වර්ෂ 2015 ක්වූ අගෝස්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




සසර සැරිසරා යුගෙන් යුගේ උපත් ලබා...

සසර සැරිසරා යුගෙන් යුගේ උපත් ලබා...

සනත්- මල්කාන්ති සොඳුරු කැදැල්ලේ අසිරිය

අප නුගේගොඩ ඇඹුල්දෙණිය අසන්නයේ ඇති පරණ කොට්ටාව පාරේ පළමු පටු මඟේ මද දුරක් ගියා පමණි. ඈතින් ඇසෙන්නේ සිතාරයක ස්වරයකි. ඒ ස්වරයට සවන්දීගෙනම අපි ඒ අසල ඇති බොරළු පාරේ ගමන් කළෙමු. සිතාරයේ කන්කළු නාදය දැන් ඇසෙන්නේ පෙරටත් වඩා ආසන්නයෙනි. ඒ ස්වරය ඔස්සේ අපි නියම ස්ථානයේම නතර වූයෙමු. අප එන පෙරමඟ බලා සිටියේ ඔබ කවදත් ආදරය කරන සනත් නන්දසිරි නම් ගාන්ධර්වයාගේ බිරිය මල්කාන්ති නන්දසිරි ය.

“ එන්න........ එන්න.......... ”

විවර කරන ලද ගේට්ටුවෙන් එබී බැලූ ඇය අපව පිළිගත්තේ කවදත් පානා සුපුරුදු ළෙන්ගතු බවෙන් හදවත පුරවා ගනිමිනි. ඊළඟ ඇසිල්ලේ අප සනත් - මල්කාන්තිගේ සොඳුරු කැදැල්ලට ගොඩවූයේ ඒ ළෙන්ගතු බවට පිළිතුරු සිනහවක් පාමිනි.

“ මම මේ හැම දෙයක්මත් සූදානම් කරගෙන මඟ බලාගෙන සිටියේ ඕගොල්ලො එනතුරු තමයි. ”

සාලයේ වූ සුවපහසු අසුන් පෙන්වා එහි ඈදි ගන්නට අතින් සන් කළ ඇය දිගින් දිගටම අප සමඟ කතාබහේ යෙදුණා ය. කවදත් ආගන්තුක සත්කාරයට කැමැති මල්කාන්ති නන්දසිරි අප අසලින්ම අසුන් ගත්තේ දිගු කතාබහකට මුල පුරන්නට ය.

“කෝ ගෙදර අනෙක් අය”

කිසිවෙක් පෙනෙන්නට නොසිටි බැවින් මම විමසීමි.

“ සනත් අයියා නම් ටිකක් හාන්සි වුණේ දැන් ටිකකට කලින්. ඔයාලා ආවට පස්සේ කතා කරන්න කියලා. අනුරාධා දූගේ සංගීත පංතිය තව ටිකකින් අවසන් වේවි. ”

ගාන්ධාරී සංගීතායතනය බොහෝ දූ දරුවන්ගේ සංගීත ඥානය වර්ධනය කරන තෝතැන්නකි. ඔවුන් දෙදෙනාගේ එකම දුව අනුරාධා මෙන්ම අපගේ මහා කොකිලයාණන් වන සනත් නන්දසිරිද තවමත් ඒ දරුවන්ට සිය සංගීත ඥානය බෙදා දෙන්නේ හදපිරි තුටිනි. තාත්තාත්, දුවත් ඒ කටයුතුවල නිරත වන අතරතුර ඒ කටයුතුවලට සහයෝගය දෙමින් මල්කාන්ති සිය ආදරබර සැමියා අසලින්ම සිටින්නේ රන්රස සේ ය.

“ඔබගේ ජීවිතය සැමියාම වගෙයි.”

“ අද වනතුරුත් සනත්ගේ සෑම කටයුත්තක්ම කරන්නේ මම තමයි. එදා වගේම සනත් ළඟටම වෙලා එයාව ආදරයෙන් රැක බලා ගන්න එක මට සතුටක්. ”

ආදර්ශවත් පවුල් ජීවිතයක් ගත කරන මේ දෙන්නා දෙමහල්ලෝ එකිනෙකාට ආදරය කරන්නේ සංසාරය පුරාම එක්ව සිටින්නට පැතූ පැතුමක අදිටනක් ලෙසිනි. කොතැනක බැලුවත් ඉදිකටුවයි, නූලයි මෙන් එක්ව හිඳීන මේ සොඳුරු යුවළ සිතට සැනසුමකි.

“ඔබ අදත් එදා වගේමයි.”

