වර්ෂ 2015 ක්වූ අගෝස්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් පිළිතුරු

අර්ජුන්ගෙන් පිළිතුරු

ප්‍රශ්නය - ප්‍රවේගය චිත්‍රපටය කොපියක්ද?

ඩී. බී. කුලතුංග - පූගොඩ

අර්ජුන් - කොපියක් නොවෙයි. එය පොල්ලාදවන් චිත්‍රපටයේ අනුකරණයක්.

ප්‍රශ්නය - ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කළ ප්‍රථම හින්දි චිත්‍රපටය කුමක්ද?

වියානි ගුණවර්ධන, ශීලා වැන්ඩර්ලන් වෙන්නප්පුව

අර්ජුන් - බිල්වා මන්ගල්.

ප්‍රශ්නය - ලස්සනයි බලන්න චිත්‍රපටයේ හරක් මුදලාලි ලෙස රඟපෑ සටන් නළුවා කවුද,

මනහර මහින්ද, බෙලිගල

අර්ජුන් - මේ චිත්‍රපටය මම නරඹා නැහැ. හරකා කවුද කිව්වොත් මුදලාලි ගැන කියන්නම්.

ප්‍රශ්නය - මෙරිල් ඇල්බට් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට මොනවාද?

චන්ද්‍රකාන්ති ධර්මරත්න, කැලණිය

අර්ජුන් - දාහකින් එකෙක් සහ අපි දෙන්නා.

ප්‍රශ්නය - ප්‍රවේගය තුළින් ආ ප්‍රවේගවත් වීරයා හේමාල් රණසිංහ ගැන ඔබට මොනවාද හිතෙන්නේ?

ආනන්ද වික්‍රමආරච්චි, ඉහළ තල්දූව

අර්ජුන් -ඔහු අනාගතයක් තිබෙන අති දක්ෂ නළුවෙක්.

ප්‍රශ්නය - සතිස්චන්ද්‍ර එදිරිසිංහ අනංගරාල නමින් නාට්‍යයක් නිර්මාණය කළාද? එහි චරිත රඟපෑවේ කවුද?

ඩබ්ලිව්.වීරසේකර, බෙලිහුල්ඔය

අර්ජුන් - ඔව්, මාලිනී ෆොන්සේකා එහි රඟපෑවේ. 1967 අවුරුද්දේ හදපු මේ නාට්‍යය පසු කාලේ බකතපස් කියලා වෙනස් වුණා.

ප්‍රශ්නය - ස්ටැන්ලි පෙරේරා ප්‍රථමයෙන් රඟපෑ චිත්‍රපටය කුමක්ද?

එච්. වී. කේ. පියදාස

අර්ජුන් - කැලෑහඳ.

ප්‍රශ්නය - චිත්‍රපටයක් රූගත කරමින් සිටින විට ප්‍රධාන නළුවා මිය ගියොත් මොකද කරන්නේ?

එන්. එස්. සුරංග, දංගොල්ල

අර්ජුන් - සිම්පල්, එක්කො ආදාහනය කරනවා නැතිනම් භූමදානය කරනවා. චිත්‍රපටයට වෙන නළුවෙක් ගන්නවා.

ප්‍රශ්නය - සිංහල සිනමාවේ මා ප්‍රියතම නිළිය ලෙස අපූර්ව චරිත මැවූ නදීකා ගුණසේකර දැන් දකින්නට ලැබෙන්නේ නෑ. ඇය සිනමාවෙන් සමුගෙනද?

සුනිල් බී. වේහැල්ල, ගෝනපොල

අර්ජුන් - ඇයි දෙයිියනේ මේ දවස්වල මහරජ අජාසත්ත චිත්‍රපටයේ රඟපානවා.

ප්‍රශ්නය - චූඩාමාණිකේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක කවුරුන්ද? එහි රඟපෑ නළු නිළියන් කවුරුන්ද?

එච්. එච්. ජයලත්, පෙතියාගොඩ, ගම්පහ

අර්ජුන් - අධ්‍යක්ෂණය විජය ධර්ම ශ්‍රී. රඟපෑවේ රවීන්ද්‍ර රන්දෙනිය, වසන්ති චතුරානි, ආනන්ද වික්‍රමගේ, වීණා ජයකොඩි, ලූෂන් බුලත්සිංහල.

ඔබේ සිනමා පැන විසඳුම්

අර්ජුනගෙන් පිළිතුරු.

සරසවිය, ලේක්හවුස්, කොළඹ 10