වර්ෂ 2015 ක්වූ අගෝස්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




කඩදාසි ගුවන් යානයක දැමූ ළමා සිහින Paper Planes

කඩදාසි ගුවන් යානයක දැමූ ළමා සිහින

Paper Planes

ඩිලන් කියන්නේ ඕස්ට්‍රේලියාවෙ ජීවත් වෙන අවුරුදු 12ක කොලුවෙක්. තමන්ගෙ පාසල් බෑගය තනිව සකස් කරගෙන, රාත්‍රිය පුරාම රූපවාහිනී බලමින් උදේට නිදියන පියාව ඇහැරවන්න රේඩියෝව සද්දෙට දමමින් ඔහු පාසල් යන්න පිටත් වෙනවා. ශීතකරණයෙන් අමු මාංශ පෙත්තක් අරගෙන පාසල් බෑගයේ ලාගෙන යන්නේ අතරමඟ අහසේ රස්තියාදු වෙන රාජාලියෙකුට දෙන්න. හැතැප්මක් වගේ දුරක් බයිසිකලයෙන් පාසලට යන ඩිලන් ඊළඟට තමන්ගේ සාක්කුවෙන් ඉතා පැරැණි නොකියා වර්ගයේ දුරකතනයක් අරගෙන ප්‍රකට 'ස්නේක්' නම් වීඩියෝ ක්‍රීඩාව සෙල්ලම් කරනවා. ඊට සමගාමීව අනෙක් පාසල් සගයන් අලුත්ම ස්මාර්ට් දුරකතනවලින් බොහොම දියුණු වීඩියෝ ක්‍රීඩා කරමිනුයි ඉන්නේ. ඩිලන් අපහාස, උපහාස මැද පාසලේ ගත කරන කාලය වෙනස් කරන්නේ භාහිර ක්‍රියාකාරකමක් වෙනුවෙන් ඔහුගේ පාසලට පැමිණි තරුණයෙකු නිසා. ඔහු මේ ළමයින්ට උගන්වන්නේ ප්‍රමිතයකට අනුව කඩදාසි ගුවන් යානා තනන ආකාරයයි.

බොහොම දුක්බර ලෝකෙක සැරිසරමින් සිටි ඩිලන්ගේ ලෝකය උඩු යටුකුරු වෙන්නෙ ඊට පසුවයි. ලෝක කඩදාසි ගුවන් යානා තරඟයක් පිළිබඳ මේ තරුණයා ඩිලන්ට පැවසීමෙන් ඔහුගේ අපිළිවෙල ජීවිතයට තිගැස්මක් ලැබෙනවා.

තවම තරුණ වියේ සලකුණු බොහොමයක් තිබෙන ඔහුගෙ පියා සුපුරුදු විදිහට සෝපාවේ වැතිරිලා රූපවාහිනිය නරඹමින් සිටිනවා. ඉතාම සරල කතාන්දරයකට අපි බැදෙන්නෙ ඊටත් පසුවයි. කඩදාසි ගුවන් යානා තරඟයක ඇති වැදගත්කම කුමක්ද? වයස අවුරුදු 12ක ළමයෙකු සමඟ තරුණ විය නො ඉක්මවූ තාත්තෙකු මොනවා නම් කරනවාද? මේ ළමා ජීවිතය තුළ තිබෙන්නම ඕනෑ ළමාකම ඔහුට නොලැබෙන විට ඩිලන් උත්සාහ කරන්නෙ තමාට ලැබුණු නව ප්‍රහර්ෂය තුළ ගිලෙන්න.

'පේපර් ප්ලේන්ස්' සිනමාපටය තිරගත කර ඇත්තේ 2015 ජනවාරි 15 වැනිදායි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රොබර්ට් කොනලි විසිනුයි. මේ චිත්‍රපටයට පදනම් වෙලා තියෙන්නේ ඒ.බී.සී නාලිකාව ඔස්සේ විකාශය වූ 'ඕස්ට්‍රේලියන් ස්ටෝරි' නම් වාර්තා වැඩසටහනේ 14 වැනි වෙළුමේ 30 වැනි කථාංගයයි.

සිනමාපටය වරින් වර ඩිලන් සහ ඔහුගේ පියාගේ ජීවිතයේ ස්ථර දිග හරිනවා. සිය බිරියගේ හදිසි වියෝවෙන් ඩිලන්ගේ පියා ආපස්සට ගමන් කරන විට ඩිලන් ජීවිතේම මුහුණ දෙන්න පටන් ගන්නවා. ඔහු තුළ නුවමණා තරමේ වැඩිහිටියකු බිහි වෙන්න පටන් ගන්නවා. නමුත් ඩිලන් තුළ ඉන්න ඇත්ත ළමයා පෙර කියපු කඩදාසි ගුවන් යානා තැනීමත් සමඟ විටින් විට ඉස්මතු වෙනවා.

මිත්‍ර සම්බන්ධකම්, කුටුම්භයේ පැවතීම අතර කුඩා දරුවෙකුට මේ තරම් දෝලනය වෙන්න පුළුවන්ද? ජීවිතයේ ඉසියුම් තැන් කිහිපයක් තුවාල කරමින් ගලා යන චිත්‍රපටය පුරා තිබෙන තනිකම සහ ආදරය අහිමි වීම නොපෙනී තිබෙන්න නම් ක්‍රමයක් ඇත්තෙ නෑ. ජීවිතයේ අහිමි වීම් සම්බන්ධයෙන් වැඩිහිටියන් හැසිරෙන ආකාරය සහ කුඩා දරුවන් ඒවාට ප්‍රතික්‍රියා දක්වන ආකාරය අතර ඇති විශාල හිඩැස තුළයි මේ චිත්‍රපටය පුරාම ඔබව සිරකර තබන්නේ.