“ අදටත් මීට වසර හතළිහකට ඉස්සර වගේම මම එයා ළඟින්ම ඉඳගෙන ඉන්නවා. කෑම කන වෙලාවට වුණත් සනත් කෑම කාලා අවසන් වනතුරුම මම එයා ළඟින්ම ඉන්න ඕනෑ. ඉඳලා හිටලා මම වෙන වැඩක නිරත වුණොත් එයා ළඟ ඉන්නේ දුව තමයි. මම වගේම දැන් එයාට දුවත් ළඟ නැතිවම බැහැ. ”

මල්කාන්ති සුන්දර කැදැල්ලක අසිරිය අපට සිහිපත් කළා ය. පිළිවෙළකට අස්පස් කරන ලද නිවෙස දකින අයකුට ඇය දක්ෂ ගෘහිණියක වග කියන්නට අටුවා ටීකා අවශ්‍ය නොවේ.

“මේ නිවෙසේ සියලුම වැඩ කෙරෙන්නේ ඔබගේ අනුදැනුම යටතේ ද ?”

“ පසුගිය දවස්වල ගෙදර වැඩට නම් සහයට කෙනෙක් සිටියා. ඒ කවුරු හිටියත් මහත්තයා කන කෑමවල ලුණු ඇඹුල්වල පදම දන්නේ මම නිසා වෑංජන උයන කටයුතු කරන්නේ මගේ අත් දෙකෙන්ම තමයි. දිගටම කරගෙන ආව මේ වැඩ කටයුතුවල තරමක් පහසුවක් දැනෙන්නේ දුව නිසා. එයා මේ සෑම වැඩකටම මට උදව් කරනවා. සමහර දවසකට මුළුතැන්ගෙය සම්පූර්ණයෙන්ම ඈ බාර ගන්නවා. මිදුල අමදින කටයුතු, නිවෙස අස්පස් කරන කටයුතු කරන්නේ නම් මමයි. ”

මල්කාන්තිට මේ සියලු කටයුතු සඳහා අපූරු පෙරහුරුවක් ලැබුණේ ඇයගේ මවගෙනි. නිවෙස ලස්සනට තියා ගන්නත්, කෑම හදන්නත්, සැමියාට ආදරයෙන් සලකන්නත් ඈ උගත්තේ මවගේ කාර්යභාරය දෙස විමසිල්ලෙන් බලා සිටීම නිසා ය.

“ මේ සෑම කටයුත්තක්ම සාර්ථකව කරන්නට මට හැකි වුණේ මගේ අම්මා නිසා. ඈ නිවෙසේ සියලුම වැඩ කටයුතු ගැන මට හොඳ පුහුණුවක් ලබා දුන්නා. ඒ වගේම ඈ කරන කියන දේ මා හොඳට බලාගෙන සිටියා. අරපිරිමැස්මෙන්, පිරිසුදුව වැඩ කරන්නේ කොහොමද කියලා ඇගේ වැඩ පිළිවෙළ මට ඉගැන්වුවා. කොහොමත් මගේ මහත්තයාට හොඳට කන්න උවමනායි. විශේෂයෙන්ම මස්, මාළු කියන දෙක මාරුවෙන් මාරුවට අපේ නිවෙසේ උයනවා. ඊට අමතරව නත්තලට වගේම අවුරුද්දටත් අවශ්‍ය කේක්, කැවිලි වර්ග හදන්නේ මමම තමයි. නත්තලට මම හදන කේක්, වයින්වල රස බලන්න පවුල්වල හැමෝම අපේ නිවෙසට එකතු වෙනවා. ”

අපේ කතාවට බාධා කරමින් එහි පැමිණියේ අනුරාධා ය. සොඳුරු සිනහවක් අපට සංග්‍රහ කළ ඕ අප අසලින්ම ඉඳ ගත්තේ අම්මාගේ කතාවට තවත් යමක් එක් කරමිනි.

“ අනුරාධාගෙන් අම්මට ලැබෙන්නේ මොනවගේ උදව් ද? ”

“ උයන පිහන කටයුතු සිදු වෙන්නේ අම්මාගේ අනු දැනුමෙන් තමයි සතියේ දවස්වල උදේ හතරට මම අවදි වෙනවා. මගේ මහත්තය රැකියාව කරන්නේ එයා ලයන් එකේ නිසා උදේම එයා වැඩට යනවා. ඒ නිසා එයාට කෑම ටික දෙන්නත් ඕන නිසා උදෙන්ම මම උයනවා. ඊට ඉස්සෙල්ලා දවසේ උයන පිහන සියල්ලම සූදානම් කරලා තියන්න අපි අමතක කරන්නේ නැහැ. මස් හෝ මාළු හැමදාම උයන නිසා අම්මා මට පහසු වෙන්න ඒවා කලින් දවසේ ඒදලා තියෙනවා. මට තියෙන්නේ කිරට හෝ වෙනත් ක්‍රමයකට ඒවා උයන්නයි. තාත්තා කොහොමත් මුරුංගා, පතෝලා කන්නේ නැහැ.

