වර්ෂ 2015 ක්වූ අගෝස්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




මාතලන්ට අදට වසර 60 යි

මාතලන්ට අදට වසර 60 යි

අද අගෝස්තු 27 වැනිදාය. මෙයට අවුරුදු හැටකට එපිට අද වැනි දිනක සිනමා ප්‍රේක්ෂකයන් එවකට මරදානේ තිබූ ගාමිණී හෝ වැල්ලවත්තේ සැෆයාර් ඇතුළු සිනමා ශාලා 21 කට උදෑසනින්ම එක් රොක් වූයේ එදින සිට තිරගත වන අලුත්ම සිංහල චිත්‍රපටය නැරැඹීමටය. ඒ එස්. එම්. නායගම් ශ්‍රී මුරුගන් නව කලා සමාගම වෙනුවෙන් නිපද වූ නවතම චිත්‍රපටය වන මාතලන් නැරැඹීමටය. එදා මාතලන් තිරගත කරන ලද සිනමා ශාලා අතරින් අද ඉතිරිව ඇත්තේ නුගේගොඩ ක්වීන්ලන්, ජාඇල රත්නාවලී, කෑගල්ලේ ඡායා හා නිට්ටඹුවේ ගැමුණු යන සිනමාශාලා පමණි. ගාමිණී හා සැෆයර් තිස් දෙවසරකට පෙර ජූලි මාසයේදී සම්පූර්ණයෙන් වැනසිණ. එසේ නොවුණ ද මගේ විශ්වාසය නම් යාවත්කාලීන නොවූ මේ සිනමා ශාලා ඊළඟ දශක දෙක ඇතුළත සදහටම වැළලී යෑමට ඉඩ තිබුණ බවය.

මාතලන් චිත්‍රපටය නිෂ්පාදනය කළේ කඩවුනු පොරොන්දුව නිපද වූ එස්. එම්. නායගම්ය. එය ඔහුගේ පස්වැනි නිෂ්පාදනයයි. අධ්‍යක්ෂණය කරන ලද්දේ ඒ. එස්. නාගරාජන්ය. දකුණු ඉන්දියානු සිනමාවේ ඒ වන විට නමක් දරා සිටි සිනමාකරුවකු වූයේ ඒ. පී. නාගරාජන්ය. මාතලන් තැනූ නාගරාජන් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු නොව සංස්කරණ ශිල්පියකු විය. ඔහු මාතලන් චිත්‍රපටයට පෙරාතුව නායගම්ගේම පුදුම ලේලි අධ්‍යක්ෂණය කළේය. මාතලන්ට පසු ඔහු තැනුවේ පුරුෂ රත්නයයි. එය මෙරට කාන්තාවක් තනිවම නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයයි. චිත්‍රා එස්. විජේ ගුණවර්ධන එම නිෂ්පාදිකාවයි. නායගම්ගේ නිෂ්පාදනයක් ලෙස නාගරාජන් විධුර ජාතකය ඇසුරෙන් චිත්‍රපටයක් නිපදවන්නට ගිය ද එය නිම වූ බවක් නැත. නාගරාජන් තැනූ මාතලන් චිත්‍රපටයේ වැඩි ගෞරවය අත්පත් විය යුත්තේ හියුගෝ ප්‍රනාන්දුට සහ ආර්. මුත්තුසාමිටය. හියුගෝ මාස්ටර් මෙම දෙමළ ජනකතාවට පාදක වූ මංගම්මා සබඳම් පැත්තකට දමා අලුත්ම කතාවක් රචනා කරන ලදී. ඉන්දියවේ ඉපිද ලංකාවේ පුරවැසිකම ලැබූ ආර්. මුත්තුසාමි මාස්ටර් මාතලන් චිත්‍රපටයේ එන ගීත දොළහ අතරින් එකොළහක්ම නිර්මාණය කරන ලද්දේ ස්වතන්ත්‍ර තනු අනුවය. එමෙන්ම මුත්තුසාමි මාස්ටර්ගේ විශිෂ්ටතම ගී තනුවක් ලෙස සැලකෙන මාතලන් චිත්‍රපටයේ එන 'උපත ලබා මේ ලෝකේ' ගීතය සඳහා ඇසුරු කොට ඇත්තේ තුරඟා වන්නමයි.

