වර්ෂ 2015 ක්වූ අගෝස්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




සීතා නානායක්කාර ගේ සිවිලිම උඩ කුඩුකාරයෙක්ලු

සීතා නානායක්කාර ගේ සිවිලිම උඩ කුඩුකාරයෙක්ලු

අවුරුදු 4 සිට ඉන්නවාලු !

මරණීය තර්ජනත් කරනවලු!

පොලීසියෙන් මේ ගැන දැන් හොයන්නේනැහැලු

දැනට අප අතර සිටින පැරැණිතම සිනමා නිළි ගායිකාව සීතා නානායක්කාරයි. ඇය අදටත් පදිංචිව සිටිනුයේ පිටකෝට්ටේ, බංගලා හංදිය අසල, මිෂන් පාරේ, අංක 9/9 දරන නිවසේය. ජීවිතයේ සැඳෑ සමය සිය නිවසේ තනිවම ගත කරන සීතා නානායක්කාර ‘කලා භූෂණ’ ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලත් කලාකාරියකි. ඇය මුළු රටටම සාමදාන විනිශ්චයකාර තනතුරකින් ද පිදුම් ලබා සිටින්නීය. ඒ සැමට වඩා දූ දරුවන් පස් දෙනෙකුගේ මවක වන සීතා මුනුපුරු මිනිබිරියන් අට දෙනෙකුගේ දයාබර මිත්තනියකි.

‘මට මේ තනතුරු තාන්න මාන්න කාලයක සිටම තිබුණා. මගේ සැමියා ‘ඉලාස්ටෝ’ පාවහන් සමාගමේ අධිපතිව සිට මියගිය ගමගේ ඩොනල්ඩ් ගුණසේකර. මගේ එකම පුතා අදටත් ලොකු ව්‍යාපාරිකයෙක්. තාත්තාගේ ව්‍යාපාරවල එකම උරුමක්කාරයා වුණු ගමගේ මංගල ගුණසේකර. ඔහු පියාගේ උපන් ගමේ බෙන්තර ව්‍යාපාර පවත්වාගෙන යනවා.

අපරාදෙ කියන්න බැහැ මට මගේ දියණියන් සිව් දෙනාත්, එකම පුතාත් හොඳට සලකනවා. ඒත් ඒ අය හරිම අවිවේකයි. දියණියන් තුන් දෙනෙක්ම ඉන්නේ පිටරටවල. ලංකවේ ඉන්න එකම දුවටත් මා ළඟට වෙලා ඉන්න බැහැ. ඒ අයට ඒ ඒ අයගේ ප්‍රශ්න තියෙනවා විසඳ ගන්න.

ඉතිං ඔබගේ නිවසේ සීලිම උඩ කාලයක් තිස්සේ වෙසෙන මේ කුඩුකාරයා කවුද?

කාලයක් මම මේ බව දැනගෙන හිටියේ නැහැ. නොයෙක් ශබ්ද රෑට රෑට වහලය උඩින් ඇහෙන්න ගත්තා. පස්සේ මම මේ ගැන හොඳ අවධානයෙන් උන්නා. හැම දාම රෑට මිනිහෙක් වහලය උඩට නැගලා සීලිම අස්සේ බුදියන බව දැනගත්තා.

පොලීසියට මේ බව දැන්වූවේ නැද්ද?

කීප සැරයක් දැන්නුවා. ඒත් වැඩක් වුණේ නැහැ. පොලීසිය මෙතැනට එනකොට ‘කුඩුකාරයා’ පැනලා යනවා. මගේ ගෙදර තුන් පැත්තකින්ම ගෙවල් තියෙනවා. පැනලා දුවන මිනිහෙක්ව හොයන්න බැහැ.

අපේ වහලය උඩ හැම පැත්තටම කැමරා හයි කරලා තියෙනවා. පුතා වියදම් කරලා මේවා කළත් කුඩුකාරයාව අපිට අල්ල ගන්න බැහැ. හැමදාම මම ගෙදර තනි වෙලා ඉන්නේ.

