වර්ෂ 2015 ක්වූ අගෝස්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




දඩබ්බරයකුගේ ආදරයේ භාෂාව
උදය ධර්මවර්ධනගේ චිත්‍රපටය පිළිබඳ විමසා බලමු

දඩබ්බරයකුගේ ආදරයේ භාෂාව

Miles o f a Dream

කළු පාට වලාකුළු කතාවක් නෑ
තරු නිවී ගිහින් රාත්‍රියේ
සඳක් නැති අහසේ
අරමුණක් නැතිව මං
ගිනි අරන්
පොළොවක් හොයන් . . .

උල්කාපාතයක්
අහසේ ගිනි අරන්
අළු වෙලා පොළොවට වැටෙනා
උල්කාපාතයක් . . .

අහස් කාන්තාරයේ
නන්නාඳුනන ජීවිතේ
ආලෝක වර්ෂ ගෙවා
ආදරේ අරමුණක් සොයා
පොළොවට වැටෙනා
දේවතා එළියක්
ගිනිගත්ත තරු එළියක් . . .

උල්කාපාතයක්
අහසේ ගිනි අරන්
අළුවෙලා පොළොවට වැටෙනා
උල්කාපාතයක් . . .
 

සංගීපද - චින්තන ධර්මදාස

සංනාද - ඉසුරු කුමාරසිංහ, ඉන්ද්‍රචාප ලියනගේ

සංගායනා - ඉන්ද්‍රචාප ලියනගේ

 

ඇත්ත: අකුරු ලිවීම හා කියවීම යනු රටක සාක්ෂරතාවයයි. නමුත් එමඟින් සිතීමේ හා වැඩ කිරීමේ හැකියාව හෙළි නොවේ. ලෝකයේ රඳා පැවැත්ම බඩගින්න සහ ආදරය විසින් නිෂ්පාදනය කරන්නකි. එම නිෂ්පාදනය ගොඩ නැඟෙන වටපිටාව සංස්කාතියයි. එහෙයින්, සිනමාව සංස්කෘතික නිෂ්පාදනයකි. සංස්කෘතික වේදනාවකි.

උදය ධර්මවර්ධන දඩබ්බර සිනමාකරුවෙකි. සිනමාව යනු හිතුවක්කාර ආදරයකි. උන්මාදනීය ප්‍රේමයකි. එහෙයින්ම උදය දඩබ්බර ප්‍රේමවන්තයෙකි. හේ, ‘ආදරයේ අංශුමාත්‍රයක්’ How I Wonder What You Are - චින්තන ධර්මදාස සමඟ සම අධ්‍යක්ෂණයක් ආරම්භ කර, ඉන් ඔබ්බේ සිහින සැතපුම් ගණනාවක් පසු කොට ‘Miles of a Dream’  - ශ්‍රී ලාංකේය සිනමා නිෂ්පාදනය සමඟ පෙරමඟ බලා සිටියි. මේ උදය ධර්මවර්ධන දෙවන සිනමා පියවර පිළිබඳ විමසුමකි. (ඉදිරි වර්ෂයේදී ශ්‍රී ලාංකේය පොදු ප්‍රේක්ෂකාගාරයේදී හමුවීමට නියමිත මෙම සිනමාපටය අගෝස්තු මස පස් වන බදාදා සන්ධ්‍යාවේ කොළඹ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පූර්ව දැක්මක් ලෙස ඉදිරිපත් විණි).

අධ්‍යක්ෂණය - උදය ධර්මවර්ධන

තිර රචනය - චින්තන ධර්මදාස

නිෂ්පාදනය - ලක්ෂාන් අබේනායක

කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය

සංස්කරණය - කාවින්ද මුදලිගේ

සංනාද අධ්‍යක්ෂණය - ලක්ෂ්මන් ජෝසප් ද සේරම්

රංගන දායකත්වය - ලක්ෂාන් අබේනායක - (ගයාන්)

පෝලින් ඩෙල්පිච් (ප්‍රංශය) - (ඊව්)

ඉන්ද්‍රචාප ලියනගේ - (චාපා)

අයේෂා දිසානායක (තාරා)

හේමසිරි ලියනගේ ( තාරාගේ පියා)