එහි එන ගී දොළහම රචනා කරන ලද්දේ බෙනඩික්ට් ප්‍රනාන්දු නැතහොත් බෙනඩික්ට් මාස්ටර් ලෙස චිත්‍රපටයේ සඳහන් වෙයි. එහෙත් නායගම් ගේ ශ්‍රී මුරුගන් නව කලා ෆිල්ම්ස් මඟින්ම නිකුත් කරන ලද මාතලන් සිංදු පොතෙහි බෙනඩික්ට් මාස්ටර් මෙන්ම හියුගෝ මාස්ටර්ගේ නම ද ගීත රචකයන් ලෙස සඳහන්ව ඇත්තේය. චිත්‍රපටයේ ගී ගැයුවේ ධර්මදාස, ලතා වල්පොල සමඟ කේ. රාණිය. කේ. රාණි යොදා ගත්තේ නොවැළැක් විය හැකි කරුණක් නිසාවෙන් යැයි නිෂ්පාදක නායගම් සඳහන් කර තිබිණි. ඉන්දීය ජන කතාවක් අනුව තැනුව ද ගායනයේ ද, ගීතයන්ගේ ද ඉස්මතු වූයේ දකුණු ඉන්දීය ස්වරූපය නොවේ. චිත්‍රපටයේ ගී රචනා පිළිබඳ නාමාවලියේ හා සිංදු පොතේ පලහිලව්ව වරක් මම ගී රැජන ලතා වල්පොලගෙන් විමසා සිටියෙමි. සමහර විට හියුගෝ මාස්ටරුත් සිංදු ලියන්න ඇති. අද වගේ ඒ දවස්වල ඔය වැඩවලට පොර කෑවේ නැහැ. ඇගේ පිළිතුර වූයේය. මේ පිළිතුර ඇතුළත සැඟවුණ බොහෝ අරුත් ඇත්තේය. නිර්මාණකරුවන්ගේ ජීවිකාව මෙන්ම ආත්ම තෘප්තිය ද ඔවුන්ගේ කටයුතු සමග බැඳී තිබුණ වග එයින් සනාථ වෙයි.

මාතලන් කතාන්දරය සැකසීම සඳහා හියුගෝ මාස්ටර් බොහෝ ලාංකික ජනකතා ද අතුරු කතා ලෙස එක් කොට ඇත. මාතලන් විචාරකයන් විසින් ගර්හාවට ලක් කරන ලද මංගම්මා සබඳම් නම් චිත්‍රපටයේ එම කතන්දර ඇතුළත්ව නැත. එමෙන්ම මංගම්මා සබඳම් රජ කුමරු හා ගැමි තරුණියගේ කතාන්තරය දිගින් දිගටම ගලා යයි. පුතුගේ චරිතය චිත්‍රපටයට ඇතුළත් වනුයේ එහි අවසාන පැය භාගයේ පමණය. එය සහමුලින්ම වෙනස් කරන හියුගෝ මාස්ටර් ශූර කතා රචකයකු ලෙස චිත්‍රපටයේ පළමුවන පැය ගෙවෙන්නට මත්තෙන් මාතලන්ගේ චරිතය සිය තිරනාටකයට එක්කර ගනියි. එයට පසු චිත්‍රපටය චිත්‍රාරම්භ රජු සහ මාතලන් පුතුගේ ක්‍රියා කලාපයේ අර්බුදය හාස්‍යයෙන් යුතුව අතුරු කතා රාශියක් ද ඇතුළත් කොට ගොඩ නැංවීමට ඔහු සමත් වෙයි. මේ කතාව පුරා සම්පූර්ණයෙන් ඒකමිතිය රඳවා ගැනිණ. ලාංකික සිනමාවේ පුරෝගාමී නළු නිළියන් අතර දීර්ඝ කාලයක් ජීවත් වූ හියුගෝ ප්‍රනාන්දු වතාවක් හමුවීමේ වරම මට ලැබිණ. එක් වසරක සරසවිය සම්මාන උලෙළේ යාව ජීව සිනමා කර්තව්‍යය වෙනුවෙන් පිදෙන රණ තිසර සම්මානය පිරුනැමුණේ හියුගෝ මාස්ටර්ටය.

