වර්ෂ 2015 ක්වූ ජූලි 02 වැනිදා බ්‍රහස්පතින්දා




උත්කෘෂ්ට සිතුවමක් හා පෙමින් බැඳීම
අපේ කාලයේ නිර්මාණයන් ගැන කතාකරන විශේෂාංගය

උත්කෘෂ්ට සිතුවමක් හා පෙමින් බැඳීම

Masterpiece

රිඳුම් ඇති වන්නේ ප්‍රේමය කුඩා අංශුවලට කැඩී බිඳී යාම නිසාම නොවේ. අතිශය අපහසු තැනක ප්‍රේමය රැඳවුණ විටය. පතුරු ජනේලයක එල්ලා තැබුණ උත්කෘෂ්ට සිතුවමක් මෙන් ඔබ සිටී නම් ඒ නැරඹීම පමණක් නොසෑහේ. සියල්ලෝ පැමිණ නරඹා ගියත් මට ඔබව මා කැමති තැන රැගෙන යන්නට ඇවැසිය. එහෙත් එවන් උත්කෘෂ්ට සිතුවමක් කෙලෙසක නම් චලනය කරන්නද? මේ විය නොහැක්ක කෙලෙසක නම් විස්තර කරන්නද? කෙලෙසක නම් ස්පර්ෂ කරන්නද? මා සියලු බලාපොරොත්තු බිඳ ගත යුතුද? සිතුවම පසුපස සැඟවී ඔබ රැක ගන්න උපාය යෙදිය යුතු නොවේද?

ප්‍රේමය සුළු ගිනි පුපුරක්ව දීප්තියක් දේ නම්, මා සතුව ඇවැසි තරමට ගිනි ඇවිලවීමට පුළුන්මය ද්‍රව්‍ය තිබේ නම් ඒ දැල්විය යුතුමය. එහෙත් ඔබ උත්කෘෂ්ට සිතුවමක්ව තව දුරටත් පැවතීම අමතක කළ යුතුය. ඒ රන්වන් බිත්තියෙන් බිමට බැස මා සමඟ එක පෙළට සිට ගත යුතුය.

ප්‍රේමය දැල්වෙන්නේ ඒ ආකාරයෙනි. තනි තනිව නොවේ. දෑගිලි පැටලීමෙනි. අති මහත් උණුසුමෙනි.

මේ ගයන්නේ මැඩෝනා දැයි නැවත ඇසිය යුතු තරමට සෞම්‍යයය. ගීතය ලියුවේ මැඩෝනා, ජුලී ෆ්‍රොස්ට් සහ ජිමී හැරී දැයි යළිත් සැක හැර දැනගත යුතු තරම්ය. ප්‍රකට එ.ඡ් සිනමාපටයේ ප්‍රධාන ගීතය ලෙස ගැයෙන 'මාස්ටර්පීස්' එතරම් පහසුවෙන් අමතක කළ හැකි ගීතයක් නොවේ. සිනමාපටය එක මිටට හකුළුවා දක්වන මේ ගීතය ශෝකය මෙන්ම ප්‍රේමයේ කැඩුම් බිඳුම් අතර ඔබව ගිල්වා එහි අවසානයක් පෙන්වයි.

'මට සිතෙන්නේ ඔබ එහෙමයි
නරඹන්න මා ස්පර්ෂ නොකරන්න වර්ගයේ
ඒ නම් විනෝදයක් විය නොහැකියි
හැම විටම තෝරා ගන්නා ලද තැනැත්තා වීම'

