වර්ෂ 2015 ක්වූ අගෝස්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ වගේ මමත් රැවටිලා තියෙනවා

ඒ වගේ මමත් රැවටිලා තියෙනවා

තමාලි නදීෂා

තමාලි නදීෂා රංගනයට පිවිසෙන විට ඇයගේ වයස අවුුරුදු 08 කි. දයාරත්න රටගෙදර අධ්‍යක්ෂණය කළ මදාරා සුවඳ තමාලි චරිතයක් මැවූ පළමු ටෙලි සිතුවම විය. ඒ සඳහා ඇයට අවස්ථාවක් ලබා දෙන ලද්දේ එය රචනා කළ නිමල් නවරත්නයි. එතැනින් ඇරැඹූ තමාලිගේ රංගන ජීවිතය තුළදී මාලතී මලක්, සුවඳ හමන සඳවතක වරුණ විශේෂ තැනක් ගනියි. මේ දිනවල ජාතික නාළිකාවේ දිග හැරෙන ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ සඳ විනිවිද ටෙලි සිතුවමේ සෙව්වන්දි ලෙසින් තමාලි ඔබට හමු වේ.

තමාලි ඔබ වසර ගණනාවක් තිස්සේ රඟපෑමේ කටයුතුවල නියැලෙනවා. ඒත් ඔබව පුවත්පත් මාධ්‍යයෙන් අප දුටුවේ නැත්තේ ඇයි?

මං වැඩිය පුවත්පත් කලාවේදීන් හඳුනන්නේ නැහැ. ඒ හින්දා මට වැඩිය නෙවෙයි කොහෙත්ම කතා කරලා නැහැ පුවත්පත් ලිපිවලට. මේ මගේ පළමු පුවත්පත් ලිපිය. සරසවියට ස්තූතියි. මං දැනගෙන හිටියා කවදා හරි මට මේ අවස්ථාව ලැබේවි කියලා.

පුංචි කාලෙදිම රංගනයට පිවිසුණේ අනාගතයේ නිළියක් වෙන්න හිතාගෙන වෙන්න ඇති නේද?

අවංකවම කතා කළොත් මට නිළියක් වෙන්න කිසිදු වුවමනාවක් තිබුණේ නැහැ. අම්මා තමයි මාව උනන්දු කළේ. මං ඇය නිසා නිළියක් වුණා කියන එක තමයි ඇත්ත.

ඇයි මවට ඕනෑ වුණේ ඔබව නිළියක් කරන්න. ඔබේ මව කලාවට සම්බන්ධද?

නැහැ. ඇය කලාකාරිනියක් නෙවෙයි. අම්මට ඕනෑ වුණේ මාව ටී වී එකෙන් දකින්න. මාව කලාකාරිණියක් කිරීමේ හීනය ඇයට තිබුණා. ඒක වෙන්න ඇති ඇය මාව රඟපාන්න යැව්වේ.

ළමා චරිත රඟපාමින් ඉඳලා මොන ටෙලි නාට්‍යයටද ඔබ මුල්වතාවට යොවුන් චරිතයක් රඟපාන්නේ?

අනුර චන්ද්‍රසිරිගේ රෝස කටු ටෙලි නාට්‍යයේ තමයි මුල්වරට තරුණ චරිතයක් කළේ. නම ටීෂා. ඒ කාලේ ඒ චරිතය ඉතාමත් ජනප්‍රිය වුණා. ටීෂා කියන්නේ නපුරු චරිතයක්. ඒ කාලේ වැඩිපුරම ඇහැව්වේ බැනුම්.

සඳ විනිවිද ගාවටයි මං ඊළඟට එන්නේ?

මං එහි සෙව්වන්දි. සෙව්වන්දි කියන්නේ පාසල් ගුරුවරියක්. ඇය තාවකාලික ප්‍රේමයකට පැටලෙනවා. කෙටියෙන්ම කිව්වොත් සෙව්වන්දි රැවටීමට ලක්වන කෙනෙක්.

ඔබත් සෙව්වන්දි වගේ රැවටීම්වලට ලක් වෙච්ච කෙනෙක්ද?

ඇතැම් අවස්ථාවන්වලදී මමත් සෙව්වන්දි වගේ රැවටිලා තියෙනවා.

ඔබ හිතන්නේ ඔබ ජනප්‍රියයි කියලද?

මං ගැන මං එහෙම කියන්න කැමැති නැහැ.

ඒ කියන්නේ ඔබ ජනප්‍රිය නැහැ කියලා?

පාරේ යද්දී මිනිස්සු මං දිහා බලනවා. ඒ කියන්නේ යම් කිසි පිරිසක් මාව දන්නවා කියන එකනේ. හැබැයි මවිසින්ම මගේ ජනප්‍රියත්වය ගැන කියන්න හොඳ නැහැ.

ජනප්‍රියත්වය කරදරයක් වුණු අවස්ථාවන් තිබෙනවාද?

