වර්ෂ 2015 ක්වූ අගෝස්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

ප්‍රණාමය

ජාතියේ ජීවනාලිය බඳු ගුවන් විදුලිය සේවාව සැමටම එක හා සමානව සවන් දීමට හා එහි රුචිකත්වය ලොවටම ඇසීමට සැලසීම උදෙසා පියවර ගත් ජාතියේ පිනට පහළ වූ අභිනව සභාපතිවරයා වන නීතිඥ, ලේඛක, ගත් කතුවරයකු, ගීත රචකයකු වූ නන්ද මුරුත්තෙට්ටුවේගම මහතාට මගේ හද පිරි ප්‍රණාමය.
 

ලියනගේ සෝමරත්න ද සිල්වා

මරදාන, අහුන්ගල්ල

කෝ මේ හඬ...

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ජනප්‍රියම සාමාජිකයා වන වෙළෙඳ සේවයට ජීවය දුන් ධම්මික පී. රත්නායක මහතාගේ හඬ ඉරු දින සවසට සවනට යොමු නොවේ. අසන්නාගේ ඉල්ලීම පැහැදිලිව තම නම ගම නිවැරැදිව ප්‍රකාශ කළ හැකි කලාතුරකින් පිහිටන එවන් දුර්ලභ හඬක් නිහඬව තැබීම සුදුසු ක්‍රියාවක් නොවේ. දවස පුරාවට අසා සිටිය හැකි එතුමාගේ හඬ නැවත අප හට ලබා දෙන ලෙස සභාපතිතුමාගෙන් ඉල්ලා සිටිමි.
 

සමන් ගාල්ලගේ

කැටපල, ගණේගොඩ

සිහිපත් කරමි

සිංහල සිනමාවේ විකට හා කපටි චරිතවලට බෙහෙවින් පණ පෙවූ ඩී. ආර්. නානායක්කාර නම් වූ නළුවාව ආදරයෙන් සරසවිය තුළින් සිහිපත් කරමි.
 

ඊ. එම්. එස්. පද්මකාන්ති ද සිල්වා

සෙල්ලකන්ද, මීගමුව

ප්‍රදීප් රංගනට

යුග දිවියට සුබපැතුම්

සිරස සුපර් ස්ටාර් කිරුළ හිමි කරගත් අපේ දොස්තර ප්‍රදීප් රංගන ඔබ ජීවිතයේ වාසනාවන්තම කිරුළ හිමි කරගත් මේ මොහොතේ අප හද පත්ලෙන් නැඟෙන සුභාශිංසනයයි මේ. ඔබ ඇරැඹූ මේ නව දිවිය වාසනාවන්ත ප්‍රීතිමත් එකක්ම වී මුළු සසර පුරාවටම ආදරය සතුට සමඟ පිරි යුග දිවියක්ම වේවා!
 

සුසිලා පතිරාජ

පුබුදුගම, උස්වැටකෙයියාව
 

බැප්ටිස්ට්

බැප්ටිස්ට් ප්‍රනාන්දු ඔබ එදා රිදී තිරයේ ප්‍රතිවාදී චරිතයට පණ දෙමින් ජනප්‍රිය විය. පසු කලකදී චිත්‍රපට නිෂ්පාදනයට පිවිස ටිකිරා, දුප්පතාගේ හිතවතා ඇතුළු චිත්‍රපට රාශියක වීරයාගේ චරිතයට පිවිසෙමින් වඩාත් ජනාදරයට පත් විය. ඔබ අද දවසේ සැඳෑසමය ගෙවමින් සිටියි. එදා අප දුටු ඔබගේ රංගනයන් අදටත් අපට මතකය. ඔබට නිදුක් නිරෝගී සුවය පතමු.
 

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව

විල්බට් ඇන්තනීට

එකල ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ප්‍රචාරය වූ මැලිබන් ගුවන් තොටිල්ලට ප්‍රථම වරට ගී ගැයීමෙන් ලද ජයග්‍රහණයත් සමඟින් ඒ ශ්‍රේණියේ සරල ගී ගායකයෙක් ලෙස දුර ගමනක් ගිය විල්බට් ඇන්තනී මීගමුව තලාදූව ශාන්ත ජුඩ් පෙදෙසේ විසූ සමාජ සේවා කටයුතුවල නිරත වූ හිත හොඳ මිනිසෙක් විය.

නොමඟ නොයන ලෙසට පුතුට ගීයෙන් ඔවදන් දී හිරු පායා එන සුන්දර මොහොතක මල් පැතුම් හිතේ දරා කුංකුම චන්දන අංජන තවරා ගම හැරදා සිදාදියට දීග ගිය සුදු නංගියාට සුදු සේල අගින් වැසූ නීල නුවන් විහිදා සඳ නැඟුන රැයක මුහුදු තීරේ හිඳ එපා හඬන්න නංගියේ කියා පසුගිය දිනයක දැයෙන් සමුගෙන ගිය විල්බට් ඇන්තනී ප්‍රවීණ ගායකයාණෙනි ඔබට මොක් සුව ලැබේවායි පතනෙමි.
 

ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු

බටහිර අධිකාරිමුල්ල, දූනගහ

පබෝධා සංදීපනී

ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන ආදර වැස්ස ටෙලියේ රඟන ගින්දරී වගේ අපේ පබෝධා ඔබගේ රංගනය ඉතාමත් අගය කොට සලකමි. එහි රඟන සියලුම නළු නිළි කැලට සහ එහි අධ්‍යක්ෂ, නිෂ්පාදක දෙපළට මගේ සුබපැතුම්.
 

සරත් සේනාධීර

ජාඇල, කලඑළිය

අයිරින්-හේම ශ්‍රීට පිහිට වෙමු

අමරණීය ගීත රචක හේම ශ්‍රී ද අල්විස් හා ඔහුගේ දයාබර බිරිඳ අමරණීය ගායිකා අයිරින් ද අල්විස් අද ගෙවනා ඉතා ශෝචනීය තත්ත්වය පසුගිය සරසවිය තුළින් අපි දැක්කෙමු. නමුත් අපේ කලාකරුවන්ට ගායක ගායිකා සංගම්වලට වෙනත් කලා සංගම්වලට ගුවන් විදුලි සංස්ථාවට එහි බලධාරීන්ට අපේ දේශපාලකයන්ට මේ අසරණ ජීවිත දෙක ගොඩලන්නට නොහැකි මන්ද. රුක්මණී දේවි අනුස්මරණ සංගමයේ සභාපතිනි චාන්දනී මහත්මියනි, ඔබ සංගමය හෝ මොවුනගේ නෙත් පියවෙන්නට පළමුව මොවුන්ව තව කාලයක් ජීවත් කරලන්නට ඉදිරිපත් වන්න.

ඔවුනට දීර්ඝායු පතමු.
 

ලක්ෂ්මන් රණසිංහ

හේකිත්ත, වත්තල

යළි ප්‍රදර්ශනය කරන්න

දූ දරුවෝ යළි ජාතික රූපවාහිනියෙන් ප්‍රදර්ශනය කරන්න.
 

වියානි ගුණවර්ධන

වෙන්නප්පුව

කාවිංග පෙරේරාට

විවිධ මාදිලියේ චරිතවලින් අප පින වූ ඔබ අඟුරු සිත්තම් හී ජීවය දෙන චරිතය ඉතාම උසස්. ජනප්‍රිය නළුවාට දෙන සම්මානය ඊළඟට හිමි විය යුත්තේ ඔබටය. මාගේ සුබපැතුම්.
 

ශාන්ති බන්දුනාථ

මහනුවර

වසන්ති චතුරාණිට

වසන්ති අක්කේ පුංචි තිරයේ පසුගිය කාලයේ දකින්නට සිටියත් දැන් ඔබ දකින්නට ලැබෙන්නේ නැහැ. පුංචි තිරයේ මැවූ ඔබගේ රංගනයන් යළිත් දකින්නට ආසයි.
 

සුනිල් බී. වේහැල්ල

ගෝනපල

රබර් පටියක් වගේ

සබඳ බබානිස් ටෙලිය රබර් පටියක් වගේ ඇදෙනවා වැඩියි.
 

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල, කොටුගොඩ

මිල්ටන් මල්ලවආරච්චි

ගිලිහුන පෙමින් දුක් විඳිනා අයගේ කඳුළ ඔබයි
ඔබේ ගීත එක දිගටම රස විඳීමටම සිතෙයි
සෑම ගීතයක්ම සිතෙහි ඇඳි සිතුවමක්ම වෙයි
ගීත ලොවේ විරහ ගී රජු වූවේ ඔබමයි
 

සෝමා එච්. පතිරණ

පන්සල පාර, කහවත්ත

S.M.S.

දිනක්ෂි අක්කේ ඔයා රඟපෑව අලුත් චිත්‍රපටය 'මේ වගේ ආදරයක්' ලස්සනයි. හැබැයි ඔයා රඟපෑව ඩබල් ට්‍රබල් තරම් නම් ලස්සන නැහැ.
 

නිමේෂා කල්පනී

හේනේගම

සනත් කේ. විමලසිරි ඔබ නැතිව සුජාතා නාට්‍යය පාළුයි. ඔබ ඉක්මනින් දකින්න ලැබේවා.
 

ලක්මාල්

ගම්පහ

සත පනහ, බයිසිකල් හොරා, අක්ක නගෝ රංගනයෙන් ඔපවත් කළ සන්ධ්‍යා කුමාරි සදා බැබළෙන තරුවකි.
 

