වර්ෂ 2015 ක්වූ ජූලි 02 වැනිදා බ්‍රහස්පතින්දා




නටලා නටලා හරියට මහන්සි ඇති - ඒ මගේ මුල්ම දෙබස

නටලා නටලා හරියට මහන්සි ඇති - ඒ මගේ මුල්ම දෙබස

- ටෝනි

පසුගියදා අභාවප්‍රාප්ත වූ රංගවේදී ටෝනි රණසිංහයන් මෙරට සිනමාවේ රජතුන් කට්ටුවේ අන්තිමයාය. ටෝනි රණසිංහයන්ගේ 75 වැනි ජන්ම දිනය නිමිති කොට ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ ටෝනි රණසිංහයන් සමඟ කරන ලද විශේෂ සාකච්ඡාවක් ලිපි මාලාවක් ලෙස එකල සරසවිය පුවත්පතේ පළ විණ. බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි මෙන්ම ටෝනි රණසිංහයන්ට උපහාරයක් ලෙස සරසවිය අද සිට එම ලිපි මාලාව ඔබට නැවත ගෙන එන්නෙමු.

ටෝනි අයියා මුලින්ම ඔබට මෙවැනි පැනයක් යොමු කරන්නට කැමැතියි. ඔබේ රංගන ජීවිතයේ ලැබූ සුවිශේෂ ජයග්‍රහණය ගාමිණී ෆොන්සේකා සහ ජෝ අබේවික්‍රම සමඟ සිංහල සිනමාවේ රජතුන් කට්ටුව ලෙස සැලකුම් ලැබීමද?

ප්‍රසන්න, මට ඒ ප්‍රශ්නයට එහෙත් නැත්නම් ඔබේ ඒ මතයට එකඟ වන්න අමාරුයි. යම් කිසි නිර්මාණයක් පදනම් කර ගනිමින් නළුවකුව හෝ නිළියකව බෙදා වෙන් කිරීම අපහසුයි. ගාමිණී, ජෝට වැඩියෙන් සිනමාරූපී රංගනයේ යෙදුණ ඔවුනට පෙර පැමිණි නළුවකු හිටියා. ඒ අශෝකමාලා සහ එදා රෑ චිත්‍රපටයේ රඟපෑ මයිකල් සන්නස් ලියනගේ.

ඒ චිත්‍රපට රූ ගැන් වුණේ දකුණු ඉන්දියාවේ. මයිකල් වැඩ කළෙත් දකුණු ඉන්දීය අධ්‍යක්ෂවරු යටතේ. මේ තත්ත්වයන් මත වුණත් ඔහුගේ රංගනය දකුණු ඉන්දීය සෙවණැල්ලට යට වුණේ නැහැ. ගාමිණී, ජෝ තරම් සිනමාවට සේවයක් මයිකල් විසින් සිදු නොකළත් ඔහු සිනමාරූපී රංගනයේ මනාව යෙදුන අයෙක්.

මේ මොහොතේ මට තවත් දෙදෙනකුව මතක් වෙනවා. ඒ ඩොමී ජයවර්ධන සහ ඩේවිඩ් ධර්මකීර්ති. ඔවුන් දෙපොළ සුජාතා චිත්‍රපටයේ ස්වාභාවික එහෙමත් නැතිනම් තාත්ත්වික රංගනයක යෙදුණා. එහෙම බලද්දී අපට වැඩිය සුවිශේෂ ගුණාංගයන්ගෙන් යුතු බොහෝ අය හිටියා. ඩී. ආර්. නානායක්කාරත් එවැනි කෙනෙක්.

