වර්ෂ 2015 ක්වූ අගෝස්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




‘වනසරා’ මංගල දැක්මට තිසාහාමි ආවේ හෙලිකොප්ටරයෙන්

‘වනසරා’ මංගල දැක්මට තිසාහාමි ආවේ හෙලිකොප්ටරයෙන්

නිෂ්පාදක-අධ්‍යක්ෂ එස්. ඒ. සෝමරත්න

චලන චිත්‍රපටයේ ආරම්භය සනිටුහන් වන්නේ ඒක පුද්ගල කර්තව්‍යයක් ලෙසිණ. එනම් රූපගත කිරීමේ පටන් ප්‍රක්ෂේපනය දක්වා සියල්ල කැමරා ශිල්පියා විසින්ම සිදු කිරීම චලන චිත්‍රපට සිනමාවේ ඇරඹුමයි. මෙහි වර්ධන දියුණුවත් සමඟම වෙනස්කකම් රැසක් සිදු විණ. ඒ අනුව සංකීර්ණ කාර්යයකට පරිවර්තනය වූ චලන චිත්‍රපට නිර්මාණය සඳහා පිරිසක් අවැසි විය. මේ නිසා ඒක් එක් අංශ එක් එක් ශිල්පීන්ට පවරනු ලැබීය. ඔවුන් තිිරයෙන් පිටුපස ශිල්පීන් වෙති.

සිංහල සිනමාවේ මුල් යුගයේ සිටි එබඳු තිරයෙන් පිටුපස ශිල්පීන් අද බොහෝ දෙනෙක් සොයා ගන්නට නැත. වැඩි පිරිසක් මෙලොව අතහැර ගොසිණි. ජීවත්ව සිටින ස්වල්ප දෙනා වියපත් බව හේතුවෙන් සිනමාවෙන් දුරස්ව සිටිති. මෙවර සරසවිය සොයා ගත් අප්‍රකට ප්‍රවීණයා එක් පැත්තකින් චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. තව පැත්තකින් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. ඔහු නමින් එස්. ඒ. සෝමරත්නය.

ඔබ සිනමාවට සම්බන්ධ වූ යටගිය දවස මතකද?

මම සිනමාවට සම්බන්ධ වුණේ අපේ අයියා නිසා. ඔහු නමින් සොබනහන්දි ඩැනියෙල් සිල්වා සෝමරත්න. සිංහල සිනමාවට පිවිසි ප්‍රථම සෙනෙට් සභා මන්ත්‍රීවරයා කිව්වොත් කාගෙත් මතකයට නැගෙයි. නීතිඥවරයෙකු ද වූ ඔහුව පැරැණි සිනමා රසිකයන් ඇමතුවේ එස්. ඩී. එස්. සෝමරත්න කියා. හෙළදිව ෆිල්ම් ආර්ට් සමාගම ස්ථාපිත කළ ඩැනියෙල් අයියා එහි කාර්යාලය කොටහේනේ විවෘත කළා. අදත් හෙටත් රටේ යථාර්ථය පවසන අර්ථවත් පද වැලක් සහිත පෙරදිග මුතු ඇටයයි මේ එහි තේමා ගීතය. පළමු නිෂ්පාදනය ඩිංගිරි මැණිකා. අයියාට රාජකාරි බහුල නිසා චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු මෙහෙය වූයේ මම. නාමාවලියේ මගේ නම කෘත්‍යාධිකාරි නිෂ්පාදක හැටියට සඳහන් වෙනවා.

ඔබේ කුලුඳුල් සිනමා අත්දැකීම පිළිබඳව වැඩි විස්තරයක් කරන්න බැරිද?

ප්‍රථම සිංහල රහස් පරීක්ෂක නවකතාව ප්‍රබන්ධය කිරීමේ ගෞරවය පියදාස සිරිසේන සතුයි. ඔහුගේ එම කෘතිය සිනමාවට නැඟීමෙන් ප්‍රථම සිංහල රහස් පරීක්ෂක චිත්‍රපටය නිපදවීමේ වාර්තාව හිමි කර ගත්තේ හෙළදිව ෆිල්ම් ආර්ට් සමාගම. ඔවුන්ගේ ඩිංගිරි මැණිකා චිත්‍රපටයේ රඟපෑ බොහෝ දෙනෙක් නවකයින්. හැබැයි හැම කෙනෙක්ම උගත් අය. රන් බණ්ඩා නමින් හැඳින් වූ කතානායක චරිතයට තෝරා ගත් තේජා සෙනෙවිරත්න ඉංග්‍රීසි ගුරුවරයෙක්.

