වර්ෂ 2015 ක්වූ ජූලි 02 වැනිදා බ්‍රහස්පතින්දා




ජෝතිපාලයන් සමරා දන්සලක් ඔලබොඩුවේදී...

ජෝතිපාලයන් සමරා දන්සලක් ඔලබොඩුවේදී...

ජනකාන්ත ගායක එච්. ආර්. ජෝතිපාලයන්ගේ විසි අට වැනි ගුණසැමරුම වෙනුවෙන් ‘සුප් දන්සලක් සහ ජෝති ගී සැඳෑව’ක් මෙම 07 වැනි දා සවස ඔලබොඩුව එක්සත්පුර පාසල අසල දී පැවැත්වීමට නව පරපුරේ ගායක සරත් කුමාර සහ හිතවතුන් සූදානම්වේ.

විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා සහ ජනපි‍්‍රය නළු ටෙනිසන් කුරේ ගේ ප්‍රධානත්වයෙන් මෙම පුණ්‍ය කටයුත්ත සිදුකෙරෙන අතර ජෝති ගුණ කථනය එම්. ඩී. ගුණදාසයන් විසින් විරුදුවෙන් ගයනු ලබයි. සුසන්ත ප්‍රමුඛ ත්‍රීතාල් සංගීත කණ්ඩායම ‘ජෝති සැඳෑව’ සංගීතවත් කරන අතර ජයශාන්ත ඔරුවල කථනයෙන් එක්වෙති. ජෝතිපාලයන්ගේ රුව සහිත විශාල ප්‍රමාණයේ තොරනක් ද මෙම ස්ථානයේ ඉදි කරන ලද අතර එය නිර්මාණය කර ඇත්තේ ඩික්සන් ෆොන්සේකා විසිනි. එහි විදුලි ආලෝකය සම්පත් මඩවල ගෙනි.


රවීන්ද්‍ර - රන්ජන් - රොජර් - රෝයි ජෝති ගී ගයති

එච්. ආර්. ජෝතිපාලයන්ගේ විසි අට වැනි ගුණ සැමරුම නිමිත්තෙන් හෝකන්දර කලා සිත්රූ පදනම ඉදිරිපත් කරන 'ජෝති ගැයූ ගී' උපහාර ප්‍රසංගය මෙම මස 11 වැනි සෙනසුරාදා සවස හෝකන්දර පරාක්‍රම මාවතේදී පැවැත්වේ.

ජෝතිපාලයන් ගැයූ චිත්‍රපට ගීත පමණක් ප්‍රසංගයට ඇතුළත් වන අතර රවීන්ද්‍ර රන්දෙණිය, රන්ජන් රාමනායක, රොජර් සෙනෙවිරත්න, ක්ලීටස් මෙන්ඩිස්, රෙක්ස් කොඩිප්පිලි, රෝයි ද සිල්වා, මහේන්ද්‍ර පෙරේරා, මුතු තරංගා, අනූෂා දමයන්ති, ප්‍රියංකර පෙරේරා, නිලන්ති ඩයස්, සරත් සිල්වා, සාරංග දිසාසේකර, උමාලි දිසාසේකර, සහන් විජේසිංහ, ඩිනක්ෂි ප්‍රියසාද්, චරිත් අබේසිංහ, අංජුලා රාජපක්ෂ, චන්න පෙරේරා, මල්කුමාරි ගීතරාණි, සුරේෂ් ගමගේ, රජිත හිරාන් සහ ශනුද්‍රි පි‍්‍රයසාද් මෙහිදී ගායනා කරති. බ්‍රේව් සංගීත කණ්ඩායම සංගීතය මෙහෙයවයි. කථනය ආරියසිරි විතාන සමඟ ඉන්ද්‍රසිරි සුරවීරගෙනි.

ජෝති උපහාර ප්‍රසංගය සංවිධානය කරනු ලබන්නේ දිනේෂ් ප්‍රියසාද්, දේශමාන්‍ය රෝහණ කොස්තා සහ දේශමාන්‍ය නීල් කුමාර විසිනි.


කහවත්තේ ජෝති ගී

ජෝතිපාලයන්ගේ 28 වැනි ගුණ සමරුව නිමිති කර ගනිමින් ජෝති සමරු ගී ප්‍රසංගයක් මෙම මස 07 වැනිදා සවස කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. මෙහිදී ග්‍රාමීය මට්ටමේ කලාකරුවෙකු වෙනුවෙන් මූල්‍යමය පරිත්‍යාගයක්ද සිදු කරනු ලබයි. ජෝති ගුණඅනුස්මරණ ප්‍රසංගය කහවත්ත සංස්කෘතික බල මණ්ඩලයේ සහ පන්සිළු භාරත ලංකා ගී රසික සංසදයේ සංවිධානයකි.


ජෝති වෙනුවෙන් ගීත ප්‍රසංගයක් සහ අනුස්මරණ පුෂ්පෝහාර උත්සවයක්

එච්. ආර්. ජෝතිපාල සුමිතුරෝ සමාජය මඟින් සංවිධානය කරනු ලබන 28 වෙනි ජෝති අනුස්මරණ ගීත ප්‍රසංග උත්සවය හා අනුස්මරණ පුෂ්පෝහාර උත්සවය මේ මස 07 වෙනි දින ප.ව. 04.30 ට බොරැල්ල සුසාන භූමියේ ජෝතිපාල සමරු ඵලකය අභියසදී පැවැත්වෙයි.