මගේ මහත්තයත් දඹල, අළු කෙසෙල් වගේ එළවළු කන්නේ නැහැ. ඒ දෙන්නාම කැමැති කෑමයි උයන්නේ. තාත්තා කොළ වර්ග කන්න කැමැති නැහැ. කන්කුන් තෙල් දාලා කන්න නම් තාත්තා කැමැතියි. මේ නිසා නිවෙසේ සියල්ලන්ගේ කැමැත්ත අනුවයි ආහාර සැකසෙන්නේ. උයන්න ඕන මෙනුපත තෝරන්නේ අම්මා තමයි. ඊළඟට ඕනෑ තරම් කාලය තිබෙන නිසා මම නිවෙස පිහදානවා. හැබැයි ඒවා වැඩි දුරටත් අස්පස් කරන්නේ අම්මාගේ අතින්. ඒ වගේම උදේ ආහාර වේලට ධාන්‍ය වර්ග වගේම කිරිබත් උයන්නත් අපි අමතක කරන්නේ නැහැ. ”

සනත් - මල්කාන්තිගේත් පණ හා සමාන වූ දියණිය අනුරාධා ඔවුන්ගේ එකම ජීවිතයයි. අනුරාධාත්, ඇයගේ සැමියා නිරෝෂ බණ්ඩාර සිටින්නේ ඔවුන් සමඟිනි.

“අනුරාධා දූ ඔබ දෙපළගේ පණ හා සමානයි. ”

“ අත්තටම ඇය අපගේ පණයි. එයා ඉන්න නිසා අපේ වැඩකටයුතු බොහොමයක් පහසු වුණා. නිවෙසේ සියලුම කටයුතු සොයලා බලලා කරන්නේ ඇයයි. විදුලි බිල් ගෙවන තැන ඉඳන් අපට ප්‍රසංග සඳහා ලැබෙන ආරාධනා පිළිවෙළකට සකසලා නියමිත දිනය මතක් කරන්නේ ඇයයි. ඒ වගේම දුව විවාහ කරගත් පුතා පිළිබඳත් යමක් කිව යුතුයි. සංගීත පවුලකින් පැවත ගෙන නොපැමිණියත් සංගීතයට ළැදි පවුලකින් පැවතගෙන එන ඔහු දියණියට වගේම අපටත් බෙහෙවින් ආදරෙයි. දියණිය සංගීතය උගැන්වීමට අමතරව තවමත් ඉගෙන ගන්නවා. ඈ මේ දවස්වල කලා උපාධියක් සඳහා සූදානම් වෙනවා. ”

මල්කාන්ති ඔවුන් දෙදෙනා ගැන පවසන්නේ ආඩම්බරයෙනි. මේ අතර සෙමෙන් ගමනින් ඇවිද එන්නේ ඔහු ය. මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි ය.

“ඔබත් සංගීතයත් කියන්නේ දෙකක් නොවෙයි එකක්.”

“ වයසට යන්න යන්න තමයි මට මේ සංගීත කටයුතුවල වැඩ වැඩි වෙලා තියෙන්නේ. ඒ හරියට පොල් ගෙඩිය පැහෙන්න පැහෙන්න තෙල් එනවා වගේ. බොහෝදෙනාට තවමත් මාව අමතක වෙලා නැහැ. ඒක මට සතුටක්. ඒ අතරම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් විදියට ඉගැන්වීම් කටයුතු කෙරෙනවා. සංගීත ආශ්‍රමයේ ඉගැන්වීම් ඒ අතර ප්‍රම්‍රඛයි. ළඟදීම මගේ ඒක පුද්ගල ප්‍රසංගයක් පැවැත්වීමටත් නියමිතයි. ඒකට මූලිකත්වය ගන්නේ කෑගල්ලේ ප්‍රේමනාත් කොඩිතුවක්කු කියන හොඳම තබ්ලා ශිල්පියා. “මේ ප්‍රථම වසන්තයයි” යන නමින් ලබන මාසයේ එය පැවැත්වේවි. ඊට අමතරව මේ 28 වැනිදා 6.30ට ගුවන් විදුලියේ සුබ සාධක සංගමයෙන් කරන ගීතාංජලී වැඩසටහන පැමිණෙන්නැයි ආරාධනාවක් තිබෙනවා. ඒ පැවැත්වෙන්නේ ආනන්ද සමරකෝන් මැදිරියේ. ඒ වගේම මගේ ජීවිත කතාවත් ලියමින් තමයි මේ දවස්වල කාලය ගත වන්නේ. ”

කලකට පෙර ඔබ සැමගේ හදවත සැනසූ මේ මියුරු කෝකිලයාගේ නාදය යළිත් අසන්නට අවස්ථාවක් ළඟදීම ඔබට හිමිවෙනු නියත ය. ඒ සොඳුරු මොහොතට සහභාගි වෙන්නැයි ඔබට සිහිපත් කරමින්ම අපි ඒ සොඳුරු කැදැල්ලෙන් සමුගත්තෙමු. ඒ තවත් චිරාත් කාලයක් අපට ගයන්නට නීරෝගි සුවය ලැබේවායි මේ මහා කෝකිලයාණන්ට හදවතින්ම ප්‍රාර්ථනා කරමිනි.