කෝන්ගොඩ වික්‍රමපාලගේ චරිතය නිරූපණය කළේ පුවත්පත් කලාවේදී සයිරස් ඩබ්ලිව්. සුරේන්ද්‍ර. ඩිංගිරි මැණිකා ලෙස රඟපෑ විමලා වැනීෂියා මගේ සොයා ගැනීමක්. ඇයව මට හඳුන්වා දුන්නේ ගම්පොල ජිනරාජ විද්‍යාලයේ විදුහල්පති අයි. බී. කරුණාතිලක. චිත්‍රපටයේ ඩිංගිරි මැණිකාගේ පියා නිලමේ චරිතය රඟපෑවෙත් ඔහුමයි. මෙහි අනික් සැඟවුණු රස රහස ඇත්ත ජීවිතයේ ඩිංගිරි මැණිකාට හිත ගියේ රන් බණ්ඩාට නොව මටයි.

ඔබ නියෝජනය කරන කාලයේ සිංහල සිනමාව කෙබඳුද?

පෙරදා අප අත් විඳි සිනමාවේ සුන්දර අත්දැකීම් සිහිවෙන කොටත් සිතට අසීමිත සතුටක් දැනෙනවා. නළු නිළියන් ඇතුළු සමස්ත සිනමා ශිල්පීන් සහෝදරත්වයකින් බැඳී සිටියා. කෙනෙක් පහත හෙළාගෙන තවකෙක් නැඟී සිටින්න, ජනප්‍රිය වෙන්න දැඟලුවේ නැහැ. එයට මම දෙන හොඳම සාක්ෂිය අපේ නිළි රැජින රුක්මණි දේවී. ඇය සමඟ බොහෝ චිත්‍රපටවල ප්‍රධාන චරිතය රඟපෑ නළුවන් ආධුනිකයන්. ඔවුන්ව රුක්මණී දේවී පුදුම විදියට දිරිගැන්නුවා.

ඔබ කියන ඔය යුගයේ සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය ගැනත් මතකද?

සිංහල චිත්‍රපටවලට වඩා පෙන්නුවේ ඉංග්‍රීසි, දෙමළ හා අවම වශයෙන් හින්දි චිත්‍රපට. සිංහල චිත්‍රපටත් සෑහෙන ප්‍රමාණයක් වසරකට තිරගත කළා. කිසිම චිත්‍රපටයක් ප්‍රදර්ශනය අතින් අසාර්ථක වුණේ නැහැ. හැමදාම ගැලරිය හැම සිනමාහලකම පිරිලා. විශේෂයෙන් සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය කරන සිනමාහල් අසළ පොරකන ජනතාව දකින කොට අපි ලැබූ ආත්ම තෘප්තිය නූතනයේ දෙතුන් දෙනකුට සීමා වෙලා. ඉස්සර තිබුණු 15 - 20 පිටපත් මුද්‍රණය හා ප්‍රදර්ශන වට ක්‍රමය තමා ලංකාවට ගැළපෙන්නේ. එය අදටත් වලංගුයි. ඔය ක්‍රමය නිසා සෑම සිංහල චිත්‍රපටයක්ම වසරක් පුරාවට සිනමාහල්වල පෙන්වීමෙන් නිෂ්පාදකයා පාඩු වින්දේ නැහැ.

ඔබ සිතන පරිදි අලුත් සිනමා නිර්මාණ අසාර්ථකද?

ලංකාවේ මේ වන විට තිබෙන සිනමාහල් ප්‍රමාණය දෙසීයකට වඩා බොහෝමත් අඩුයි. නැවත නැවත නරඹන පිරිස් නැතිනම් REPEAT CROWD නැහැ. ප්‍රවේශ පත්‍ර ගාස්තුව විඳ දරා ගන්න බැරි පවුල් චිත්‍රපට නරඹන්නේ කලාතුරකින්. එහෙම තියෙද්දී අධික වියදමක් දරා නිපදවන චිත්‍රපට ඇත්ත වශයෙන්ම ආයෝජනය කරන මුදලවත් පියවා ගන්නවා කියන කතාව සැක සහිතයි. සිනමාහල්වල නරඹන්නන් නැතිව වේලෙන චිත්‍රපට ගැන නිෂ්පාදක අධ්‍යක්ෂවරු පුරසාරම් දොඩවනවා ධනාත්මක ප්‍රතිචාර ලබමින් තිරගත වන බවට. කාටද මේ බොරු කියන්නේ. තමුන් තමුන්ටමයි.

ඔබ කියන විදියට පෙරදා සිනමා නිර්මාණ සාර්ථකද?

