වර්ෂ 2015 ක්වූ අගෝස්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




මගදිගට රසකතා

හිත හොඳකමට මීගමු ගිය හැටි

ඔය ක්ලීටස් මෙන්ඩිස් ඉන්නව නේද? හරිම හිත හොඳ මනුස්සයා. වෙලාවකට හිතෙනවා ක්ලීටස්ගේ හිත හොඳ වැඩි ද මන්දා කියලත්. ක්ලීටස් වැඩිපුරම පණ පෙව්වේ දුෂ්ට චරිතවලට. ඒ හින්ද ක්ලීටස් එක්ක හැබැහින් කතා කරලා නැති අය හිතන්නේ ඔහු තරම් දුෂ්ටයෙක් නැහැ කියලා. ඒත් හැබෑ ජීවිතයේ ක්ලීටස් තරම් හිත හොඳ කෙනෙක් ඉන්නවා නම් ඉතාම අතලොස්සයි. ක්ලීටස් ගැන අටුවාටීකා ලියාගෙන ආවේ ක්ලීටස් කරන්න හදපු සුපිරි වැඩක් ගැන කියන්න. මං අර කිව්වා නේද ක්ලීටස් වෙලාවකට හිත හොඳ වැඩියි කියලා. අන්න එහෙම කියපු එකට හොඳම උදාහරණය තමයි මේක. ක්ලිටස් මේ ළඟදී රඟපෑවා එක්තරා ඓතිහාසික සිනමාපටයක. ඒකේ ෂූටිං තිබුණු දිනයක ක්ලීටස් තමන්ගේ රඟපෑම් කටයුතු ඉවර වෙලා යන්න සූදානමින් හිටියා. දර්ශන තලය තිබුණේ අතුරුගිරියේ. වාහනේට නැංග ක්ලීටස් එය දර්ශන තලයෙන් පාරට හරවද්දී තමන් එක්ක රඟපෑව නවක නළුවෙක් පාරට වෙලා ඉන්නවා දැක්කා. ක්ලීටස් ඔහු ගාව වාහනය නැවැත්තුවා. (අපේ බොහෝ දෙනෙක් නොකරන වැඩක් ක්ලීටස් කළේ).

මල්ලි කොහෙටද යන්නේ?

වාහනයේ වීදුරුව පාත් කරපු ක්ලීටස් ඇහැව්වා.

කඩවතට අයියා . . .

මේ වෙලාවේ බස් තියෙනවද?

ඒ වන විටත් රාත්‍රී එකොළහට ආසන්නව තිබුණා.

නැහැ අයියා . . .

නගින්නකෝ වාහනේට.

ක්ලීටස් එහෙම කියලා මෙයාව නංග ගත්තා වාහනේට. දැන් ටිකක් දුර ගිය මිත්‍රයට තේරුණා මේ යන්නේ කොටුව පැත්තට නම් නෙවෙයි කියලා. ක්ලීටස් ඉන්නේ මීගමුවනෙ. අතුරුගිරියේ ඉඳලා බොරැල්ලට ඇවිත් පෑලියගොඩික් හයිවේ එක දාපුවම ඉක්මනින් මීගමුවට ගියහැකිනෙ. එහෙම තියෙද්දිත් ක්ලීටස් මේ කොහෙද යන්නේ කියලා මිත්‍රයාට සැකයක්.

ක්ලීටස් අයියේ ඔයා මීගමුවෙ නෙවෙයි ද අද යන්නේ.

මීගමුවේ තමයි මල්ලී.

එහෙනම් බොරුල්ලේ හරහා යන්නේ නැතුව කඩුවෙලට ආවේ.

නෑ මල්ලි ඔයාව මං කඩවතින් දාලා එහෙම්මම රාගම හරහා මීගමුවට දාලා යන්න හදන්නේ.

මේක අහලා අර මිත්‍රයට අනේ අපොයි කියවුනාලු. කෙනෙකුට උදව් කරන්නට ඇතැමුන් මඟහරින මේ වගේ කාලෙක ක්ලීටස් කළ මේ කාර්යය නම් ඉතාම ඉහළින් අගය කළ යුතුයි.


