වර්ෂ 2015 ක්වූ ජූලි 02 වැනිදා බ්‍රහස්පතින්දා




හීරෝ නීරෝ එන්න ළඟයි

හීරෝ නීරෝ එන්න ළඟයි

ප්‍රදීප් මහේෂ් ලියනගේ ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය හීරේ නීරෝ ළඟදීම සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීමට නියමිතය. ළමා සිනමාපටයක් වන මෙහි සංගීතා වීරරත්න, නිල්මිණි තෙන්නකෝන්, දුලීකා මාරපන, නිරෝෂන් විජේසිංහ, තිසර චානක, ඔටාරා ගුණවර්ධන ආදීහු චරිත මවති. ඒ අයට අමතරව රන්ජන් රාමනායක සහ රෝයි ද සිල්වා ආරාධනා රංගනයෙන් මෙන්ම නිහිඳු, සොනාල්, පවී, පෝෂණී, ඩන්ස්ටන් ඇතුළු ළමා නළු නිළියන් රැසක් හීරෝ නීරෝ රංගනයෙන් හැඩගන්වති.

කැමරා අධ්‍යක්ෂණය විමර්ශන රත්නායකගෙනි. සුජීව තලංගම නිෂ්පාදන කළමනාකරුය. සමිල් ජේ. ගේ සංගීත අධ්‍යක්ෂණයකි. සුනෙත් නන්දලාල් කලා අධ්‍යක්ෂණයෙන් ද, කැළුම් ශ්‍රීමාල් ගීපද රචනයෙන් ද මේ සඳහා එක්ව තිබේ. සෑම් පෙරේරා සහ ගාමිණී කොස්තා අංග රචනා ශිල්පීන්ය. සුදත් දේව් පටිනායක, මධුරංග කුමාර සහ ටොලමි සහාය අධ්‍යක්ෂවරුන් වේ.

හීරෝ නීරෝ නිශාන්ත ප්‍රදීප් මොහොට්ටිගේ නිෂ්පාදනයකි. මෙහි අධ්‍යක්ෂ ප්‍රදීප් මහේෂ් ලියනගේ සිරස ආයතනයේ ජ්‍යෙෂ්ඨ විධායක නිෂ්පාදකවරයකු වශයෙන් කටයුතු කරයි.


දේශීය චිත්‍රපට නාමාවලිය එළිදකී

 

මෙතෙක් බිහි වූ චිත්‍රපට නිමාවලියේ තිබෙන්නා වූ වැරැදි නිවැරැදි කරමින් ඊට විසඳුමක් ලෙස සකස් කරන ලද මේ ‘දේශීය චිත්‍රපට නාමාවලිය ග්‍රන්ථය’ රචනා කරන ලද්දේ කාලයක පටන් සරසවියේ ලේඛකයෙකු වන රූපසේන සිල්වායි. රටක චිත්‍රපට නාමාවලියක් සකසා ගැනීමට සම්මත ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුය. එය ලෝක සම්මතයට සකසා ගැනීමෙන් නිවැරුදිතාව ආරක්ෂා කරගත හැක. එනම් නිහඬ චිත්‍රපට හා කතානාද චිත්‍රපට වශයෙනි. එහිදි මිලි මීටර් 35 චිත්‍රපට සාමාන්‍යයෙන් ප්‍රදර්ශනය කරන ප්‍රධාන චිත්‍රපට බව සිහිතබා ගතයුතු අතර, අවසෙස් ප්‍රමාණයෙන් නිෂ්පාදිත හා ප්‍රධාන භාෂාවෙන් මිදුණු චිත්‍රපටත්, එනම් ප්‍රධාන භාෂාවෙන් හඬ කැවූ චිත්‍රපටත් වෙන් කිරීම අනිවාර්යය වෙයි. මේ ක්‍රමවේදයට අනුකූලව දේශීය චිත්‍රපට නිමාවලිය සකසා ඇත. මේ කෘතිය සේරි ප්‍රකාශනයකි.


සෝමෙගේ පර්ස් එක නැති වෙලා

දක්ෂ ගේය පද රචකයකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ද වන සෝමපාල ලීලානන්දට පුංචි කරදරයක් වෙලා. ඔහු අපට කතා කළේ බොහොම සංවේගයෙන්.

මගේ පර්ස් එක නැති වුණානේ. ඒක තිබුණේ පුංචි බෑග් එකක. ඒක පිටින්ම කවුරු හරි අරගෙන. බෑග් එකේ සල්ලිත් තිබුණා. ඒ විතරක් නෙවෙයි මගේ ජංගම දුරකතන දෙකයි, බැංකු කාඩ් එහෙමත් මං දාගෙන හිටියේ ඒ බෑග් එකේ. අනේ ගත්ත කෙනෙක් ඉන්නවා නම් සරසවියට ලැබෙන්න සලස්වන්න. ලොකු උදව්වක්.

0768091657 මේ සෝමපාලගේ අලුත් දුරකතන අංකයයි.