ඇත්ත වශයෙන්ම ඔව්. පවුලේ කියා හැදුවේ පියාට, මවට, දරුවන්ට එකට ඉඳ නැරැඹිය හැකි නිර්මාණ. මේවායේ ආදර්ශවත් කතාවක් වගේම විහිළු, සටන්, නැටුම් ඇතුළත්. කන්කලු ගීත සිනමාහලින් බැහැරවත් මතකයේ රැඳුණා. අද අධ්‍යක්ෂවරු නිම කරන ඕනෑම වල්පල් ගොඩක් බලන්න නරඹන්නාට ආරාධනා කරනවා. ඔවුන් එය ප්‍රතික්ෂේප කොට ගෙයි සාලේ රූපවාහිනිය බලනවා.

ඔබ අත් විඳි පැරැණි සිනමාවේ තවත් සුවිශේෂතා මොනවාද?

චිත්‍රපට ගත කරන කතා පුවත තීරණය කළේ අධ්‍යක්ෂවරයා නොවෙයි. නිෂ්පාදකවරයා. ඉන්දීය අධ්‍යක්ෂවරු සිංහල චිත්‍රපට මෙහෙයවීම කළ කාලයේ නළු නිළියන් තෝරා දුන්නේ නිෂ්පාදකවරයා. කොටින්ම සමස්ත චිත්‍රපටයම අධ්‍යක්ෂවරයා නිර්මාණය කළේ නිෂ්පාදකවරයාගේ අධීක්ෂණය යටතේ. අද ඒකේ අනික් පැත්ත. නිෂ්පාදකවරයා සල්ලි වියදම් කරනවා. අධ්‍යක්ෂවරයා තමන්ට රිසි ආකාරයට චිත්‍රපටයක් නිර්මාණය කර දෙනවා.

ඔබ ඩිංගිරි මැණිකාට පසුව දායකත්වය ලබා දුන් චිත්‍රපට ගැන කියන්න පුළුවන්ද?

ඩිංගිරි මැණිකා අතිශයින් සාර්ථක වීම නිසා හෙළදිව ෆිල්ම් ආර්ට් සමාගමේ දෙවැන්න වැඩි කල් නොයවා පටන් ගත්තා. මෙය කෙටි කතාවක් පසුබිම් කොට ගත් ප්‍රථම සිංහල චිත්‍රපටය දෙයියන්නේ රටේ. මෙහි කැතරින්ගේ භූමිකාව නිරූපණය කළ පුණ්‍යා හීන්දෙනියත්, ඩිංගිරි මැණිකා ලෙස ප්‍රකටව සිටි විමලා වැනීෂියා වගේම නවක නිළියක්. ඇය ඊට පෙර අසෝකා චිත්‍රපටයේ නැටුම් ජවනිකාවක පෙනී සිටියා.

ඔබ දෙයියන්නේ රටේ චිත්‍රපටයෙන් පසු සිනමාවෙන් සමුගත්තාද?

දෙයියන්නේ රටේ නිපදවා තිරගත කිරීමෙන් පසු මම 1958 විමලා වැනීෂියාව විවාහ කර ගත්තා. ගංතෙර චිත්‍රපටයටත් සම්බන්ධව කටයුතු කළ කාලයේ මම කරවල හා සිල්ලර බඩු තොග වශයෙන් සැපයූ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක්. ගස්ලබු කිරි, කෝපි වගේ දේශීය නිෂ්පාදන විදෙස් රටවලට අපනයන කිරීමත් කළා. වෙනුර ගාමන්ට් මඟින් අමෙරිකාව වැනි බටහිර රටවලට උසස් තත්ත්වයේ නිමි ඇඳුම් යැව්වා. මේ නිසා අයියාගේ අනික් නිෂ්පාදනවලට පූර්ණකාලීනව දායකත්වයක් දුන්නේ නැහැ. හැකි හැම විටම උපරිම සේවය ලබා දුන්නා.

ඔබත් චිත්‍රපටයක් නිපදවා ප්‍රදර්ශනය කළා නේද?

1967 සිට 1977 දක්වා මගේම ව්‍යාපාරික කටයුතු කරගෙන යද්දී මටත් හිතුණා චිත්‍රපටයක් නිර්මාණය කරන්න. මම කැලෑවට ප්‍රිය කරන කෙනෙක් නිසා ඒ සඳහා ලිව්වේ ආදි වාසී ජන ජීවිතය ආශි‍්‍රත කතාවක්. වනසරා නමින් රචිත ඔය තිර නාටකයට උචිත දෙබස් මඩවල එස්. රත්නායක සමඟ ජී. ටී. වික්‍රමසිංහ රචනා කළා. කතාවේ එන ප්‍රධාන චරිතය අවධි තුනකින් ඉදිරිපත් කෙරුවා. කුඩා කාලය නිරූපණය කළේ ආර්. ඒ. සුනිල් නම් ළමා නළුවෙක්. චිත්‍රපටය පුරාවට විහිදුන තරුණ විය රෝයි හඳපාන්ගොඩ රඟපෑවා. මහලු වනසරා වින්සන්ට් වාස්.