සමහර දාට මූ මට මරණීය තර්ජන පවා කරනවා. බිමට බැහැලා වීදුරු ජනේලයට උගේ හෑන්ඩ් ෆෝන් එකේ ලයිට් එකත් අල්ලනවා. මේ වගේ දවස්වල මම ගෙදර රෑට ඉන්නේ ලයිට් ඕෆ් කරලා විදුලි පන්දමේ එළියෙන්.

මම මේ ‘කුඩුකාරයා’ ගැන හුඟක් අයට කිව්වා. දැන් මට වයස නිසා ගෙදරින් පිට වැඩිපුර ගමන් යන්නේ නැහැ. හැම වෙලාවේම ගෙදර දොර ජනෙල් වහගෙන ගේට්ටුවලට ඉබි යතුරු දාගෙන බයෙන් තමයි මං ජීවත් වෙන්නේ.

කවදා හරි මට වැරදුණු දවසක මේ කුඩුකාරයා මගේ ගෙට පැනලා මාව මරයිදෝ කියන සැකය තමයි මා ළඟ තියෙන්නේ. එහෙම කළාට පස්සේ මේ සිද්ධියට ප්‍රචාරයක් දීලා වැඩක් නැහැනෙ. මගේ දරුවො මට සල්ලි එවනවා. කෑම බීම හැම දෙයක්ම මට අඩුවක් නැහැ. ඒත් මගේ හිතට සැනසීමක් නැහැ. මේ ජීවිතේ අන්තිම කාලේ මගේ සැමියා මට අරගෙන දුන්නු මේ ගෙදර විකුණලා කොහාටවත් යන්නවත් මට කැමැත්තක් නැහැ. ඒවා මට තනිවම කරගන්නත් බැහැ. මහලු මඩමකට ගිහිං ජීවත් වෙන්නත් මං කැමැති නැහැ.

අපේ ළමයි අවුරුද්දකට සැරයක් වගේ මෙහි එනවා. ඒ අයගේ දරුවන්ගේ පරණ පාසල් පොත් පවා එකතු කරලා තියෙන්නේ මේ ගෙදරයි. මේක තමයි ඒ අයගේ ‘මහ ගෙදර’ විදියට එයාලා සලකන්නේ. මම මගේ හැම ප්‍රශ්නයක්ම කෝල් කරලා දරුවන්ට කියනවා. සමහරදාට සීලිම උඩ මේ කුඩුකාරයා යකා නටනවා. විෂ දුම් වර්ග එහෙම ගේ ඇතුළට දානවා. කෑගහලා මාව බය කරනවා. මම ‘තුන් සූත්‍රය’ කියව කියවා මේසයක් යටට වෙලා කරුවලේ ගුලිවෙලා ඉන්නවා. එත් මං බය නැහැ. මම කවදාවත් බයේ අඬපු ගැහැනියක් නෙවෙයි. අවුරුදු ගණනාවක් තනියම ජීවත් වෙලා මට පුරුදුයි. ඒත් දැන් මම හොඳටම අසරණ වෙලා. මම දැන් හොඳටම වයසයි. ඒත් මට හොඳ කල්පනා ශක්තියක් තියෙනවා. ජීවත් වෙන්න තියෙන එකම හයිය තමයි මගේ කල්පනා ශක්තිය. මගේ ජීවිතයට හානියක් නොකරන්න මේ කුඩුකාරයාව අල්ලලා හිරගෙදරකට දාන්න කාට හරි පුළුවන් නම් ඒක ලොකු උපකාරයක්.

හදිසියේ අද රෑට හරි මාව මරන්න ඌට පුළුවන් වුණොත් ඊට පස්සේ ඒ ගැන නම් පත්තරයකවත් දානවට මම කැමැති නැහැ.

මේ ප්‍රවීණ නිළි - ගායිකාව සීතා නානායක්කාර මා හා කීවේ කඳුළු වගුරුවමින් හඬමිනි.