මං ඔය පැනයට තවත් උදාහරණයක් පාවිච්චි කරමින් පැහැදිලි කරන්නම්. ඔබ අනිවාර්යයෙන්ම අහලා ඇති මාලන් බ්‍රැන්ඩෝ සහ ජෝර්ජ් ස්කොට් යන නළුවන්ව විචාරකයින් හා රසිකයන් පැවසූ පරිදි ඔවුන් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම නළුවන් දෙපොළක්. සමහරෙක් මාලන් විසි වැනි සියවසෙහි බිහි වූ හොඳම නළුවා යැයි ලේබල් ඇලෙව්වා. ඒත් ඔවුන්ව එලෙස කොටු කිරීමට මං විරුද්ධයි. අපි තිදෙනාවත් එහෙම එක් මාතෘකාවක් යටතේ හඳුන්වා දීම නුසුදුසු බවයි මගේ මතය.

හොඳයි, ටෝනි රණසිංහ නම් වූ රංගන ශිල්පියා, තිර කතා රචකයා, නවකතාකරුවා, පරිවර්තකයා සහ අධ්‍යක්ෂවරයා බිහිවීමට බලපෑ පසුබිම කුමක්ද?

ඒකට දෙන උත්තරය බොහොම දිග එකක් වේවිි. කමක් නෑ නේද ප්‍රසන්න.

මං ඉපදුණේ කොළඹ ද සොයිසා රෝහලේ. එහි ඉපදිලා අවුරුදු හැත්තෑ හතරකට පසු ඊට හැතැප්ම භාගයක පමණ දුරක සිටයි මේ කතාව මං කියන්නට හදන්නේ. කොළඹ මෝදර ප්‍රදේශයෙයි මා හැදී වැඩුණේ. එය ඉතාම උග්‍ර කතෝලික පරිසරයක්.

අපි පල්ලියත් එක්ක නිතරම සම්බන්ධකම් පවත්වාගෙන ගියා. පූජාවට උදව් වෙන්න පුංචි මං ඉදිරිපත් වුණේ නොපැකිළවමයි. ඒ දවස්වල පූජාව තියද්දී බලන් ඉන්න ආසයි. කන් දෙදරවන තරමට ගීතිකාවල සද්දේ. ඒවාත් මගේ හිතේ තැන්පත් වෙලා තිබුණා.

පූජාව පවත්වන ස්වාමිලා සිංහල අය නොවෙයි. ප්‍රංශ, බෙල්ජියම් වැනි ජාතිකයින්. ඔවුන්ගේ මුහුණේ රැවුලක් තිබීම අනිවාර්ය අංගයක්.

ඇන්දෙත් විවිධ අලංකාර ලියකම්වලින් සමන්විත වර්ණවත් ඇඳුම්. මා මේවා දිහා බලා සිටියේ ඉතා ඕනෑකමින්. මං පාසල් ගියේ මෝදර දලාසාල් විදුහලට. බ්‍රදර් සීසර් තමයි එවකට එහි ප්‍රධානියා.

අපේ ගමේ හිටියා ටවර් හෝල් නාට්‍ය නිෂ්පාදනය කරපු දෙන්නෙක්. එක් අයෙක් ස්ටීවන් ද සිල්වා. ඔහුගේ නාට්‍යවල ආභාෂයෙන් තමයි බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මතබේදය, පෙරකදෝරු බෑණා වැනි චිත්‍රපට හැදුවේ.

ඔහු එවකට මර්කස් සහ මර්සියා කියලා නාට්‍යයක් නිෂ්පාදනය කරමිනුයි හිටියේ. අනෙක් කෙනා තමයි ලුවිනියස් පෙරේරා. ඔහුව ගොඩක් දෙනෙකු හැඳින්නුවේ බර්නාඩ් පෙරේරා යන නමින්. බණ්ඩා නගරයට පැමිණීම චිත්‍රපටයේ බණ්ඩාට රඟපෑවේ ඔහුයි. ඔවුන් අපේ ගමේ නාට්‍යය කරද්දී පෙර පුහුණුවීම් නැරැඹීමට අපි ගියා.

