වර්ෂ 2015 ක්වූ අගෝස්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




ගොළු තාත්තාට මහේන්ද්‍ර ගොළු භාෂාවත් ඉගෙන ගත්තා

ගොළු තාත්තාට මහේන්ද්‍ර ගොළු භාෂාවත් ඉගෙන ගත්තා

අධ්‍යක්ෂ ඔක්ෂාන් විජේරත්න හෙළිදරව් කරයි
 

සෑම ඉරු දිනකම රාත්‍රී 8.30 ට ස්වර්ණවාහිනී නාළිකාවේ දිග හැරෙන ටෙලි සිතුවම මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට පාත්‍ර වී තිබේ. ඒ වර්තමානයේ විකාශය වන ටෙලි සිතුවම්වලට වඩා එය වෙනස්ම ආරක් ගන්නා බැවිනි. එම අපූරු ටෙලි සිතුවම ගොළු තාත්තාය. ඔක්ෂාන් විජේරත්නගේ අධ්‍යක්ෂණයකි. කලක් ස්වර්ණවාහිනියේ සේවය කළ ඔක්ෂාන්ගේ පළමු ටෙලි නිර්මාණය වන්නේ ගොළු තාත්තාය. මෙහි ගොළු තාත්තාට පණ පොවමින් මහේන්ද්‍ර පෙරේරා විශිෂ්ට රංගනයක යෙදෙයි.

ගොළු තාත්තා පිළිබඳ කතාබහ කිරීමට අපි ඔක්ෂාන්ව සරසවියට කැඳවූයෙමු. එහි අධ්‍යක්ෂවරයා මෙන්ම රචකයා වශයෙන් ඔහු මෙසේ අදහස් දක්වන ලදී.

ඔක්ෂාන්, කොහොමද ගොළු තාත්තා සංකල්පය ඔබේ මනසට එන්නේ?

මගේ ගම අරනායක උස්සාපිටිය. මගේ ළමා කාලය ගෙවුණේ ගමේ. අපේ ගෙවල් ගාව හිටියා ළමුන් තුන් දෙනෙක්. තුන් දෙනාම ගොළුයි. ඒ අය මා පාසල් යනකොට මගේ පස්සෙන් එනවා. ඇවිත් මං පාසල ඇතුළට යද්දී ඔවුන් ගේට්ටුව ගාව නවතිනවා. මේ වගේ සංවේදී දේවල් දිහා බලාගෙන හිටියා. කාලයත් සමඟ ඒවා මගේ හිතේ තැන්පත් වුණා. ක්‍රමයෙන් මා වැඩිවියට පත් වෙලා ස්වර්ණවාහිනියේ රැකියාවට එනවා. ඒ අතරතුරදී වාර්තාමය වැඩසටහනකට මොනරාගල ආදී දුෂ්කර ප්‍රදේශවලට ගියා. එහිදී මං දැක්කා අපේ රටේ තවමත් පවතින නොවිධිමත් අධ්‍යාපන ක්‍රමය. මේ දේ මගේ හිතේ තැන්පත් වුණා. ගොළු තාත්තා කතා සංකල්පය මගේ ඔළුවට එන්නේ මේ කරුණු කාරණා මත.

සමහර නාට්‍යකරුවන් නාට්‍ය හදාගෙන පෝලිමේ ඉන්නවා. නමුත් ඔබ ගොළු තාත්තා නිර්මාණය කළ සැනින් විකාශය වුණා?

මේ නාට්‍යය කළේ ස්වර්ණවාහිනියේ බුද්ධික කුලසේකරගේ ඉල්ලීමකට අනුව. ඔහු නාට්‍යයට ඉඩක් තබාගෙනයි මට මේ ආරාධනාව කළේ. මේ වෙලාවේ මට රොෂාන් රවීන්ද්‍රවත් මතක් කරන්න ඕනෑ. ඔහු තමයි මගේ දකුණු අත වගේ ඉඳගෙන මේ නිර්මාණය කරන්න මගපාදලා දුන්නේ.

ඔබ වසර දහතුනක් පමණ ස්වර්ණවාහිනියේ සේවය කළා. ඇයි ඉන් සමු ගත්තේ?

පෞද්ගලික හේතූන් මත මං ඉන් නික්මුණා. මේ වන විට මං නිදහස් නිර්මාණකරුවෙක්.

බය හිතුණේ නැතිද ස්ථිර රැකියාවක් දාලා එන්න?