අතීත කාමය, ඉච්ඡාභංගත්වය, සිහින හඹායාමේ අරගලයේදී තුන්වන ලෝකයේ තාරුණ්‍ය අත්විඳින අභ්‍යන්තර සහ බාහිර සත්‍යයකි. නාගරික වීම නිසාම අත්විඳින බොහෝ පීඩාවන් නිසාවට යුරෝපියානු නොදියුණු රටවලත්, ආසියානු හා අවශේෂ කලාපවල නොදියුණු රටවලත් පිරිස්, දියුණු යැයි සැලකෙන රටවලට සංක්‍රමණික විම තත්ත්වයකි. එහෙව් පැරිසියානු සිහිනය හඹා යන යුක්රේනයේ ඊවි තරුණිය ද ශ්‍රී ලංකාවේ චාපා හා ගයාන් නම් තරුණයෝ ද පැරිසියේදී එකිනෙකා හමු වී, තමාට තමා හිමි වී - අහිමි වී ද, තමාට අනෙකාව හිමි වී - අහිමි වී ද ජීවිතය සොයන්නෝ වෙති. එතැනදි මුණ ගැහෙන ආදරය, ප්‍රේමය, ආදරය, ආර්ථිකය, හිස්කම, පීඩනය, බැඳීම, විශ්වාස හා අවශ්‍යතාවලට තේරුමක් සොයමින් අරගල කරන සංක්‍රමණික ජීවිත ගැන සිනමාත්මක කියවීමකට ‘මයිල්ස් ඔෆ් අ ඩ්‍රීම්’ යෝජනා කරයි. වේදනාව සහ විඳවීම ඇබ්බැහිවීමක් කර ගැනීම තුළ ප්‍රක්ෂේපණය වන ජීවිතය තිරය මත විශාලනය වේ.

මයිල්ස් ඔෆ් ඩ්‍රීම් ආරම්භක චලනරූප -

රාත්‍රී ප්‍රංශ නාගරික වීදියක් - පිරිමියෙක් වේගවත් හැඟීමෙන් හතිලමින් වැනෙමින් ඉදිරියට ගමන් කරයි. අප ඔහු සමඟ පිටුපසින් ගමන් ගන්නා සේ දැනෙයි. වීදි දුරකථන කුටියකට ඇතුළුව සීතලෙන් ගැහෙමින් අංක ලියනය කරයි. ඔහු තරමක බීමතින්ය. ඔහු ගයාන්ය.

ගයාන් - ‘හෙලෝ . . . හෙලෝ . . . හෙලෝ’ (ඔහු තව යමක් කියයි. අපට ඇසෙන්නේ නැත)

ගයාන් - ‘අම්මා . . . අම්මා . . .’

හඬේ වේදනාව, වේගය, ආවේගය පිරී ඇත. ගයාන් එහෙමම ගොසින් දුරකථන කුටියේ බිත්තියේ හේත්තු වෙයි. ඔහුගේ හුස්ම හිර වී ඇත. අනෙක් පස යමක් කියයි. අපට ඇසෙන්නේ නැත. දුරකථනයේ කාසි ඉවර වෙයි. දුරකථනය විසන්ධි වී ඇත. ඔහු එයට ගසමින් හඬයි. පිටතට එන ඔහු හඬමින් එහා පස දුරකථන කුටියේ ඇමතුමක සිටින තරුණියක් වෙත යයි. ඇය ඊවි නම් වෙයි. ඇය දුරකථන ඇමතුමක සිටින්නේ ආවේගයකිනි. වේදනාවකිනි. ඇය තමාගේ මුදල් දෙන ලෙස අනෙක් පස ඇමතුම ලබන්නාගෙන් ඉල්ලයි. ගයාන් විත් ඇයට කරදර කරයි. ප්‍රංශ බසින් ‘මට කාසි ටිකක් දෙනවා. මට කාසි ටිකක් දෙනවා’ යැයි කියා කෑගසයි. ඇය බියපත්ව බලා සිටියි. ගයාන් ‘මගේ අම්මා මැරිලා’ යයි කියමින් වේදනාවෙන් විලාප දෙයි. ඊවි පිටතට පැමිණ බලා සිටී. ගයාන් වීදුරු දුරකථන කුටියේ බිත්තියේ හිස ගසා ගනී. මඳ වේලාවකින් දෙදෙනා එකිනෙකා දෙස බලා හිඳ ඊවි වීදුරු දුරකතනයේ තම හිස වේගයෙන් ගසා ගනී. ඇය එතනම ක්ලාන්ත වී ඇද වැටෙයි. ගයාන් වික්ෂිප්ත වෙයි. මොහොතකින් රූප රාමුව ඡේදනය වෙයි.