ජෝතිපාල පවුලේ නෑ හිතවතුන්ගේ හා ජෝතිපාල සුමිතුරු සමාජයේ සාමාජික/ සාමාජිකාවන්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මේ උත්සවයට ජෝතිපාල මහතා අගයන සියලු රසික රසිකාවන්ට පස්වරු 4.00ට පැමිණ සහභාගි වන ලෙස ජෝතිපාල සුමිතුරෝ සමාජය ආරාධනා කර සිටියි. එසේම මේ මස 12 වැනි දින පස්වරු 6.00ට මරදාන ආනන්ද කුලරත්න ශාලාවේදී පැවැත්වෙන උපහාර ගීත ප්‍රසංගයේදී එදා මෙදා ජනප්‍රිය ගායක - ගායිකාවන් විසිදෙදෙනෙකු පමණ සහභාගි වන ගී ප්‍රසංගය නොමිලේ නැරැඹීමට ඔබට අවස්ථාව උදාකර ඇත.


ජෝති වෙනුවෙන් සුසර දැහැන ජාතික රූපවාහිනියේ

මෙම මස 04 වැනිදා එනම් එන සෙනසුරාදා රාත්‍රී 10.10 ට ජාතික නාළිකාවෙන් විකාශය වන සුසර දැහැන සංගීතමය වැඩ සටහන මෙවර වෙන් වනුයේ අසහාය ගායනවේදී එච්. ආර්. ජෝතිපාල වෙනුවෙනි. එහි ගැයුම් නුවන් ගුණවර්ධන, දයාසිරි ජයසේකර, වජිර එදිරිමාන්න සහ නිශංකා ප්‍රියදර්ශනී විසින් ගයනු ලබති. කථනය පාරමී රණසිංහ ගෙනි. සුසර දැහැන නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරනුයේ සුමිත් සී.දිසානායකය.


නොසිතූ මොහොතක අප හැර ගිය රසවතා ඉන්දික

නව පරපුරේ රංගන හා ගායන ශිල්පියකු වූ ඉන්දික රත්නායක පසුගිය 29 වැනිදා අලුයම මහරගම අවන්හලකදී සිදු වූ ගැටුමකින් ජීවිතක්ෂයට පත් විය. මිය යන විට 44 වැනි වියේ පසු වූ හෙතෙම දරු දෙදනකුගේ පියෙක්. මෑතකදී ඔහු සිය පවුල සමඟින් ඩුබායි රටෙහි පදිංචියට ගොස් ඇති අතර එහිදී රැකියාවක නිරතව සිටියේය. ඔහු කෙටි නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණියේ මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වීමට දින දෙකකට පෙරය.

මහේන්ද්‍ර පෙරේරාගේ STAR SRI LANKA හිස් තැනක් ඇතුළු ටෙලි නාට්‍යය කිහිපයකම විවිධ චරිත රඟපෑ ඉන්දික ගීත ගායනයට ද සමත්කම් දැක් වූ අතර ප්‍රසංග වේදිකාවේදී සංගීත කණ්ඩායම් කිහිපයකම නිත්‍ය ගායකයකු ලෙස කටයුතු කළේය.

'සරසවිය' පුවත්පත සංවිධානය කළ 'දැයට කිරුළ' ප්‍රසංග වේදිකාවේද සිය ගී හඬින් ඔපවත් කළ ඉන්දික මිතුරු ඇසුරට බෙහෙවින් ලැදි වූ කාගෙත් හොඳ හිත දිනූ අයකු ලෙස ප්‍රකටව සිටියේය. අකල්හි ජීවිත ගමන් මඟෙන් සමුගත් ඔහුට අප නිවන් සුව ප්‍රාර්ථනා කරමු.


උලත් එකයි කපා ඉවරයි

හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කරනු ලැබූ උලත් එකයි පිලත් එකයි සිනමාපටයේ සංස්කරණ කටයුතු පසුගියදා අවසන් විය. එහි හඬ කැවීම මේ දිනවලදී සිදු වේ. රොෂාන් රණවන, දර්ෂන් ධර්මරාජ්, දමිතා අබේරත්න, රජිත හිරාන් (පිංපොං), මිහිර සිරිතිලක, රුක්ෂානා දිසානායක, දිල්ෂානි පෙරේරා, කමල් දේශප්‍රිය, රමණී සිරිවර්ධන, බියංකා ෆොන්සේකා, කීර්ති රංජිත් පීරිස්, අනිල් ජයසිංහ, ජයතිස්ස අතුලසිරි, කුමාර වඳුරැස්ස, ජගත් ඇපලදෙණිය, සමාධි පෙරේරා, සමන්ත මායදුන්න, කුමාර රණපුර, ලලිත් නවරත්න, ලලිත් කල්දේරා, මංජුල සේනානායක ඇතුළු පිරිස මෙහි චරිත මවති.

උලත් එකයි පිලත් එකයි දිනිත් එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන් චමින්ද රණසිංහගේ නිෂ්පාදනයකි.