කොහෙත්ම නැහැ. මං ස්වර්ණවාහිනිය තුළ ඉන්න කොටත් මං ආයතනයේ කියන කියන දේවලට අනුකූලව නෙවෙයි වැඩ කළේ. යමක් මට රිසි විදිහට වෙනස් කරගෙන නිර්මාණශීලීම දේ තමයි ප්‍රේක්ෂකයන්ට දුන්නේ. එහෙයින් කිසිදු අමනාපයකින් නෙවෙයි මං ස්වර්ණවාහිනියෙන් එළියට බැස්සේ. මං දන්නවා මා තුළ හොඳ නිර්මාණකරුවකු ඉන්නවා. එවන් හැකියාවක් තියෙනවා නම් කිසිම වෙලාවක බිය විය යුතු නැහැ. මොකද නිර්මාණශීලී ඕනෑම කෙනෙකු වෙතට නිරායාසයෙන් මුදල් ළඟා වෙනවා කියන විශ්වාසය මා සතුව තිබුණා.

ඔබ ඇයි සාම්ප්‍රදායික මෙගා නාට්‍යයක් නොකළේ? ස්වර්ණවාහිනියේ වැඩිපුරම විකාශය වන්නේ ඒවා?

මෙගා සහ මෙගා නොවන වශයෙන් නාට්‍ය බෙදා වෙන් කරන්නේ නැහැ. ඔක්කොම නාට්‍ය එකයි. රස වින්දනයෙහි වෙනස තියෙන්නේ.

ඒ කියන්නේ ඔබට නාට්‍ය කුලකයක් නැහැ?

නැහැ. නාට්‍ය කුලකයන්ට වෙන් කිරීම අනුමත කරන්න බැහැ. හොඳම උදාහරණය ඔෂීන්. ඒක මෙගා. නමුත් කොච්චර රසවත්ද?

ගොළු තාත්තා කාටද?

ලංකාවේ ප්‍රේක්ෂකයෝ ගොළු තාත්තා බැලුවද නැද්ද කියන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. මං නාට්‍යය හැදුවේ ඥානය තියෙන අයට. අපේ මිනිස්සු සතුව හොඳ රස වින්දන හැකියාවක් තියෙනවා. අන්න ඒක දියුණු කිරීමේ අරමුණ පෙරදැරිවයි ගොළු තාත්තා නිර්මාණය කළේ. ගොළු තාත්තා නරඹපු බොහෝ දෙනෙක් කිව්වා මේක වෙනස්ම අත්දැකීමක් කියලා. ඒ කියන්නේ මගේ උත්සාහය සාර්ථකයි.

ඔබ කියන්නේ ගොළු තාත්තා උසස් නාට්‍යයක් කියලද?

නැහැ, නැහැ . . . මේක උසස් නාට්‍යයක් නෙවෙයි. හැබැයි මේක ගොසිප් නාට්‍යයක් ද නොවෙයි. මං කලින් කිව්වේ මේක රස වින්දනය උසස් තැනකට ගෙනියන නිර්මාණයක්.

ගොසිප් නාට්‍ය කියලා ඔබ කිව්වේ මොනවද?

ඕපදූප නාට්‍යවලට. එමඟින් කතා කරන මාතෘකා හරිම බොලඳයි. ඇස් වහගෙන වුණත් බලාගෙන ඉන්න පුළුවන්. ගොසිප් නාට්‍ය කියන්නේ ඒවා.

ගොළු තාත්තාගේ චරිතය රඟපාන්නේ මහේන්ද්‍ර පෙරේරා. වචනයක්වත් භාවිත නොකර කරන ඔහුගේ රංගනය ඉතාම උසස්?

නළු වෘත්තියේ විද්‍යාව දන්න එකම නළුවා හැටියට මං දකින්නේ ඔහුව පමණයි. ඔහු මේ වෙනුවෙන්ම ගොළු භාෂාව ඉගෙන ගත්තා. අතිශය සූක්ෂම විදිහට ඔහු එය ග්‍රහණය කර ගැනීමට සමත් වුණා. ගොළු භාෂාවට බොරු කරන්න බැහැ. ඒ අදහස දෙන ඒ සංකේතයම ඕනෑ. ඔහු ඒවා ඉතාම නිවැරැදිව, කැපවීමෙන් නාට්‍යයේ රඟපෑවා. කෙටියෙන්ම කිව්වොත් මගේ සුපිරි තරුව තමයි මහේන්ද්‍ර පෙරේරා.

ගොළු තාත්තා නිර්මාණය කරද්දී ගෙයක් ගිනි ගත්තු කතාවක් ගැන මට ආරංචි වුණා?