ප්‍රංශයට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයා ද යුක්රේනුයානුවිය ද තම හුදෙකලාව, අහිමි වීම සම්බන්ධව වද වේදනාවට පත්වන්නෝ වෙති. ඊවිගේ ප්‍රංශ පෙම්වතා ඇය යොදාගෙන නිල් චිත්‍රපට නිෂ්පාදනය කළ ද ඇගේ වේතනය නොගෙවන ලද නිසාවට ඇය සූරාකෑමට ලක්වන්නීය. ප්‍රේමයේ වංචාවට ද ලක්වන්නීය. ඊවි හා ගයාන් එකිනෙකා හමුවිමත්, එකිනෙකට වාසය කිරීමත් සමඟම ප්‍රේමයේ උන්මාදනීය චමත්කාරය අත්විඳින ඔවුහු නිරන්තර ගැටුම්වලට මුහුණපාති. චාපා මෙහි අනෙකාය. සමාජ ශාලාවක ගිටාරය සමඟ ගීත ගයන්නෙකු වේ. ඊවිට හා ගයාන්ට සමාජ ශාලාවක් තුළ චාපා මුණ ගැහෙයි. පසුව ඊවි, ගයාන්, චාපා එකම නවාතැන්පලේ වෙසෙති. ඊවි හා ගයාන් අතරට චාපාගේ ලිංගික - ආදර මැදිහත්වීම කෙබඳු වේද?

මෙහිදී අප අත්විඳින ඊවි (පෝලින්) ලිංගික ප්‍රහර්ෂයක් ලබන්නියක නොවේ. ඇය අනෙකාගේ ආශාව මත උඩුකුරුව බලා සිටියි. දවස පුරා බඩගින්නේ නිදාගෙන සිටින විට ගයාන් පැමිණ ඊවිව බලහත්කාරයකට පොළඹවා ගනියි. පිරිමියා නිසා ඇය හැඟීම් විරහිත අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදු වේ. නිතර නිතර ලිංගික සබඳතා බිඳ වැටීමත්, තමාට අනෙකාව තෘප්තිමත් නොවීමත් සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයයි. ඊවි හා චාපා ද ගයාන් තුළින් ද අප මේ අත්විඳින්නේ යට කී සහේතුකයයි.

විදේශයක දී ඇතිවන තනිකම, හිස්කම, අනාරක්ෂිත බව වැනි බොහෝ දේ පුරුෂ - ස්ත්‍රී දෙපාර්ශවයම අත්විඳියි. ඊවිට බොහෝ විට බඩගින්න අත්විඳින්නට සිදු වේ. ශ්‍රී ලංකාවේදී ද ප්‍රංශයේදී ද ජලය පමණක් පානය කොට ජීවිතය දරා ගැනීමේ වාතාවරණයකට මුහුණදීමට ඔවුනට සිදු වේ. චාපාගේ ආදරය පතා ශ්‍රී ලංකාවට පැමිණෙන ඊවි, අනෙකා ළඟ හිටියත් දැනෙන තනිකමේ ගොදුරක් වන්නීය. එකදු දුරකථන ඇමතුමක් නැතිව, තමන්ට දැනෙන, තෙතමනය පිරි මනුෂ්‍ය කටහඬක් අහන්නට නැතිව සිටින ජිවිතයක අතිශය දරුණු පීඩනය ගෝලීය උෂ්ණත්වයට වඩා වැඩියෙන් මේ ජීවිතවලට දැනේ. ගැහැනියක් විදියට ඊවි තම ආදරයත්, ජීවිතයත් සමඟ පොර බඳන අරගලය, සිහින ලෝකය ඇතුළත තමා අත්පත්කර ගැනිමක්ද? යථාර්ථය තුළ මානසික දිවි නසා ගැනීමක් ද?

