වර්ෂ 2015 ක්වූ අගෝස්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




කට් කිව්වත් උදලු ගෑවා

කට් කිව්වත් උදලු ගෑවා

රංගන ශිල්පිනී ස්වර්ණා රණසිංහ

පාසල් වේදිකාවෙන් රංගනයට අත් පොත් තබන බොහෝ පුද්ගලයින් පසුකාලීනව රංගන ශිල්පිනියක් හෝ ශිල්පියෙක් ලෙස කලා ක්ෂේත්‍රයේ ඉදිරියට පැමිණේ. එලෙස තම වෘත්තීය ජීවිතය රංගනය කරගත් කලාකාරිනියකි ස්වර්ණා රණසිංහ.

කොහොමද මේ දිනවල කලා කටයුතු?

මම රංගනයෙන් එක් වුණු ටෙලි නාට්‍ය කිහිපයක්ම මේ දවස්වල රූපවාහිනියේ විකාශය වෙනවා. ජාතික රූපවාහිිනියේ 'දිරිය දෝණි' ටෙලි නාට්‍යයේ හාමිනේගේ චරිතය, හිරු ටීවී එකේ 'සබඳ බබානිස්' ටෙලි නාට්‍යයේ එමලිනාගේ චරිතය, ස්වර්ණවාහිනියේ විකාශය වන 'මොනර කඩදාසි' ටෙලි නාට්‍යයේ නදීගේ මව සහ 'මීීදුමෙන් එහා' ටෙලි නාට්‍යයේ චාලට් නැන්දා යන චරිත මේ දිනවල මම පෙනී සිටිනවා.

රංගනයට අමතරව වෙනත් හැකියාවන්ගෙන් ද ඔබ පොහොසත් වී සිටිනවාද?

මගේම ටෙලි නාට්‍ය තිර රචනයක් මම ලියලා ඉවරයි. දැන් එයට නිෂ්පාදකයෙක් සොයනවා. ඊට අමතරව නර්තනය, බෙර වාදනය, මනාලියන් හැඩ ගැන්වීම, රෙදි ගෙතීම හා විවීම, රෙදි හා මැට් බඳුන් පින්තාරු වැනි කලාත්මක නිර්මාණ කිරීමේ හැකියාව තියෙනවා.

රංගන ජීවිතයට යොමු වූ අතීතය මතක් කළොත්?

ගමේ පාසලෙන් අධ්‍යාපන ලැබුවට පසුව කඩවත මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරුවා. එහිදී කලායතනයකට සම්බන්ධ වෙලා උඩරට නර්තනය ප්‍රගුණ කළා. කලායතනයට යන කාලේදීම මම වේදිකාවෙන් හොඳම නිළියට සම්මානයක් පවා ලැබුවා. නිළියක් වෙන්න ලොකු ආසාවක් මට තිබුණත් ඒකට ගොඩක් බාධක ආවා. රැකියාවක් කරන කාලයේ මම වේදිකා නාට්‍ය කිහිපයකම රඟපෑවා. ඒ කාලයේ චිත්‍රපටයකට සහ ටෙලි නාට්‍යයකට රඟපාන්න අවස්ථාව ලැබුණත් වැඩිහිටියෝ කැමැති වුණේ නෑ.

ඔය වගේ බාධක මැද මම හිතවතිය ටෙලි නාට්‍යයේ චරිතයක් රඟපෑවා. ඊට පස්සේ 'කාලෙන්ගල්' දමිල ටෙලි නාට්‍යයේ සහාය අධ්‍යක්ෂිකාව වශයෙන් කටයුතු කර විවාහ දිවියට ඇතුල් වුණා. විවාහයෙන් පසුව හොඳ බිරිඳක් හා දරුවන් තිදෙනෙකුගේ මවක් ලෙස රැකියාවක් කරමින් දෛනික ජීවිතය ගත කළා මිසක් කලා නිර්මාණවලට යොමුවීමට නොහැකි වුණා. දරුවන්ගේ වැඩ කටයුතුවලින් නිදහස් වුණාට පසුව රංගන සිහිනය සැබෑ කරගන්න පුළුවන් වුණා.

මෙතෙක් රඟපාපු ටෙලි නාට්‍ය සිහි කළොත්?