ගාමිණී මහබාලගේ

පිළියන්දල

ශ්‍රී ජයවර්ධන පුර සරසවියෙන් සිප්සතර හදාරා කාව්‍ය නිර්මාණයෙන් සිය ප්‍රතිභාව පල කරනා ගයාන් මධුසංඛ සොයුර, ඔබ හෙළ සාහිත්‍ය ලොවට මහඟු සම්පතක්. අනාගතයේ කවි ලොවේ නව පිටුවක් පෙරලමින් ඔබේ නම සදා නොමැකෙන ලෙස සාහිත්‍ය වංශයේ ලියැවෙන්නට ඔබ සමත් වේවායි පතමි.
 

හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය

අප සිතින් මවාගෙන සිටි බිම්බිසාර රජුගේ රුව එලෙසින්ම දැක ගැනීමට ලැබුණේ එදා තිරගත වූ අජාසත්ත චිත්‍රපටයෙනි. අද සිටින්නේ ජීවන් කුමාරතුංග බව මනාව වැටහේ.
 

සමන් ගාල්ලගේ

කැටපල

රංගන ශිල්පිනී කාංචනා මෙන්ඩිස් අපට සිටින දක්ෂ නිළියක්. අපි කිසිම දිනක එය අමතක නොකළ යුතුයි. ඇයගේ පිංතූර පුවත්පත්වල මුල් පිටුවේ පළ නොවන්නේ ඇයිද යන්න ප්‍රශ්නයකි.
 

එස්. විරසිංහ

අනුරාධපුරය

ක්‍රිකට් පිටිය වර්ණවත් කළ වාර්තා රැසකට හිමිකම් කියූ සංගක්කාරගේ සමු ගැනීම කනගාටුවකි.
 

අතුල රම්‍යසිරි

පානදුර

හිරු නාළිකාවේ විකාශය වන ජෝදා අක්බාර් ටෙලියේ ජෝදා දේවිය හා ජලාල් රජතුමා නියමෙට රඟපානවා. චරිතයට හොඳ සාධාරණයක් ඉටු කරනවා.
 

ශනුක රුක්ෂාන්

ගිරිඋල්ල

පසුගිය දිනක ප්‍රවීණ ගායන ශිල්පී ධනපාල උඩවත්ත මහතා පුවත්පතකට කියා තිබුණා ලංකාවේ ප්‍රථම රණවිරු ගීතය ගැයූ තමාව මෙතෙක් කිසිදු රජයක් විසින් ඇගයීමකට ලක් නොකළ බවක්. ධනපාල උඩවත්ත ගායකයාණෙනි, දුක් නොවන්න, ඔබට එවන් සම්මාන නොලැබුණාට ජනතා සම්මානයම ඇති. තව තවත් අලුතින් එවන් සාර්ථක ගී නිර්මාණයන් අපට ලබා දෙන්න. ජනතා හදවත් තුළ ඔබ සැමදා රැඳේ.
 

හේමන්ත බණ්ඩාර, ධම්මිකා කපුකොටුව, නිමාෂා හර්ෂනී, නයෝමි කුමාරි

පොළොන්නරුව

කාංචනා මෙන්ඩිස් අක්කේ, ඔබ රූපවාහිනියේ දීප්තිමත් රැජිනකි. ඔබ විදේශ ගත වී සිටීම බරපතළ පාඩුවක්. අපට දුකක්
 

සුපුන් ප්‍රභාත්

පහළගම, ගම්පහ

නාමල් උඩුගමට, නා මලක් සේ යළිත් විකසිත වූ ඔබ අපේ ආදරණීය ප්‍රේම කුමරාය. ඔබ ගැයුව සෑම ගීයක්ම අප හදවත්වල නිරතුරුවම මතකයේ රැඳී තිබේ.
 

සුනිල් බී. වේහැල්ල

ගෝනපල

මේ ආදරයයි හරිම ආදරය හිතෙන ටෙලි සිත්තමක්. එහි සැමගේ රංගනය අගෙයි.
 

චලනි

අවිස්සාවේල්ල

ප්‍රවේගය සුපර්. හරිම ලස්සනයි. හේමාල්, උදාරි මම ඔබ දෙපළට සුබ පතනවා.
 

මුතු

කළුතර

විදේශීය ටෙලි නාට්‍යවල සිංහල හඬ කැවීම නියමයි. විශේෂයෙන් සිරසේ විකාශය වන මේ ආදරයයි ටෙලියේ සිංහල හඩ කැවීම ඉතාමත් හොඳයි. ඒ කතාව බලන කොට අපට හිතෙන්නේ හින්දි නළු නිළියෝ සිංහලෙන් කතා කරනවා කියලා. අපේ හඬ කැවීම් ශිල්පීන් හරිම දක්ෂයි.
 

තාරුකා සෙව්වන්දි

මාවතගම

0773042834

ඔබේ ප්‍රතිචාර SMS මඟින් ඉහත අංකයට එවන්න. ප්‍රතිචාර තැපැල් හෝ සටහන්පත් මඟින් නම්

ප්‍රතිචාර, සරසවිය,
ලේක්හවුස්,
කොළඹ 10

යන ලිපිනය විවෘතය.