බයිස්කෝප් චිත්‍රපට විනෝදයට නිෂ්පාදනය කළේය. ශුද්ධ සිනමාව නිර්මාණය කළේ මනුෂ්‍යයන්ය. බයිස්කෝප් නිෂ්පාදනයට හෘදය සාක්ෂියක් නොමැත. එහෙත් රසවත්ය. සිනමා නිර්මාණයට හෘදය සාක්ෂියක්, හැකියාවක්, ප්‍රඥාවක් ද සහිතය. බයිස්කෝප් ගෑනු කැමැති පිරිමි රූපයටය. සින්දුවලටය. වචනලටය. ශුද්ධ සිනමාවේ ගෑනු කැමැති පිරිමියාගේ හුස්මටය. උණුසුමටය. පිරිමියගේ වචනවලින් ගැහැනියට ආත්මයක් ලැබෙන බව ඇත්තය. ඒත්, ඒ වචනවලින් ගැහැනුන්ට ආදරය ඉගැන්විය නොහැකිය. ශුද්ධ සිනමාවේ ආදරයට අත පෙවීම, නූතන සිහින දැකීමකි. ප්‍රේමයට පාර සෙවීමකි.

- උපුල් ශාන්ත සන්නස්ගල -

එහෙයින් මයිල්ස් ඔෆ් අ ඩ්‍රීම් සංකල්ප ප්‍රාග්ධනයකි. ජීවිතයට පාර සෙවීමකි.

ආදරය යනු නැවත නැවත හිතා විඳවන ඇබ්බැහිවීමකි. අමතක කිරිම ලෙස භාෂාවේ වාච්‍යාර්ථ තිබුණ ද මනෝ විද්‍යාත්මකව එසේ ‘අමතක කිරීම’ සිදු කළ නොහැකිය. මතක සංවේදනා නැවත නැවත මනුෂ්‍ය හදවත පාරවයි. ගයාන් (ලක්ෂාන් අබේනායක) අහිමිවීම හා හඹා යාම තුළ අතිශය දරුණු පීඩිතයෙකි. තම ප්‍රේමය සහේතුකව හටගන්නා ලිංගික ඊර්ෂ්‍යාව නිසාවට ඊවි හා චාපා සිය නවාතැනෙන් නෙරපනු ලබයි. නමුදු යළි යළිත් ඊවි හේතු කොට ප්‍රේමාතුර වී හඹා යාම අත් නොහරී. අත්පත් කර ගැනීම නොහැකි වූ තැන හඹා යාම අත්හරියි. නැවතත් හඹා යයි. අවිච්ඡානුගතව මෙහෙය වන මනුෂ්‍ය සම්බන්ධතා හඹා යාම මනුෂ්‍ය ස්වභාවයයි. ගයාන් යනු එහි තත්ත්වයකි.

ලෝකයේ කිසිම තැනක රාමුගත විධිමත් ජීවිත අපට හමු වන්නේ නැත. අතිශය සංකීර්ණ අවිධිමත් ජීවිතවල ප්‍රතිබිම්බය ගයාන් තුළින් අපව කියවීමකට ලක් කරයි. සමාජ ශාලාවක ඊවි, ගයාන් හා චාපා ගිටාරය වයමින් ගී ගයද්දී ගයාන් ගයන විට අපව ශෝකයටත් සියුම් සිනහවක් මතුවීමීමත් වැළැක්විය නොහැකිය. (අප අප කෙරෙහිම වේදනාවෙන් සිනාසීම) නොපිරිමැද, වෙව්ලන,කැඩිච්ච ගයාන් ගේ ( ලක්ෂාන් අබේනායක) හඬම එහිදී යොදා ගැනීම තුළ ජීවිතයේ ස්වභාවික ගතිය, සාමාන්‍ය හැසිරීම, තත්ත්වය අපට දැනයි. ‘ආදරයෙන් මැරෙන්න . . . ඉඩ දෙන්න . . . ජීවත් වෙන්න බැරි නිසා . . .’ අධ්‍යක්ෂවරයා කෘතිය තුළ ජීවත් වන චරිත, චරිත පමණක්ම නොකොට කෘතිය, කෘතියක්ම පමණක් නොකොට චරිත හා ප්‍රේක්ෂකයා අතර හුස්ම ගන්නා, දැනෙනා සම්බන්ධතාවයට අවකාශය සපයයි.

