වර්ෂ 2015 ක්වූ අගෝස්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබ නැතුව ඔබ එක්ක
සීතල කඳුකරය උණුසුම් කළ ආදරය පිළිබඳ සලරූ කාව්‍යය

ජීවිතය විනිවිදින අග්‍රගණ්‍ය සිනමා කෘතිය
 

ඔබ නැතුව ඔබ එක්ක

ඉන්දියානු සිනමා ඉතිහාසයේ මුල්වරට එරට නිළියක් විදෙස් අධ්‍යක්ෂවරයකුගේ චිත්‍රපටයක් වෙනුවෙන් රජත මයුර සම්මානය දිනූ චිත්‍රපටය

හතර වට වූ කඳු වැටි සීතල මීදුමෙන් වෙලී ගියේය. සරත්සිරි සීතල උසුලා ගන්නට මෙන් දෑත තදින් වෙලා ගත්තේය. හතර වට තිබූ තේ වතු ද, කුඩා කඩ පෙළ ද ඔහුගේ ජීවිතයේ තනිකම වසාලන්නට ප්‍රමාණවත් නොවූවා සේය. සරත්සිරිට දැන් හතළිස් පහකි. ජීවිතය ගෙවුණේ තනිවමය. මේ නගරයේ කෙළවරක, පාළු දෙමහල් ගොඩනැගිල්ල ඔහුගේ වාසස්ථානය විය. පහත මාලයේ ඔහුගේ උකස් මධ්‍යස්ථානය විය. ඔහු ජීවත් වූයේ උඩු මහලේය. වැඩක් නොමැති හැම විටම ඔහුගේ කාලය ගෙවුණේ ටෙලිවිෂනය ඉදිරිපිටය. ඒ මල්ලව පොර නරඹන්නටය. ඒ හැරෙන්නට බැලූ බැල්මට ඔහුගේ ජීවිතය සමඟ බැදුණු කිසිවක් වූයේ නැත. එකෝමත් එක දවසක උකස් කඩයට ආ යුවතියකි. ඇයගේ බියගත් දෙනෙත, සැලෙන දෙතොල ඔහු යාන්තමින් කවුළුව අතරින් දුටුවේය. තෙත බරිත සැන්දෑවේ ඇගේ සීතල අත කවුළුව ඇතුළින් ආවේ පුංචි කරාබු ජෝඩුවක් සමඟය.

මේ හමුවීම ජීවිතයේ වෙනස්කමකට මඟ පෑදුවේය. ඈ සෙල්වි නම් වූවාය. ඈ උපන්නේ මේ සීතල කඳුකරයේ නොවේ. එයට වඩා බෙහෙවින් දුර ගිනි ගහන පොළව සහිත කිලිනොච්චියේය. යුද්ධයේ අඳුරු වලාකුළු අවට පැතිර යද්දී රැකවරණය පතා ඕ උඩරටට පැමිණියාය. එහි ඈ ජීවත් වූයේ දරුවන් සමඟ තනි වුණ වැන්දඹු නැන්දනියක හා අවිවාහක ජීවිතයක් ගෙවූ නැන්දනියක සමඟය.

සරත්සිරිගේ ජීවිතයට හිටි ගමන් කවදාවත් නොදැනුණ තනිකමක් දැනිණ. සීතල වෙනදාටත් වඩා ගත වෙලන්නේ යැයි හැඟුණා විය යුතුය. ඉඳින් ඔහු හදිසියේ දුටුව යුවතිය ජීවිතයට එක් කර ගන්නට තීරණය කළේ මොකක්දෝ අපූරු දෙයක් ජීවිතයට සිදුවෙමින් තිබූ වග දැනුණ නිසාවෙනි. ඇයට ඔහුගේ ජීවිතය බෙදා හදා ගන්නට ඉඩ සැලසිණි. එක්තරා දවසක වැඩි සද්දයක් නැතුව සියලු භේද පසෙකලා ඈ ඔහුගේ පතිනිය වූවාය.

ජීවිතය නවතිනුයේ කොතැනද? සරත්සිරිගේ ජීවිතය වෙනස් වනු ඔහුටම හැඟිණ. ඇය ජීවිතය හෙමින් හෙමින් වෙනස් කළාය. එහෙත් ජීවිතය යනු එයම වන්නේද? ආදරය යනු කොතැනද? ජීවිත කතාවක ඇරැඹුම එතැනය.

ප්‍රසන්න විතානගේ නිර්මාණය කරන ලද නවතම සිනමා කෘතිය ඔබ නැතුව ඔබ එක්ක සමඟ ලබන 3 වැනිදා මේ පුවත වඩා සවිස්තරාත්මකව පවසනු ඇත. මේ ජීවිත අන්දරය ඇතුළට කිමිද පවතින ලෝකය ඔබට විවර කරනු ඇත.

රංගන දායකත්වය -

ශ්‍යාම් ප්‍රනාන්දු, අන්ජලී පාටිල්, වසන්ත මොරගොඩ, මහේෂ්වරී රත්නම්

නිෂ්පාදනය - ලසන්ත නවරත්න, මොහමඩ් ආදම්ලි

අධ්‍යක්ෂණය සහ තිර රචනය - ප්‍රසන්න විතානගේ

විධායක නිෂ්පාදනය - රාහුල් රෝයි, ඉරන්ති අබේසිංහ, සුනිල් ෆොන්සේකා, නදීරා ආදම්ලි

රේඛීය නිෂ්පාදනය - කල්පන ආරියවංශ, වින්දන ආරියවංශ

කැමරා අධ්‍යක්ෂණය - එම්. ඩී. මහින්දපාල

නිෂ්පාදන සැලසුම්කරණය - රොබ් නේවිස්

සංස්කරණය - ඒ. ශ්‍රීකර් ප්‍රසාද්

සංගීත අධ්‍යක්ෂණය - ලක්ෂ්මන් ජෝශප් ද සේරම්

ශබ්ද නිර්මාණය - තපස් නායක්

වෙස් ගැන්වීම - ඊබට් විජේසිංහ

සහාය අධ්‍යක්ෂණය - දමින්ද ඩී. මඩවල

කලා අධ්‍යක්ෂණය - ලකී ආතවුද , මෙත්නුවන් විජේසිංහ