ඒ කාලයේ නාට්‍යයක් බලද්දී සිතට විශ්මයක් ගෙන දුන්නා. ඒ මන්ද යත් දේව දූතයන් අහසින් යෑම තවත් නාට්‍යයක ස්නාවක ජුවාම්තුමාගේ හිස කඳෙන් වෙන් කිරීම වැනි දර්ශන තිබූ නිසා. හිස ගසා දමද්දී ඇත්තටම හිස කඳෙන් වෙන් වෙලා යනවා. ඒවා දකිද්දී මසිතටත් නළුවකු වන්න තිබුණා නම් කියන චමත්කාරජනක සිතුවිල්ල ඇති වුණා.

පසුකාලීනව මං දැනගත්තා ඉහත දර්ශනවලදී සිදු වුණේ ඇස් බැන්දුමක් පමණයි කියලා.

මගේ පියා පල්ලියේ කන්තාරු කණ්ඩායමේ හිටියා.

ඔහු දක්ෂ වයලීන් වාදකයෙක්. නිවාඩු දිනවල අඩියක් පුඩියක් එහෙම ගහලා ඔහු පෘතුගීසි සිංදු කියනවා. අහන් ඉන්න ආසයි. තව දෙයක්, මගේ අයියා රැලෙක්ස් රණසිංහ ඡායාරූප ශිල්පියෙක්. නළුවකු වන්න මට ඔහුගේ වෘත්තියත් බලපෑවා. මා ඉහත සඳහන් කළ කරුණු කාරණාවලට පිංසිද්ධ වෙන්න කලාව කෙරෙහි ඇදී ගිය මා ඒ ඔස්සේම ඉදිරියට යන්න හිතුවා. ඒත් වෘත්තියක් වශයෙන් නම් නෙවෙයි.

1959 දී සිනමා නළුවකු වීමේ බලාපොරොත්තුවෙන් ඔබ සිරිසේන විමලවීරයන්ව හමු වුණා. අතරමඟ නැවතුණ පුංචි අම්මා චිත්‍රපටය සහ විමලවීර මාස්ටර් පිළිබඳ ඔබේ මතකය අවදි කරන්නයි මා දැන් සැරසෙන්නේ?

විමලවීර මහතාව මං මතක් කරන්නේ බොහොම කෘතවේදිත්වයෙන්. එතුමාණන් වැනි මිනිසුන් ඉතාම විරලයි. මාව විමලවීර මාස්ටර් ගාවට රැගෙන යන්නේ ආතර් යූ. අමරසේන මහත්මයා.

එතුමා මා දෙස බලලා එවකට නිර්මාණය කරන්නට බලාපොරොත්තුවෙන් සිටි පුංචි අම්මා චිත්‍රපටයට මාව තෝරා ගත්තා. චිත්‍රපටයේ හැටියට මං නාට්‍යාංගනාවකට ආදරය කරනවා. එම චරිතය නිරූපණය කළේ විමලවීරගෙම චිත්‍රපට කිහිපයක සිටි රාණි රණතුංග.

මට කියන්න තිබුණේ මුල්ම දෙබස් පේලිය 'නටල නටලා හරියට මහන්සි ඇති' කියන ටික. මං නාට්‍ය අංගනාව දෙසට හැරිලා ඒ දෙබස් ටක් ගාලා කියලා දැම්මා. විමලවීර මාස්ටර් දර්ශනය නවත්වලා මට පැත්තකට කතා කරලා ඔහුගේ හිල්මන් වර්ගයට අයත් කාරය ළඟට රැගෙන ගියා. විමලවීර මාස්ටර් උපැස් යුවළක් පළඳිනවා. නළල පළල්. කොණ්ඩය පිටු පසට පීරලයි ඉන්නේ. අත් කොට බැනියමට සුදු සරමක් ඇඳලා පටියක් පළඳිනවා. මට ඔහුගේ ස්වරූපය අද වගේ මතකයි.