‘පසුගිය කාලේ ඔයා මොනවද කළේ?’ යැයි ජීවිතේට මඟහැරුණු මිත්‍රයෙක් වසර ගණනාවකට පසුව අහඹුවෙන් මුණගැසුණු මොහොතක ඇසූ විට, ‘මං කළේ හිතපු එක’ යැයි යනුවෙන් පිළිතුරක් දුන්න විට තත්පර අතින් අල්ලන් හිතින් ගනින්නට බැරි තරම් අවකාශයක, දරදඬුකමකට, ආතතියකට අපව පත්වීමට ඉඩකඩ වැඩිය. එපරිදිම මෙහි චාපා ද (ඉන්ද්‍රචාප ලියනගේ) මෙහි ආතතියේ, පීඩනයේ ගොදුරක්ය.

සංක්‍රමනික ජීවිතයද, එහි පීඩනය ද, අත්හරින්නත් බැරි, අත්පත් කර ගන්නත් බැරි ආදරයක, ශෘංගාරතා ද සමඟ පැටලුණු චාපා යළි ශ්‍රී ලංකාවට පැමිණීමත්, එහිදී තම මවු රට තුළ අත්විඳින නිශ්චිත නොවන තාවකාලික නවාතැන ජීවිතයත් අවතැන් වූ තාරුණ්‍යයේ නියෝජනයකි. මනුෂ්‍ය ජීවිතය තුළ පවතින කාලකණ්ණි හැඟීම නිසාවට වල්මත්වීමේ මාවතට නිරායාසයෙන් ඇදීයන්නකි.

තමාගේ ඉදිරිය, ඉරණම මොනයම් විදිහකට විසඳෙයි ද යන්න පිළිබඳව තදාත්මීය විශ්වාසයක් නොමැතිව අනෙකාව (ඊවි) සුරක්ෂිත කිරීම හා පවත්වාගෙන යාමේ දිශානතිය පිළිබඳව අවබෝධයක් නොමැතිව චාපා ගතිකයට මුහුණ දෙයි. සැම මොහොතකම ‘වෙනස්වීම’ ඉවසන පුද්ගලයා පවතින්නේ යැයි සිතිය හැකි වුව ද ඒ පැවැත්මේ ආයුෂ කොයිතරම් දීර්ඝ ද?

ඔරලෝසුවේ තත්පර කටු කැරකෙනකම් ඉවසන්න බැරි අවකාශයක, අහිමිවීම දරාගත නොහැකිව තමා මානසිකව සියදිවි නසා ගැනීමේ තීරණය කල් දමයි. නමුත් ජීවිතය එසේ කල් දැමිය හැකිද?

මයිල්ස් ඔෆ් අ ඩ්‍රීම් කෘතියේ ආරම්භයේ සිට අවසානය දක්වාම රූප රාමුවල නිරන්තරව සුළු චලනයකට භාජනය වේ. එය මෙකී ජීවිතවල අවිනිශ්චිතභාවය පෙන්වන අපූරු සිනමා උපයෝගිතාවයකි. ඉතා අති සමීප රූප භාවිතය කොට මනුෂ්‍ය හැඟීම්වල ඉසියුම්තා ප්‍රේක්ෂකයාට දැනෙන්නට ඉඩ හැර කැමරා අධ්‍යක්ෂවරයා (චන්න දේශප්‍රිය) හා සබැඳිව අධ්‍යක්ෂවරයා හුස්ම ගන්නා රූප රාමු ප්‍රසූත කිරීමට තරම් ස්නායු සහිත මිනිසෙකු විය යුතුය. චාපා, තාරා සමඟ මත්කුඩු භාවිත කළ පසු ඔහුට මැවෙන මනෝ රූප (මුහුදු රළ, වෙරළ, සුනඛයා, රුධිරය) සිනමාපටයේ ඉතා නිර්මාණශීලීම රූපරාමු ලෙස වෙසෙසින් අගය කළ යුතු මනාය.