ත්‍රී ඉන් වන් නෙවේ ඊටත් වැඩියි

සාමාන්‍යයෙන් ගායකයෙක් ගයන ගීතයක රචකයා වෙන කෙනෙක්, සංගීතය තවත් කෙනෙක්. රුප රචනාව කරන්නේ ඊටත් පරිබාහිර කෙනෙක්. ඇතැම් අවස්ථාවන්වලදී සින්දුව ලියලා සංගීතය සපයලා ගායනා කරන ත්‍රී ඉන් වන් ගායකයොත් ඉන්නවා. ක්ලැරන්ස් විජේවර්ධන, රූකාන්ත, ලක්ෂ්මන් හිල්මි ඉන් කිහිප දෙනෙක්. හැබැයි මේ සියල්ල කරලා ඒක රූපයට නඟා ගත්ත අයකු ගැන නම් මීට කලින් අහලා නැහැ. එහෙම කෙනෙක් ඉන්නවා. නමුත් එච්චර දෙයක් කරපු ඔහු වෘත්තීය ගායකයකු නම් නෙවෙයි. අහලා ඇතිනේ අශෝක සෙනරත් මුදලි ගැන. මෙයා අපේ නිළි රැජනගේ මස්සිනා කෙනෙක්. තවත් විදිහකින් කිව්වොත් සෙනාලි ෆොන්සේකාගේ මාමා. සෙනාලිගේ අම්මා අශෝකගේ සොහොයුරිය. අශෝක වැඩ සටහන් නිෂ්පාදකවරයකු මෙන්ම නාට්‍යවේදියකු වශයෙන් ද ඉතාම ප්‍රකටයි. ඒ වගේම ඔහු ඡායාරූප ශිල්පියකු ද වෙනවා.

එයට අමතරව ඔහු සිංදු කියන්නත් ඇවිල්ලා. ඒ විතරක් නෙවෙයි, අලුත් ගීතයකුත් කරලා. ඒකේ නම සවන පිනන. මෙය රචනා කරලා තියෙන්නෙත් අශෝක. සංගීතය නිර්මාණය කරලා තියෙන්නෙත් අශෝක. රූප රචනාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් අශෝක. රූප රචනාවේ කැමරාකරණය සහ පිටපත සකසලා තියෙන්නෙත් අශෝක. ගීතය අඩංගු සංයුක්ත තැටියේ කවරය නිර්මාණය කරලා තියෙන්නෙත් අශෝක. ඒවායේ ඡායාරූප අරගෙන තියෙන්නෙත් අශෝක. බලන්නකෝ පුදුම පොරක් නේද. මේ මොනවා කළත් ගීතයේ යුග ගායනය සංජීවනී වීරසිංහගේ. අශෝක කාන්තා හඬින් ගී ගයන්න උත්සාහ කරලා නෑ වගෙයි අපේ සමහර ගායකයින් වගේ. නැත්නම් මේ ගීතයේ යුග ගායනයත් අශෝක විසින්ම සිදු කරනවා. අශෝකගේ සවන පිනන මේ දිනවල ජාතික නාළිකාවෙන් දැක බලා ගත හැකියි. ඒ වගේම යූ ටියුබ් හරහා සවන පිනන රස විඳින්න පුළුවන්.