ඔහු මට චිත්‍රපටයක දෙබස් කියන ආකාරය පැහැදිලි කර දුන්නා. මං ජවනිකාවේ දෙබස් කිව්වේ ඉතාම ඉක්මනින්. එහෙම කියන්න එපා කියලා ඔහු මට කිව්වා. එතකොට හරියට රෙකෝඩ් කරන්න බැරි වෙනවලු. මං ඔය පටිගත කරන යන්ත්‍ර සූත්‍ර පිළිබඳ ඒ කාලයේ දැනන් හිටියේ නැහැ. එතුමා මට ඒ තාක්ෂණය පිළිබඳත් කියා දුන්නා.

විමලවීර මාස්ටර්ගේ චිත්‍රපටයක් මෑතකදී රූපවාහිනී නාළිකාවකින් විකාශය වුණා. තාක්ෂණික දුර්වලතා ඉවත් කළාම එම නිර්මාණයන් ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. එවැනි මිනිස්සු අද නැති වීම මහත් පාඩුවක්.

ටෝනි අයියා එවකට තිබුණු නාට්‍යමය ශෛලියෙන් ඉවත් වී සිනමාවට උචිත තාත්ත්වික රංගන ශෛලියක් වෙත යොමුවීමට බලපෑ කරුණු මොනවාද?

මගේ ඥාති වන අයියා කෙනෙක් ඔහුගේ පඩි දවසට අපව හින්දි චිත්‍රපටයක් බලන්න එක්කන් යනවා. අපි වැඩිපුරම ගියේ මරදාන ක්‍රවුන් සිනමාහලට. මං බොහොම කැමැති නළුවකු වන දිලිප් කුමාර් පෙනී සිටි චිත්‍රපටයි වැඩිපුරම මට නරඹන්න ලැබුණේ

මං ඔහු රඟපෑ චිත්‍රපට අතරින් මුලින්ම බැලුවේ 'හල්චල්'. එහි ඔහු කළ රංගනයට මා සිත වසඟ කර ගන්නට සමත් වුණා. එහි එක දර්ශනයක් තියෙනවා රැකියාවක් සොයා දිලිප් කුමාර් බොම්බායේ වීදියක ඇවිදිනවා. ඔහු ටේස්ට් කඩල විකුණන තැනක් දැකලා ඔහුගේ කට කෙළ උණනවා. එතැන ඔහු කළ රංගනය හරිම ස්වාභාවිකයි. දිලිප්ගේ චිත්‍රපට වැඩිපුර පරිශීලනය කරපු නිසා ඔහුගේ ආභාෂය මට වැඩිපුර ලැබෙන්න ඇති. හින්දි චිත්‍රපටවලට සමාන්තරව මාලන් බ්‍රැන්ඩෝ, ලෝරන්ස් ඔලිවියර් වැනි රංගනවේදීන්ගේ චිත්‍රපටත් බැලුවා.

ඒත් මාලන්ට ලැබුණු චරිතවල සිටියෙත් මාලන් බ්‍රැන්ඩෝමයි. උදාහරණයක් විදිහට ඔහුට ටැක්සි ඩ්‍රයිවර් කෙනෙකුගේ චරිතයක් ලැබුණොත් ඔහු කරන්නේ ටැක්සි ඩ්‍රයිවර්ව ඉස්මතු කරන එක නෙවෙයි. මාලන්ව කැපී පෙන්වන එක. මේ මේ අත්දැකීම් මගේ ජීවිතයට එක් කර ගත්තා.

අද කාලෙ වගේ ඩී. වී. ඩී. තාක්ෂණය නොතිබුණු යුගයක එක චිත්‍රපටය දෙතුන් වතාවක් බැලුවා. ඒ අධ්‍යයනය සඳහා සහ එහි තිබුණු යම් යම් සුවිශේෂීතාවයන් මත. මේ කරුණු කාරණා නිසා මගේ රංගනයන් තාත්ත්වික වෙන්නට ඇති.

ලබන සතියට...