සිහින සැතපුම් ගණනාවක් පසුකර තනන ලද මෙම කෘතිය සංස්කරණ ක්‍රමවේදයේ චමත්කාරතා නිසාම අපූරු නිර්මාණයක් ලෙස අපට දැනෙයි. රූපඛණ්ඩ එකිනෙක ඇමිණෙන ආකාරය, නාද සංයෝජනය හා මනාව සංයෝග වෙමින් ප්‍රේක්ෂකයා වෙහෙස කර නොකොට කෘතිය රස විඳින්නට අවකාශය සපයනු ලබයි. සංස්කාරකවරයා (කාවින්ද මුදලිගේ) අධ්‍යක්ෂවරයා සහ කැමරා අධ්‍යක්ෂවරයා කෘතිය තුළ ජීවත් වන්නේ යම් සේද, එලෙසම තමා ද එහි චරිතවල, ජීවිතවල ගැඹුර හඳුනා ගනිමින් ජීවත් වෙමින් ගොඩ නඟන රිද්මයානුකූල සංස්කරණය සාධණීයය. සංස්කාරකවරයා එපරිදි මෙහෙයවීම අධ්‍යක්ෂවරයාගේ සොඳුරු ආඥාදායකත්වයේ පරිණත ඉසව්ය. මෙහොතකට අඳුරුම අඳුරු වන පසුබිමේ (Black Out) අපට ඇසෙන හඬ දෙබස්වලට වඩා සිනමාපටය තුළ ප්‍රේක්ෂකයාව ආමන්ත්‍රණය කරයි. උදයගේ මුල් කෘතියේත් දෙවන සිනමා කෘතියේත් සමාන වූ වර්ණ රටා අපට පෙනෙයි. කහ, කළු, රතු වර්ණ පදාස මත ගලන රූප විවිධ ධ්වනිථාර්ථ සපයයි. අවිනිශ්චිත බව, අතෘප්තිකර බව, හුදෙකලාව යනාදිය මෙම වර්ණ පසුබිම් මත අපට ධ්වනිත වේ.

උදය ධර්මවර්ධන, තම සිනමා ආඛ්‍යානයේදී තමාටම ආවේණික ක්‍රමවේදයක් භාවිත කරන බව අපට හැඟේ. පසුබිම් හඬ යෙදීම් සුවිශේෂතා හා ඒ ඒ චරිතවල ආත්මීය කතාවේ අංශුමාත්‍රයන් දෙබස් මඟින් ප්‍රේක්ෂක හදවත කම්පනය කරවයි. බොහෝ චිත්‍රපටවල දෙබස් හා පසුබිම් හඬ පෝෂණ ඌනතා පෙන්නුම් කළ ද උදය හා චින්තන ධර්මදාසගේ පළමු සිනමා කෘතිය එනම් ආදරයේ අංශ්‍රමාත්‍රයක් (How I Wondr What You Are) (චින්තන ධර්මදාස සමඟ සම අධ්‍යක්ෂණය) කෘතියෙත් අප කතිකා කරන මෙම කෘතියේත් සප්‍රාණික ධ්වනිත පසුබිම් හඬ -

‘සමහර වෙලාවන්වලට අපිට ඕනෑ වෙනවා අපේ අත්හැරිච්ච මතකයන් හුස්ම ගන්නවද බලන්න. ඒ අපි හුස්ම ගන්නවාද කියලා අපිටම නොතේරෙන වෙලාවල්වල. අපි ජීවත් වෙනවද නැද්ද කියලා බලන්න අපි අපේ පරණ නොම්බර ඩයල් කරනවා.’

උදයගේ ආදරයේ අංශුමාත්‍රයක් සිනමා කෘතියේ පළමු පසුබිම් හඬ හා මයිල්ස් ඔෆ් අ ඩ්‍රීම් අවසානය ද එකිනෙකා අතිශය සබඳතාවයකින් යුක්තය.

චාපාගේ පසුබිම් හඬ - ‘මං තාම පරණ නොම්බර ඩයල් කරනවා’ තමාට හිමි වුණු ජීවිතය හා යළි සම්බන්ධවීමේ නොනිමි ආශාවත්, මතකය විසින් අවුළුවාලන වේදනා කලාපය සමනය කරනු පිණිස මිනිසුන් හා ගැහැනුන් දක්වන හැසිරීමේ රටා, ප්‍රතිචාර තම කෘතිය තුළ අධ්‍යක්ෂවරයා භාවගෝචර ලෙස නිෂ්පාදනය කරයි.