ඔබට වනසරා චිත්‍රපටය ප්‍රදර්ශනය කළ දිනය මතකද?

සංස්කරණ ශිල්පී එල්. එස්. රාමචන්ද්‍රන් සමඟ සම අධ්‍යක්ෂණය කළ වනසරා චිත්‍රපටයේ මංගල දර්ශනය 1968 ජූනි 27 වෙනිදා වැල්ලවත්තේ සැෆයර් සිනමාහලේ පැවැත්වූවා. මෙහි ප්‍රධාන අමුත්තා සැබෑ වැදි නායක තිසාහාමි. චිත්‍රපටයේ සැලකිය යුතු චරිතයක් නිරූපණය කළ ඔහු හෙලිකොප්ටරයකින් රත්මලානට පැමිණ එතැනින් සිනමාහලට පැමිණියා. 1969 සරසවිය සම්මාන උළෙලේ හොඳම තිර නාටකය, කැමරාකරණය යන අංශවලට සම්මාන ලැබුණා. එය චිත්‍රපට විස්සක් සමඟ කරන ලද තරඟයක ප්‍රතිඵලයක්. විනිශ්චය මණ්ඩලය තීරණය කළා වසරේ අගනා චිත්‍රපට පහෙනුත් එකක් වනසරා.

ඔබ වනසරාට පස්සේ චිත්‍රපට නිර්මාණය අත්හැරියාද?

මහ වනය රජ දහන කරගෙන සිටි නිර්භීත මිනිසකුගේ කතා පුවත තිරයේ දිග හැරිය වනසරාට පස්සේ තවත් චිත්‍රපටයක් නිර්මාණය කරන්න ගිහින් අදහස අතහැර දැම්මා. එය නිෂ්පාදනය කළා නම් කොළඹ ආනන්ද හා නාලන්ද, මාතර මහින්ද යන විදුහල්වල ඉගෙන ගන්නා එකම පවුලේ සහෝදරයන් තිදෙනකුගේ ආකල්ප අපූරුවට විග්‍රහ කරන්න තිබුණා. දැන් නම් නිර්මාණ කාර්ය කරන්න තියෙන කැමැත්ත හීන වෙලා.

ඔබ සිනමාව පිළිබඳ යම් කලකිරීමකින් පසු වෙනවාද?

අපොයි නැහැ. මම දැන් මහලුයි. පාළුව තනිකම අතරේ මම දැන් දෝලනය වෙනවා. අපේ එකම පුතා ලෝචන 2010 හදිසියේ මිය ගියා. ඊළඟ අවුරුද්දේ ඔහුගේ මව, මගේ බිරිඳ විමලා මා තනි කර පරලොව ගියා. දැන් මම ඔවුන් වෙනුවෙන් පින් දහම් කරනවා. ඒ වෙනුවෙන්ම විමලා සෝමරත්න පදනම පිහිටුවා ගත්තා.

ඔබ කරන පුණ්‍ය ක්‍රියා මොන ආකාරයේ ඒවාද?

බ්‍රිගේඩියර් නන්ද හතුරුසිංහගේ ඉල්ලීම පරිදි වාකරේ මයිලන් කරච්චි ශ්‍රී බෝධිරාජාරාමයට සංඝාවාසයක් අභිනවයෙන් ඉදි කොට පසුගිය ජූලි මාසේ සඟසතු කොට පූජා කළා. මේ දිනවල තෙල්වත්තේ රෝහලක් ඉදි කරගෙන යනවා.

ඔබ රෝහලක් ඉදි කිරීමට තෙල්වත්ත ප්‍රදේශය තෝරා ගත්තේ කුමක් නිසාද?

තෙල්වත්ත බලපිටිය ප්‍රදේශයට ආසන්න ගමක්. මම 1927 ජූනි 27 වෙනිදා ඉපදුණේ එම ගමේ. මගේ සම්පූර්ණ නම සොබනහන්දි අමරදාස සෝමරත්න. ඩැනියෙල් අයියා හැරුණු කොට මට වැඩිමහල් සහෝදරියක් හා මලයන් දෙන්නෙක් සිටියා. ඔවුන්ගේ දරු මල්ලන් තමයි වර්තමානයේ මගේ තනි නොතනියට ඉන්නේ. අපේ අයියාගේ පුතෙක් තමා අධිනීතිඥ අශෝක වීර සෝමරත්න. ඔහු ඉකුත් දා පැවති පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරඟ වැදුණා. මගේ පදිංචිය කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ අංක 410/125 දරන නිවසේ. දුරකථන අංක 011-2697339 හා 011-5740737.