සරසවිය සම්මාන සමඟ මුදල් ත්‍යාග පිරිනමන්නට ගත්තේ එම වසරේ පටන්ය. සම්මානය දිනූ පසු එහි සතුට විඳින්නට කර්තෘ මණ්ඩලයට තම නිවසට එන්නට යැයි මාස්ටර් කිහිප වරක්ම ආරාධනා කළේය. ඒ දවස්වල මාස්ටර් පැවසුවේ පරලොවින් එන ටැලිග්‍රෑම් එක එන්නට පෙර පැමිණිය යුතු වගය. තමා බලාපෙරොත්තුව සිටි එම ටැලිග්‍රෑම් එක තමාට පෙර ඩේසි (රුක්මණී දේවි) ලැඩී (ලැඩී රණසිංහ) එඩී (එඩී ජයමාන්න) පමණක් නොව තමාගේ භාර්යාවද ලබාගෙන ඇති වග ඔහු පැවසුවේය. එවකට සරසවිය කතුවර ඒ. ඩී. රංජිත් කුමාර මහතා පසුව සරසවිය කතු පදවිය හෙබ වූ, එවකට නියෝජ්‍ය කර්තෘ අනුර බණ්ඩාර රාජගුරු, අකල්හි පරලොව සැපත් පසු කලෙක නියෝජ්‍ය කතුවරයකු ව සිටි උප කර්තෘ සුසිල් ජිනපි‍්‍රය හා දැන් අමෙරිකාවේ වෙසෙන කැමරා ශිල්පී ශි‍්‍රයන්ත වල්පොල හා මාද කැටුව මීගමුවේ මාස්ටර් ගේ නිවහනට ගියේය. ඉතාම රසවත් මිනිසකු වූ මාස්ටර් තමන් අතින් හැදූ දේශීය නිෂ්පාදන පෙරටු කොට අප පිළිගත්තේය.

ඒ ගමනේ දී මාස්ටර් සමඟ අගනා ලිපියක් ලියන්නට රාජයියා සූදානම් ව සිටියද ආගන්තුක සංග්‍රහයේ රසය වැඩිවීමෙන් ඔහු වෙනුවට එම ලිපිය ලියැවුණේ මා අතිනි. මාතලන්, අල්ලපු ගෙදර, වන මෝහිනී, වීර විජය, සූරසේන වැනි චිත්‍රපට කතා අනුකාරක කතා වුවද එම චිත්‍රපට සියල්ල අති සාර්ථක වූයේ හියුගෝ මාස්ටර් ගේ දක්ෂතාව නිසාය. මේ ඇතැම් කතා සඳහා චිත්‍රපටවල නාමාවලියේ සඳහන් වනුයේ සිනමාස් කතා දෙපාර්තමේන්තුව යනුවෙනි. දෙබස් රචනා කර තිබුණේ හියුගෝ මාස්ටර්ය. වැඩිපුර පාසල් අධ්‍යාපනය නොලැබ ධීවර වාඩිවල හා මේසන් බාස් කෙනෙකු ළඟ අත් උදව් කරමින් සිටි හියුගෝ ප්‍රනාන්දු ගේ සැබෑ නම උගෝ සිංඤෝ විය. පාසල් අධ්‍යාපනයක් නොලැබුවද ජීවිතය ඔහුට විශ්වවිද්‍යාලයක් විය. ඔහුගේ වාග් විලාසය නිරන්තරයෙන් උපහාසයෙන් හා උපහැරණයෙන් පිරී තිබිණ. මාස්ටර් ගෙන් පසු විදග්ධ පරම්පරාවක් සිනමාවට පිවිසියද එමෙන්ම අප එය අගය කළ ද හියුගෝ මාස්ටර් ගේ කර්තව්‍යය අගය කළ යුතු වනුයේ ඔහුගේ සමකාලීන සමාජය පිරික්සා බැලීමෙනි. මාතලන් චිත්‍රපටය නවනළු රසයෙන් අනූන තිර කතාවකි. එය මුළුමනින්ම ගොඩ ලන්නේ මේ ශූර කතන්දර කරුවාට පින්සිද්ධ වන්නටය.

මාතලන් මුල් වටයේ දින 86 ක් තිරගත විය. ඉන්පසු 1973 වසරේ දී එය නැවත රාජ්‍ය චිත්‍රපට සංස්ථාව මඟින් තිරගත කරවන ලදී. එවර එය බොරැල්ලේ රිට්ස් සිනමා හලේ දින 118 ක් තිරගත විය. එදා මෙදා තුර නැවත තිරගත කරවීමකදී දින සියය ඉක්ම වූ එකම සිංහල චිත්‍රපටය එය වන්නේය. චිත්‍රපටයේ කාර්මික අංශයට දායක වූවන් ගෙන් සිංහලයන් වනුයේ හියුගෝ මාස්ටර් සහ බෙනඩික්ට් මාස්ටර් සහ නිශ්චල ඡායාරූප ශිල්පී එල්. මාටින් පෙරේරා පමණි. නායගම් හා මුත්තුසාමි හැරුණු විට සෙසු සියලු කාර්මික ශිල්පීන් ඉන්දියානුවන්ය. ඒ දෙපළද ඉන්දියානු සම්භවයෙන් යුක්ත විය.