මෙම සිනමාපටයේ තවත් සුවිශේෂීම අවියෝජනීයව බද්ධ වුණු දෙයක් ලෙස සංනාද සංයෝජනය හා සංනාද අධ්‍යක්ෂණය පිළිබඳ සඳහන් කළ යුතු මනාවේ. කෘතියේ ප්‍රධාන වශයෙන් ගීත දෙකක් යුතු වුව ද සිනමාපටය පුරා රිද්මයානුකූල නාදවාහිනිය ඉතා තීව්ර ලෙස අපට දැනේ. සංනාද අධ්‍යක්ෂ ලක්ෂ්මන් ජෝසප් ද සේරම්, සංනාදමය භාවිතය රූප රාමුවෙන්, රූප රාමුවට සාධනීය ලෙස හසුරුවා ඇති බව දැනෙයි. සිනමාපටය පුරා අපට දැනෙන්නේ ගීතයක් තුළ ජිවත්වන ගැහැනුන්ගේ හා මිනිසුන්ගේ හුස්මවල උණුසුමය. හුස්ම ගන්නා අවිධිමත් ජීවිතවල දුවන චිත්‍ර රූපවලට යෙදිය යුතු හඬ සංනාද අධ්‍යක්ෂවරයා මනාව ග්‍රහණය කරගෙන තිබේ.

හිම කැටයක් වගේ ඔබ ඇවිත්
දිය වෙලා යනවා නම්
මගේ ඇඟිලි මැද්දේ
ආසයි බලන් ඉන්න
මහා පුදුමයක් වාගේ . . .

ආදරේ ගී කිය කියා
දියවෙලා යද්දී
කියන්න ආසයි
කඳුළු පුරවාගෙන ආදරෙයි මං
හිම කුමරියේ
කියන්න ආසයි
ආදරෙයි මං
ජීවිතේ සීතල ඉහිරවා
ඇඟිලි අතරේ
ඔබ දියවෙලා යද්දී
මං ඇස් වහන් ඇඬුවා
ආදරේ හින්දා
ඔයා දියවෙලා යන හින්දා
හිම කුමාරියේ
ආදරෙයි මං . . .
 

සංගීත පද - චින්තන ධර්මදාස

සංනාද - නදීක ජයවර්ධන

සංගායනා - කොරලි කවුලියර් (ප්‍රංශ ගායිකා)

 

සංක්‍රමණික ජීවිතවල සංස්කෘතික කාරණාත්, දේශපාලනික කාරණාත් භාවගෝචර හා බුද්ධිගෝචර දිශාන්තියකදී විමසනු පිණිස මයිල්ස් ඔෆ් අ ඩ්‍රීම් අපව කැඳවනු ලබයි.

සිනමාව හෝ මොන යම් කලාත්මක කෘතියක වුව ද සිදු විය යුත්තේ ජීවිතයේ සිතීම් විශාලනය කරවන ප්‍රකාශනයන්ය. සංවාද සංයෝජනාය. එකී ප්‍රකාශන ආකෘතිය, කලා කෘතියකදී ‘ආකෘතියක්’ (විධිමත් රාමු ගත කිරීමක්) බවට පත් නොවිය යුතුය. එසේ වූ විට ජීවිතයට ජීවිතය දැනෙන්නේ නැත.

බොහෝ මිනිසුන් තම ප්‍රකාශන තුළ ද, තම ජීවිත කාලය තුළ ද අඩක් මවති. අඩක් සඟවති. අඩක් බොරු කියකි. අඩක් ඇත්ත කියති. නමුදු සිනමා ප්‍රකාශනයේදී මනුෂ්‍ය ජීවිතවල අතිශය සංකීර්ණ පුද්ගලිකතා තිරයට ගෙන ඒමට නූතන ලිබරල් දේශපාලනික සවිඥානකත්වයක් තිබිය යුතුය. එය පරිණත වැඩිහිටි සිතීම් ධාරිතාවේ පුළුල්භාවයකි. ඉන් නිසාවට උදය ධර්මවර්ධන සිනමාව යනු ශ්‍රී ලාංකේය සිනමා බලාගාරය තුළ වෙඩික්කරුවෙකි. අතිශය ලිබරල්මය සිනමා මුද්‍රාවකි.