තරහ (නො)වුණු (අ)හේතුව

මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අපගේ සමීප මිතුරකු වශයෙන් අධ්‍යක්ෂ එරංග සේනාරත්නව හදුන්වන්න පුළුවන්. ඔහු සාමාන්‍යයෙන් වැඩක් ආරම්භ කළොත් නිතැතින්ම මාධ්‍යයන්ට දන්වන්නේ ඒ හිතවත්කම මතයි. මේ ළඟදී ඉඳලා එරංගත් එක්ක ඉතාම ළෙංගතුව කටයුතු කළ ඡායාරූප ශිල්පියෙක් තරහ වෙලා. තමන්ගේ මේ මිත්‍රයාගේ දුරස්වීම කොහොම කොයි විදිහකට සිද්ධ වුණා ද කියලා එරංගටත් හිතාගන්න බැහැ. ඔහු දැන් මේ පිළිබඳ දහ අතේ කල්පනා කරනවාලු. කවුරු හෝ කෙනෙක් තරහ වෙන්න හේතුවක් තියෙන්නත් එපායැ. විස්තර හොයලා බලද්දී එරංගට කරුණු කාරණා හෙළි වෙලා. මෙයා කතා නොකර ඉන්නේ එරංගගේ නෝනෙ මගේ සුදු නෝනේ චිත්‍රපටයේ මංගල දර්ශනයෙන් පසුවයි කියලා. මේ බව එරංගට දන්වලා තියෙන්නේ අර මිත්‍රයාගේ මිත්‍රයෙක්. සාමාන්‍යයෙන් මංගල දර්ශනයකට කතා නොකළොත්නෙ තරහා වෙන්න ඕනෑ. එහෙම කතා කරලත් තරහ වුණු හේතුව එරංගට හිතාගන්න බැහැ. කොහොම හරි අවසානයේ එරංග යාළුවා තරහ වුණු හේතුව හොයාගෙන. එරංග තමයි නෝනෙ මගෙ සුදු නෝනෙ පිටපත රචනා කළේ. එහි කතාව සමානයිලු අර තරහ වුණු යාළුවගේ ජීවිත කතාවට. ඉතින් අර මිත්‍රයා හිතලා තියෙන්නේ එරංග තමන්ගේ ජීවිත කතාව උපහාසාත්මකව තිරයට නගලා කියලා. ඒකට තමයි එරංගත් එක්ක යාළුවා තරහ වෙලා තියෙන්නේ. හොල්මන් ද පොල් කොළ නේද? එහෙමත් යාළුවෝ ඉන්නවනෙ.


මතක Software Download නැතිලු

උතුම් පැතුම් නරඹන ඔබට වඩාත් සමීප චරිතය මොකක්ද. එක එක අය එක එක උත්තර දේවි. හරි . . . මං මෙහෙම අහන්නම්කො. උතුම් පැතුම් ටෙලි නාට්‍යය ඔබව වඩාත් කුල්මත් කරන චරිතය මොකක්ද? අන්න ඒ පැනයට නම් ඔබ නිසැකවම පිළිතුරු දේවි ෆේස් බුක් කියලා. ඒ අන්වර්ථ නාමයනේ. ඒ චරිතයේ නම තිලක්. තිලක්ගේ ඔළුවේ හැම තිස්සේම තියෙන්නේ කම්පියුටර්. ඒ හින්දම ඔහු කතාබහ කරන්නෙත් කම්පියුටර්වලට සබැඳි වචන. ඉතින් හරි ජොලි මෙයා කියන දේවල් අහගෙන ඉද්දි. තිලක්ගේ ඇත්ත නම ලසන්ත උඩුකුඹුර. කොස්තාපල් පුඤ්ඤසෝම සිනමාපටයේ නෝන්ජල් චරිතය රඟපෑවෙත් මේ ලසන්ත. කොච්චර චරිත කළත් ලසන්ත වැඩිපුරම ජනප්‍රිය වුණේ ෆේස්බුක් නිසා කිව්වොත් මම වැරැදි නැහැ. ජනප්‍රියත්වය ඉහළ යද්දී ඕනෑ කෙනෙක් ටිකක් කාර්යබහුල වෙනවනේ. ලසන්තටත් මේ කාරණය පොදුයි. ලසන්තටත් එන්න එන්න වැඩ වැඩි වුණා. මේ රාජකාරි අස්සේ ලසන්තට ආරාධනාවක් ලැබුණා චිත්‍රපට සංස්ථාවේ තිබුණු චිත්‍රපටයක විශේෂ දර්ශනයක් නරඹන්න. එතනට ගිය ලසන්ත දිහා හැමෝම බලලා තියෙන්නේ බොහොම අමුතු විදිහට. මොකද එතැන හිටපු අය ඔක්කොම මිත්‍රයෝ. ඒ හින්දා බොහොම සරල විදිහට තමයි ඇවිත් හිටියේ. ඒත් ලසන්ත සරමකුයි කමිසයකුයි ඇඳගෙන හිටියේ හරියට මඟුල් ගෙදරක යන්න වගේ. දැන් ඉතින් පිරිසගේ අවධානය ලසන්තට යොමු වෙලා. අහනවලු ඇඳුම ගැන. ලසන්ත මුකුත් කියන්නේ නැතුව ෂේප් වෙලා. අවසානයේ කෙනෙක් හොයාගෙන ලසන්ත නොගැළපෙන ඇඳුමක් ඇඳගෙන ආව හේතුව. ලසන්තට එදින හවස රූපවාහිනී වැඩසටහනක් තිබිලා. ඒක ඉවර වෙලා ලසන්ත මේ වැඩේට ගෙනාපු ඇඳුම හොයද්දී ඒක ගෙනවිත් නැතිලු. අන්තිමේ ඕනෑ දෙයක් වෙච්චදෙන් කියලා තියෙන ඇඳුමෙන්ම සංස්ථාවට ඇවිත්. එදා ඉඳන් ලසන්ත තමන්ගේ මොලේට මතක සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ට්‍රෝල් කරගත්තලු.