පිය පුතු යුවළ ලෙස ද්විත්ව චරිත රඟපෑවේ ශේෂා පලිහක්කාරය. සතර අත පතල ප්‍රතිභාවයෙන් යුතු ශේෂා මාතලන් චිත්‍රපටයෙන් අසීමිත ජනපි‍්‍රයත්වය ලැබුවද එය ඉන්දීය කතාවක් නිසාවෙන් හෝ ඒ පිළිබඳ වැඩි තැකීමක් හෝ ප්‍රසිද්ධ වන්නට හෝ පසුකලෙක අකමැති විය. එයින් පසු කලෙක ඔහු වඩාත් කීර්තිමත් වුයේ මෙරට වෘත්තීය චිත්‍රපට සමාගමක් ලෙස සෙරන්ඩිබ් සමාගම පිහිටුවා එමඟින් තැනූ රන්මුතු දූව, ගැටවරයෝ, සාරවිට ඇතුළු චිත්‍රපට නිෂ්පාදකයා හැටියටය. මාතලන් හි ප්‍රධාන චරිතයට වඩා 1956 තිරගත වන රේඛාවේ විරිදුකරු හැටියට කළ කුඩා රංගනය ශේෂා ඉහළින් කතා කළේය. එමෙන්ම චිත්‍රපටයේ චිත්‍රාවල්ලි කුමරිය ලෙස රඟපෑ කලැරිස් ද සිල්වා ජනපි‍්‍රයත්වයේ කිරුළ පැලැන්දාය. හියුගෝ ප්‍රනාන්දු, මාක් සමරනායක, එඩී යාපා, බර්නාඩ් පෙරේරා, රත්නා කුමාරි, අනුලා මැණිකේ, පි‍්‍රමිලා මාර්ටින් ආදීන් එහි සෙසු චරිත නිරූපණය කළහ.

මාතලන් රූපගත කරන ලද්දේ මදුරාසියේ වාහිනී සහ ප්‍රසාද් චිත්‍රාගාරවලදීය. ඒ වනවිට කඳානේ සුන්දර සවුන්ඩි චිත්‍රාගාරය විවෘතව තිබූ හෙයින් නළු, නිළියන් පුහුණු වූයේ එහිය. එහෙත් එයට පෙර තමා තැනූ චිත්‍රපටවලට වඩා වෙහෙස වූ නායගම් මදුරාසියේ හොඳම චිත්‍රාගාර මාතලන් රූ ගැන්වීම සඳහා භාවිත කළේය. අගෝස්තු මාසයේ මුල් සතියේ තිරගත වීමට නියමිතව තිබුණද රූ ගැන්වීම් ප්‍රමාද වූයේ මදුරාසියට ඇද හැලුන ධාරානිපාත වර්ෂාව හේතුවෙනි. එබැවින් චිත්‍රපටය අගෝස්තු 27ට කල් ගියේය.

මාතලන් චිත්‍රපටය සිනමාස් ශාලාවල තිරගත වන 1955 වසරේදී එයට සමගාමීව ලංකාවේ මුල්ම සිනමාශාලා සේවක වර්ජනය සිදු විය. ඒ සිලෝන් තියටර්ස් සමාගමේ සේවකයන් කිහිප දෙනෙකු සේවයෙන් පහ කිරීමට විරුද්ධවය. සිනමාස් සමාගමේ ශාලාවල තිරගත වූ මාතලන් පැල් බැඳගෙන දුවද්දී, සිලෝන් තියටර්ස් ශාලා වර්ජනයකට මුහුණ දුන්හ. මෙරට නිපද වූ මුල්ම වර්ණ චිත්‍රපට දැන්වීම තිරගත වූයේ ද මාතලන් සමඟය. ඒ රාණි සබන් වෙනුවෙන් තැනූ දැන්වීමකි. එකල රාණි සබන් නිපද වූයේ ද මාතලන් තැනූ නායගම්ය.

පනස් පහේ තොරතුරු තවත් ටිකක් ඉදිරියට ලියමි.