වසුදා, ජීවිතය ලස්සනයි, සිටු ගෙදර, සිහින කුමරිය, රුවන් මාළිගා, පිංගල දනව්ව, ගුරු ගීතය, පාරමිතා, කෝරලේ මහත්තයා, සිහින සක්මන, කලු අරලිය ආදි ලෙස ටෙලි නාට්‍ය 50 ක පමණ රඟපා තියෙනවා.

චිත්‍රපට සහ වේදිකා නාට්‍ය?

මම රඟපාපු මුල්ම චිත්‍රපටය 'සතියකට මට රට භාර දෙන්න'. සිහිනය දිගේ එන්න, සුභා, සඳළුතලේ කුමරියෝ වැනි චිත්‍රපටවල හා පතිනි, අකුරට යන වෙලාවේ, මෑන් ද මෑන්, සොල්දර ගෙදර යන වේදිකා නාට්‍යවල රඟපාලා තියෙනවා.

පේ‍්‍රක්ෂකයන්ගෙන් ප්‍රතිචාර ලැබුණු චරිත මොනවාද?

වසුදා ටෙලි නාට්‍යයේ පුංචිගේ චරිතය. මේ චරිතය කපටි සහ නපුරු, කාගේ හෝ දෙයක් තමන් සතු කර ගැනීමේ වුවමනාව තියෙන චරිතයක්. මාව මුලින්ම ප්‍රේක්ෂකයෝ අඳුන ගත්තේ ඒ චරිතයෙන්. ඊට පසුව කෝරලේ මහත්තයාගේ සෙලස්තිනාගේ චරිතය, ගුරු ගීතයේ වෙද හාමිනේගේ චරිතයත්, හිරුමලී ටෙලි නාට්‍යයේ අනුලාවතීගේ චරිතයත් ප්‍රේක්ෂක කතාබහට ලක් වුණා.

රංගනයට යොමුවීමෙන් ජීවිතයට දැනුණ වෙනස?

පළමු දේ තමා සතුට හා ආත්ම තෘප්තිය වැඩිවීම.

රූගත කිරීම් කරන විට සියලු ප්‍රශ්න අමතකයි. ඒක සතුටු පිරුණු තැනක්. රංගනය නිසා ඇත්තටම මගේ ජීවිතයට සතුට ලැබුණා.

රූගත කිරීම් අතරතුර වුණු අමතක නොවන සිදුවීමක් මතකද?

ඔව්, මට තිබුණා එක නාට්‍යයක උදුලු ගාන චරිතයක් කරන්න. ඇක්ෂන් කිව්වාම මම උදුලු ගාන්න පටන් ගත්තා. සෑහෙන කොටසක් මම දිගටම උදුලු ගෑවා. කට් කියන පාටක් නෑ. හොඳටම දාඩියත් දාලා. පස්සේ බැරිම තැන මම හැරිලා බැලුවා. බැලින්නම් කට් කියලා. කට්ටිය හිනාවෙවී මම දිහා බලන් ඉන්නවා. එදා නම් හොඳටම හිනා වුණා.

ඉදිරි බලාපොරොත්තු?

මගේම කියලා ඒකාංගික ටෙලි නාට්‍යයක් කරන්නත්, හොඳ නිර්මාණවලට දායක වෙලා ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආනන්ද අබේනායක, උදයකාන්ත වර්ණසූරිය, ලක්ෂ්මන් පුෂ්ප කුමාර වැනි මම වැඩ නොකරපු අධ්‍යක්ෂවරු යටතේ වැඩ කරන්නත් ආසාවෙන් ඉන්නවා.

මෙතෙක් ආ ගමන් මඟේ ස්තුති කළ යුතු අයත් ඇති?

අනිවාර්යයෙන්ම. වසුදා ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ සෆ්රාස් මහතා ඇතුලු මෙතෙක් ආ ගමන් මඟේ මට සහාය වූ සැමට.

ඔබගේ පෞද්ගලික තොරතුරු?

මගේ පදිංචිය හංවැල්ල. දරුවන් තුන් දෙනාගෙන් ලොකු දෙන්නම විවාහකයි. පොඩි පුතා තවම ඉගෙන ගන්නවා. මගේ ලිපිනය 35/50, ආටිගල දකුණ, හංවැල්ල.

දුරකථන - 0778270803, 0779120107, 0113031815.