ඒක වුණේ මෙහෙමයි. අපි රූගත කළේ කතරගම ආදී දුෂ්කර පෙදෙස්වල. අපි නාට්‍යය වෙනුවෙන්ම ගෙවල් කිහිපයක් හැදුවා. මං ෂූට් එකේ ඉන්න කොට අපේ ඇසිස්ටන්ට් කෙනෙක් දුවගෙන ආවා එයින් එකක් ගිනි ගන්නවා කියලා. මට තරු පෙනුණා. අපි දුවගෙන ගියා මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ බලන්න. ඔන්න එතකොට පේනවා අපි හදපු ගෙයක් ගිනි ගන්නවා. මං තව ටිකක් ළඟට ගියා. එතකොට තමයි හරියටම දැක්කේ. අපේ ගෙදරට එහා ඉහළින් තිබුණු කැලෑවක් තමයි ගිනි ගන්නේ. හේනක් කොටන්න ඒ පැත්තම ගිනි තියලා. ඈතින් බලපුවාම පේන්නේ අපේ සෙට් එක ගිනි ගන්නවා වගෙයි.

ගොළු තාත්තාට සම්මාන ලැබේවිද?

සම්මාන අත්‍යවශ්‍යයි කියලා මං හිතන්නේ නැහැ. මං හොඳ නාට්‍යයක් කළා. එච්චරයි.

ගොළු තාත්තා හරහා ඔබ ලංකාවේ අවිධිමත් අධ්‍යාපනය ගැන කතා කරනවා. එසේ කිරීමේ ඔබේ අරමුණ මොකක්ද?

අපේ ලංකාවේ සාක්ෂරතාවය ඉහළයි කියලා මතයක් තියෙනවා. මාත් ඒක ඇත්ත තියලා හිතාගෙන හිටියා. නමුත් එහෙම නැහැ. මං ඇස් දෙකට දැකලා තියෙනවා අකුරක්වත් කියවන්න බැරි ළමයි ඕනෑ තරම්. අපේ රටේ දුෂ්කර පෙදෙස්වල තවමත් ක්‍රියාත්මක වන්නේ අවිධිමත් අධ්‍යාපන ක්‍රම. ඇතැම් ඉස්කෝලවල්වල සීනුවක්වත් නැහැ. ටකරමකට වගේ දෙයකට තමයි සීනුවක් වෙනුවට පාවිච්චි කරන්නේ. ඒ ගැන කිසිම නිර්මාණකරුවෙක් කතා කළේ නැහැ. මට ඕනෑ වුණා මේ සත්‍යවාදීත්වය නිර්මාණයක් තුළින් කතා කරන්න. ඒ වෙනුවෙන් මං බොහෝ පර්යේෂණ කළා. හරියටම කිව්වොත් වසර අටක් පමණ. අපි අධ්‍යාපනික වශයෙන් හරිම පසුගාමී මට්ටමකයි සිටින්නේ. එය දරුණු ඛේදවාචකයක්.

ඔබේ ඊළඟ ටෙලි නිර්මාණයට මේ දිනවල සූදානම් වෙනවා කියලා දැනගන්නට ලැබුණා?

ඔව්. ඒකේ නම් කොළඹ සල්ලාලයා. වෙනස්ම කතාවක්. මේ නිර්මාණය හමාර කළ සැනින් ඒක පටන් ගන්නවා.

ටෙලි නාට්‍ය කළත් ඔබ වඩාත් කැමැති සිනමාවට කියන්නේ ඇත්තද?

ඒක නම් හරි. මගේ වැඩි කැමැත්ත සිනමාවට. ජනවාරියේ සිනමාපටයක් පටන් ගන්නවා. ඒකේ පිටපතත් මගේ. එහි පර්යේෂණවල නියැළෙමින් තමයි කාලය ගත කරන්නේ.

ගොළු තාත්තා ගැන තවත් යමක් පවසන ගමන් මේ කතාව අවසන් කරන්න හිතුණා. මේ නාට්‍යයට සම්බන්ධ නළු නිළියන් වැඩි දෙනෙක් ගොළු භාෂාව ඉගෙන ගත්තලු. මේ කර්තව්‍යයට අකැමැති වෙච්ච කෙනෙක් එහෙම හිටියේ නැතිද?

ඔබ ඔය ප්‍රශ්නය අහන්න ඇත්තේ ගොළු බස ඉගෙන ගන්න ලේසි නැති හින්දා වෙන්න ඇති. ඇත්ත මේක කතා කරන අපිට හරි අමාරුයි. මොකද සියල්ල අතින්නෙ කියන්න ඕනෙ. අභියෝගයක් තමයි. ඒත් කොහොම හරි ජයගත්තා. කිසි කෙනෙක් නාට්‍යයෙන් අයින් වුණේ නැහැ. හැමෝම එකා වගේ වැඩ කරලා ගොළු තාත්තා සාර්ථක කරගන්න උදව් වුණා.