ඩිලන්ගේ ඉල්ලීම් අතිශය සාධාරණයි. ඒ ඉල්ලීම්වලට ඔහුගේ පියා දක්වන ප්‍රතිචාර ඔහු ආශ්‍රයෙන් සාධාරණයි. කුඩා දරුවකුට තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් ඇති දැක්ම වෙනස් නොකරන්න සුළු උදව් කරන ඩිලන්ගේ සීයා ඔහුට ඇති කරන්නේ අවදානම්සහගත හැඟීමක්. ඒ ඩිලන් තුළ ජීවත් වෙන වැඩිහිටියා නිසා වෙන්න පුළුවන්.

ලෝක කඩදාසි ගුවන් යානා තරඟකරුවන් අතර තරඟකරුවකු ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩකයකුගේ පුත්‍රයකු සිටිනවා. ප්‍රමාණයට වඩා උද්දච්ච මේ කොලු පැංචා තමන්ගේ පියාට නම කියමින් ආමන්ත්‍රණය කරනවා. ඔහු විෂයෙහි බොහොම රළු ආකාරයෙන් හැසිරෙනවා. ඔහුගේ පියා සමඟ ඩිලන්ගේ පියා සැසැදීම නුසුදුසු බව ප්‍රේක්ෂකයාට ඒත්තු යන්නේ සිනමාපට මධ්‍යයට පැමිණි පසුයි. ඩිලන්ගේ මව වාහන අනතුරකින් මිය ගිය බව ප්‍රේක්ෂකයාට කියන්නේ කෝපයට පත්ව පියාට බැණ වදින ඩිලන් විසින්මයි.

සිය බිරියගේ පියානෝව විකිණීමට අකමැත්ත පළ කරන ඩිලන්ගේ පියා අනුමාන කළ හැකි අවසානයක් ලබා දෙන පේපර් ප්ලේන්ස් සිනමාපටයේ අවසානයේදී එය විකුණා දමමින් ඩිලන් සහභාගි වන තරඟය නැරඹීමට ජපානයට පැමිණෙනවා.

මේ සියලු සාමාන්‍ය කතාන්දර ඇතුළත ශෝකී තානයක් සහ මහත් වේදනාවක් තිබෙනවා. සතුටදායක අවසානයක් තිබූවත් සිනමාපටය පුරා විටින් විට මතුව එන අහිමි වීම පිළිබඳ හිස්තැන් පුරවාගන්න ප්‍රේක්ෂකයන්ට හැකියාවක් නැති බවයි දැනෙන්නේ.

ඩිලන්ගේ චරිතය රඟන එඩ් ඔක්සෙන්බෝල්ඩ් මෙන්ම ජැක්ගේ චරිතය රඟන සෑම් වර්තින්ග්ටන් සිනමාපටය පුරා ඇවිදින්නේ සුළුපහසු වේගයකින් නම් නොවෙයි. එඩ් ට සාපේක්ෂව සෑම් ගේ වේගය තරමක් අඩු බවයි කිව යුත්තේ. ඩිලන්ගේ සීයාගේ චරිතය රඟන ටෙරී නොරිස් අත්‍යවශ්‍ය විනෝදයක් ඇති කරනවා.

ඕස්ට්‍රේලියාව තුළ පේපර් ප්ලේන්ස් සිනමාපටය විසින් උපයාගෙන ඇති ආදායම ඕස්ට්‍රේලියාවේ ළමා සිනමාපටයක් විසින් උපයාගත් වැඩිම ආදායමද වෙනවා. ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 9.61ක් උපයා ගැනීමට සමත් වුණ පේපර් ප්ලේන්ස් ජීවිතය ගැන කියන්නේ ඉතාම සරලව. නමුත් උඩුපෙළ නරඹමින් සිටින ප්‍රේක්ෂකයාට තමන්ට අනන්‍ය වුණ යටි පෙළක්ද සොයා ගැනීමටත් උදව් කරනවා. ඒ උදව්වේ තරම සිනමාපටය නැරඹීමෙන් ඉක්බිතිව ඉතිරි වෙන සියුම් ශෝකයෙන් අපට මැන ගැනීමට පුළුවන් වෙනවා.

දරුවකු පියා සමඟ තනි වීමෙන් ඉක්බිතිව ජීවිතය කෙබදුදැයි වටහා ගැනීමට හරස්කඩක් සේ කපා බලන්න කිසිවක් අපට ඉතිරි වන්නේ නෑ. නමුත් යම්, යම් ඉඟි ඔහු අපට ලබා දෙනවා. ඒ ඉඟි අතර පාවෙමින්, ළතැවෙමින් සිටින ප්‍රේක්ෂකයාව කඩදාසි ගුවන් යානාවකින් දමා ගසන්න ඩිලන්ට ලැබෙන ශක්තියත් සමඟ වැඩිහිටි ප්‍රේක්ෂකයා තරමක කනස්සල්ලට පත් වෙනවා වෙන්නත් පුළුවන්. නමුත් ළමා ප්‍රේක්ෂකයන් ඒ සම්බන්ධයෙන් විශාල ප්‍රහර්ෂයකට පත් වෙනවා. ඒ ප්‍රහර්ෂය තමයි ඉතාම වැදගත් වන්නේ. මන්දයත් ඒ ප්‍රහර්ෂයට සීමාවක් එතැන නොමැති නිසායි.