මෙන්න හොරෙක් උගන්නනෝ

ගම්පහ පැත්තේ ඉන්නවා තරුණ සටන් නළුවෙක්. මෙයාගේ මුහුණ හරි සැර පාටයි. ලැබෙන්නෙම දුෂ්ට මැර, චණ්ඩි, දාමරික චරිත. ඒ වුණාට මිනිහා හරියට පූස් පැටියෙක් පුළුං ගොඩක තිබ්බා වගේ. සැබෑ ජීවිතයේ හිතින් හරිම අහිංසකයි. ඒ වගේම ධර්මයට ඉතාම ළැදියි. කොච්චරට ධර්මයට ළැදිද කිව්වා නම් මිනිහා බොහොම ළඟින් ඇසුරු කළා ගමේ හාමදුරුවන්ව. හාමුදුරුවොත් නළුවාගේ හැටි දන්න හින්දම කතා කළාලු දහම් පාසලේ උගන්වන්න. මිනිහත් ගත් කටටම හා කියලා. ඔන්න දැන් ඊළඟ ඉරිදා ඉඳලා මිනිහා දහම් පාසලට ආවලු ධර්මය උගන්වන්න. මුලින්ම ලැබිලා තියෙන්නේ එක වසරේ පන්තියක්. දන්නවනේ ඉතින් පුංචි ළමුන්ගේ හැටි. කියන දේවල් කෙළින්ම කියනවනේ කාට වුණත්. ඔන්න මේ නළුවා ආයුබෝවන්, තෙරුවන් සරණයි කියලා උගන්වන්න පටන් ගත්තලු. මේ ළමයි අතර ඉඳලා තියනවා ටිකක් නසරානි ළමයෙක්. මෙයා එක පාරටම නැඟිට්ටලු.

සර්.. සර්.. සර්.. ඊයේ හිරේ නේද හිටියේ? අපි දැක්කා . . .

අර ළමයා මුළු පන්තියටම ඇහෙන්න එහෙම කියලා.

අපිට බෑ හොරෙකුගෙන් බුද්ධාගම ඉගෙන ගන්න. අම්මේ මෙන්න හොරෙක් උගන්නනවෝ . . .

ඒ ළමයා ඊළඟට එහෙම කෑගහලා පන්සලේ මිදුල කෙරවළේ හිටපු අම්මලාටත් ඇහෙන්න. දැන් මේ නළුවටත් හිතාගන්න බෑ වෙච්ච කතන්දරේ. අම්මලත් එතනට ඇවිත් අර ළමයා කියන අපබ්‍රංසෙය හිතාගන්න බැරුව උඩ බිම බලනවාලු. වෙලා තියෙන්නේ මොකක්ද දන්නවාද. අර නළුවා ඉන්න නාට්‍යයක් පෙරදා ටී. වී. එකේ ගිහිල්ලා. ඒකෙ මෙයාට පොලීසියෙන් ගහලා හිරේට දානවලු. මේක දැකපු අර ළමයා හිතාගෙන ඉඳලා තියෙන්නේ මේ නළුවා ඇත්තටම හොරෙක් කියලා. එදායින් පසුව මෙයා නෙවෙයිලු උගන්වන්න ගියේ.