වර්ෂ 2015 ක්වූ අගෝස්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




News

මනෝරත්නගේ ග්‍රන්ථය අද දොරට වඩී

ආචාර්ය ජයලත් මනෝරත්න විසින් රචිත “සිංහල නාට්‍යයේ ප්‍රාසංගික කලාත්මක වර්ධනය” ග්‍රන්ථය අද (27) සවස සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයීය පණීභාරත රංග ශාලාවේදී එළිදැක්වෙයි. මහාචාර්ය සුනිල් ආරියරත්න මෙදින ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙයි. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර දෙසුම් පවත්වයි. මහාචාර්ය කෝලිත භානු දිසානායක ප්‍රමුඛ වාද්‍ය වෘන්දය සංගීතයෙන් රසවත් කරයි. සමන් පනාපිටිය ගැයුමෙන් මෙම මොහොත හැඩගන්වයි. සමන් ආතවුදහෙට්ටි නිවේදනයෙන් එකතු වේ. මෙදින මනෝරත්න රඟපෑ සරත් ධර්මසිරිගේ සූවිසි විවරණ සිනමාපටයේ කොටස් කිහිපයක් සහ රන්දිකා චතුරාණිගේ අසම්මත නම් වූ පර්යේෂණාත්මක කෙටි නාට්‍යයත් ප්‍රදර්ශනය වනු ඇත. “සිංහල නාට්‍යයේ ප්‍රාසංගික කලාත්මක වර්ධනය” ගොඩගේ සමාගමේ ප්‍රකාශනයකි.

දුක් සැප කුමන්දා

රෝගාතුරව සිටින සංගීතවේදීන් දෙපොළක් වන එච්. එම්. ජයවර්ධන සහ තිස්සසිරි පෙරේරා යන කලාකරුවන්ට එක්සත් ලංකා කලාකරුවන් විසින් මුදල් පරිත්‍යාගයක් කරන ලදී. ඒ අමාත්‍ය කරු ජයසූරියගේ අතිනි. සිනමාවේදී කැලුම් පාලිත මහීරත්න, රෝහණ සිරිවර්ධන, කලනි පෙරේරා එම සංවිධානයේ කැඳවුම්කරු ඩයනා ගමගේ සහ සනත් ඉඹුලමුරේ යන අය ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙන්න මගේ අංකය

දමයන්ති ෆොන්සේකාගේ උපන් දිනය යෙදී තිබුණේ මේ මාසේ. අපේ සරසවිය පුවත්පතේ උපන් දින තීරයේ ඇයගේ දුරකථන අංකය සටහන්ව තිබුණා. එහෙත් එම අංකයට අමතපු අයට නම් කතා කරලා තියෙන්නේ දමයන්ති නෙවෙයි. එයට හේතුව කුමක් හෝ අත් වැරැද්දකින් එම අංකය වැරැදියට සටහන් වීම. දමයන්ති අපට කතා කොට ඒ බව දැන්වුවා. 0777587729 තමයි ඇගේ අංකය. සාමාන්‍යයෙන් තමන්ගේ අංකය රසිකයනට යොමු වෙතැයි බියෙන් සිටින නළු නිළියන් ඉන්න රටක දමයන්තිගේ තීරණය අගය කළ යුතුය.

ඇනෙස්ලිගේ ගී ප්‍රසංගය B. M. I. C. H.

 

 

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කළ ඇනෙස්ලි මාලේවනගේ මියුරු ගැයුම් ඇතුළත් විචිත්‍රවත් ප්‍රසංගයක් මෙම මස 30 වැනිදා සවස බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙයි. මෙහි සංගීතය ඇනෙස්ලි ප්‍රමුඛ සුපර් චයිම්ස් සංගීත කණ්ඩායම මඟිනි.

 

මහේන්ද්‍රගෙන් ඉගෙන ගන්න

මහේන්ද්‍ර පෙරේරා මෙහෙයවනු ලබන නාට්‍ය හා රංග කලා පාඨමාලාවට එකතුවීමට කැමැති නවකයින් සැප්තැම්බර් මස 05 වැනි සෙනසුරාදා සුදර්ශියට පැමිණෙන ලෙස ආරාධනා කරයි.