැනිදා බ්‍රහස්පතින්දා




සුදුසුම සහකරුවන් ගැන කියන HOUSEFUlL 3

සුදුසුම සහකරුවන් ගැන කියන HOUSEFUlL 3

සජීද් ඛාන් විසින් අධ්‍යක්ෂණය කෙරුණු, සජීද් නදියද්වාලා විසින් නිෂ්පාදනය කෙරුණු ‘හවුස්ෆුල්’ පළමු චිත්‍රපට ද්විත්වයම වාණිජමය වශයෙන් අතිශය සාර්ථකත්වයක් ඉසිලූ චිත්‍රපට වේ. අක්ශේ කුමාර් ප්‍රධාන චරිතය රඟන හවුස්ෆුල් පළමු චිත්‍රපටය ගෙන ආවේ තම අවාසනාවන්තකම දුරුකිරීමට සුදුසු තරුණිය සොයා යන අතරතුර කලබැගෑනි බොහොමයකට මුහුණදෙන තරුණයෙකු ගැන කියවෙන හාස්‍යජනක කතා පුවතකි.

දෙවැන්න එවැනිම ගැටලු රැසකට මුහුණ දෙන තරුණයින් සිවුදෙනෙකු ගැන කියවෙන කතා පුවතකි. ඉන්දියානු රුපියල් මිලියන 450 ක පිරිවැයකින් නිමැවුණු හවුස්ෆුල් පළමු චිත්‍රපටය (2010) රු. බිලියන 1.5 ක ආදායමක් ඉපයූ අතර, රු. මිලියන 500 ක පිරිවැයකින් නිමැවුණු දෙවන චිත්‍රපටය (2012) රු. බිලියන 1.86 ක ආදායමක් උපයා තිබුණා.

සජීද් ෆර්හාඩ් අධ්‍යක්ෂණය කළ, සජීද් නදියද්වාලා විසින් නිෂ්පාදනය කෙරුණු මෙම චිත්‍රපට මාලාවේ තුන්වැන්න : හවුස්ෆුල් 3, පසුගිය 3 වනදා සිට තිරගතවීම ඇරඹුණු අතර, ආක්ෂේ කුමාර්, අභිෂේක් බච්චන්, රිතීෂ් දේශ්මුක් ප්‍රධාන පිරිමි චරිත රඟ දක්වන අතර, ජැකලින් ෆර්ඩිනැන්ඩ්ස්, නාර්ගිස් ෆක්රි සහ ලීසා හේඩන් ප්‍රධාන කාන්තා චරිත රඟ දක්වති.

එය කේ සුභාෂ් ගේ තිර රචනයකි. සොහෙල් සෙන් ඇතුළු සංගීතවේදීන් 5 දෙනෙකුගේ සංගීතයෙන් ඔපවත් වුණු මෙම චිත්‍රපටය ‘නදියද්වාලා ග්රෑනන්ඩ්සන් එන්ටර්ටේන්මන්ට්’ නිෂ්පාදනයක් වන අතර ඊරෝස් එන්ටර්ටේන්මන්ට් බෙදා හැරීමකි. විනාඩි 134ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය සිය පළමු සතිය තුළ ඉන්දියානු රුපියල් මිලියන 100 ක ආදායමක් වාර්තා කර තිබෙනවා.

එක් පියෙකු (පටෙල්) ගේ දියණියන් තිදෙනා (ග්‍රේතසි, ජෙනී, සාරා) ට සුදුසුම සහකරුවන් තමන් බව ඒත්තු ගැන්වීමට වෙරදරණ තරුණයින් (සැන්ඩි, ටෙඩී, බන්ටි) තිදෙනෙකුගේ හාස්‍යජනක කතා පුවතක් හවූස්ෆුල් 3 ඔස්සේ දිගහැරේ. මනෝජ් යාදව්, ෆර්හාඩ් සජීඩ් ඇතුළු ගීත රචකයින් බොහොමයක් එක්ව නිර්මාණය කළ ගීත 4 කින් සමන්විත මෙම හවූස්ෆුල් 3, ශරීබ් සබ්රි, නකාෂ් අසීස්, දිව්‍යාක කුමාර් ඇතුළු ගායක ගායිකාවන් රැසකගේ ගායනයන් ඇතුළත් වී තිබෙනවා.