තවම නැහැ. හැබැයි ස්වයංජාත කරන කාලේ මෙන්න මේ වගේ සිද්ධියක් වුණා. ඒ නාට්‍යය ගොඩක් ජනප්‍රිය වුණානේ. දිනක් අපේ රූප ගත කිරීමක් තිබුණා පාසලක් ගාව. පාසල් ළමුන් අති විශාල ප්‍රමාණයක් අපිව වට කර ගත්තා. ප්‍රශ්න අහනවා, සයින්ග් ඉල්ල ගන්නවා, ඔටෝග්‍රාෆ්වල ලියනවා ඉවරයක් නැහැ. බොහොම අමාරුවෙන් එදා මං ගැලවුණේ.

මේ වෘත්තීය හොඳයිද?

ඔව්. හොඳයි.

ලැබෙන ආදායම ප්‍රමානවත්ද?

හොඳටම ඇති.

බොහෝ දෙනෙක් කියන කාරණයක් තමයි මේ ක්ෂේත්‍රයෙන් ලැබෙන ආදායම ප්‍රමාණවත් නැතැයි කියන එක?

මං රඟපාන්නේ සල්ලි බලාගෙන නෙවෙයි. ඒ හේතුව මත මේ ලැබෙන ආදායම ප්‍රමාණවත්.

තමාලි සල්ලිකාරියක්ද?

අපොයි නැහැ. අනිත් අයට සාපේක්ෂව මට තියෙන වියදම් අඩුයි. ලැබෙන ආදායම මං ඒවත් එක්ක මැනේජ් කරගත්තාම ඉතුරුත් වෙනවා.

තමාලි තවමත් සිනමාවට පිවිසුණේ නැහැ?

මට කවුරුවත් ආරාධනා කළේ නැහැ චිත්‍රපටවලට.

හේතුව?

මාව ගොඩක් දෙනෙක් හඳුනන්නේ නැහැ. මගෙත් සබඳකම් අඩුයි සිනමා ක්ෂේත්‍රයේ අයත් එක්ක.

කැමැති නැද්ද සිනමාපටයක රඟපාන්න?

මොකද නැත්තේ. හරිම ආශාවෙන් ඉන්නේ චිත්‍රපටයක රඟපාන්න.

ඔබේ වයසේ අනෙක් නිළියන්ට සාපේක්ෂව ඔබ තරමක් මහතයි?

තමාලි පිළිබඳ කෙටි විස්තරයක්

ගම - පනාගොඩ

ඉගෙන ගත් පාසල - පන්නිපිටිය ක්‍රිස්තුරාජ විදුහල.

උපන් දිනය - 1991. 10. 19

ළමා චරිත රඟපෑ ටෙලි නාට්‍ය - මදාරා සුවඳ, ස්වර්ණ තිසරාවි, පබළු මුහුද, සුවඳ හමන මනමාලි, සඳවතක වරුණ, සිත නිවන කතා.

යොවුන් චරිත රඟපෑ ටෙලි නාට්‍ය - රෝස කටු, අකුරු තරහා නැහැ, ස්වයංජාත, සික්කා, තරු පිරි අහස, අකඩවාරිය, විරු දරුවෝ, තඹ පාට හැන්දෑව, සඳ විනිවිද

මගේ තාත්තා මහතයි. ඒක වෙන්න ඇති මමත් මහත.

කෙට්ටු වෙන්න අදහසක් නැතිද?

කෙට්ටු වෙන්න උත්සාහ කළා. වැඩේ හරි ගියේ නැහැ. මෙහෙම හොඳයි.

ඔබට සිනමාවේදී චරිත නොලැබුණේ ඔබේ මේ ස්ථුලභාවය කියලා හිතුණේ නැද්ද?

හිතුණා, හිතුණා. ඒත් මම මොනවා කරන්නද? රුවට ගැළපෙන චරිත අනන්තවත් මට ලැබෙනවා. ලද දෙයින් සතුටු වෙන එක මගේ පුරුද්ද.

ඔබ පෙම්වතියක්?

ඔව්.

කවුද ඔහු?

දැනට විස්තර කියන්න බැහැ.

කවදා විතරද විවාහ වෙන්න හිතාගෙන ඉන්නේ?

ලබන වසරේ අග විතර.

විවාහයෙන් අනතුරුව රංගනයෙන් ඉවත් වෙනවාද?

මගේ පෙම්වතා තවම මගේ රංගන කටයුතුවලට ඇඟිලි ගහන්නේ නැහැ. මොකද මේ වන විට මං අම්මගේ යටතේනෙ ඉන්නේ. ඉදිරිය කොහොම වෙයි ද දන්නේ නැහැ.

ඒ කියන්නේ ඉදිරිය පැහැදිලි නැහැ?

කාගෙත් ඉදිරිය එහෙමනෙ. ඉදිරියේ වෙන දේවල් කාටවත් වළක්වන්නත් බැහැනෙ. මං නම් කරන්නේ ඕවා ගැන නොසිතා මගේ වැඩ කරගෙන යන එක.

තමාලි මොන වගේ කෙනෙක්ද?

හරිම සරලව ජීවත්වන කෙනෙක්.