මැඩෝනා මේ ගීය රචනා කරමින් ගයන්නේ ඩබ්ලිව්.ඊ සිනමාපටය වෙනුවෙනි. සියවස් හයකට පෙර වෙන් වීමට සිදු වුණ කාන්තාවක් සහ වර්තමානයේ ඒ සිදුවීමටම මුහුණ පෑ කාන්තාවක වටා සිනමාපට එතී ඇත. වෝලි වින්ත්‍රොප් හත් වන එඩ්වඩ් රජුගේ පෙම් කතාවට උමතු වී සිටින්නියකි. තමන් අතිශය ආලය කළ කාන්තාවක් වෙනුවෙන් බ්‍රිතාන්‍ය සිහසුන අත් හරින හත් වන එඩ්වඩ් රජු පිළිබඳ ඈ තුළ ඇත්තේ සොඳුරු චිත්‍රයකි. එහෙත් වින්ඩ්සෝර් වතුයායේ පැවැත්වෙන වෙන්දේසියට කිහිප වාරයක් සහභාගි වෙන ඇය මේ යුවළගේ ජීවිතය රෝස මල් යහනාවක් නොවන බව වටහා ගනී.

එවක් පටන් නිතිපතා වෙන්දේසියට සහභාගී වෙමින්, පැරැණි බඩු භාණ්ඩ ප්‍රදර්ශනයට සහභාගී වෙමින් වෝලි විසින් සැබෑ චිත්‍රය මතු කර ගනී. තිරයෙන් ඈත සිටින අපට වෝලීගේ ඇසින් ඒ චිත්‍රය පෙනෙයි.

අතීතයට යමින් යළිත් අනාගතයට එමින් කියන මේ කතාන්දරය සිනමාපටය වෙත ඔබව ආශක්ත කරවයි. 'මාස්ටර්පීස්'ගීතය චිත්‍රපටයෙන් ගලවා එළියට ගත්තත් එය යළි ගොස් සිනමාපටයේම ඇලෙයි.

මැඩෝනා අධ්‍යක්ෂණය කළ එ.ඡ් සිනමාපටය මැඩෝනා සලකුණ සිනමාපටයක් තුළ කිඳා බසින සේ තැබුවකි. ඊට නොදැවෙනි මේ ගීතය ඇයව අතීතයේ කී ගීත සියල්ලෙන්ම සැනින් වෙන් කර පෙන්වන්නකි. මහා සෙනඟක් මධ්‍යයෙන් වෙන් කර යමක් හඳුනා ගන්නාක් මෙනි.

මැඩෝනා ගීතය ගැන කියන්නේ මෙවැන්නකි.

'මගේ මැනේජර්, ගයි ඔසිරි ඉතාම වදකාරී විදිහට මගේ පසුපස ඇදිලා ආවා සින්දුවක් ලියන්න ඕන බව කියමින්. මං මෙන්න මෙහෙම ඔහුට කිව්වා. 'ගයි, කරුණාකරලා කරදර කරනෙපා. අධ්‍යක්ෂවරියක් විදිහට මගේ චිත්‍රපටියට ඕන අවධානය දෙන්නයි මං හදන්නේ. මට ඒක කරන්න ඉඩ දෙන්න. හැමෝම චිත්‍රපටියට අවධානය යොමු කරන්නයි මට ඕනා. සින්දු ලියන්න මට වෙලාවක් නෑ'

නමුත් ගයි යනු ලෙහෙසියෙන් පසුබා යන්නකු නම් නොවේ. හෙතෙම යළි, යළිත් මැඩෝන පසුපස ඇවිදිමින් ඇවිටිලි කරන්නට වූයේ චිත්‍රපටයට අදාල ගීතය ලියන ලෙසයි.

'ඊට පස්සෙ ෆිල්ම් එක ඉවර වුණා. මගේ අලුත් ඇල්බමයට ගීත හදමින් ඉන්න අතරේ බොහොම මායාකාරී විදිහට 'මාස්ටර්පීස්' සින්දුව පහළ වුණා. ගයි ඔසිරි; ඔබට බොහොම ස්තූතියි ඒ වගේ කරදරකාරී මැනේජර් කෙනෙක් වුණාට'

ඈ අර වසඟකාරී සිනාවෙනි එලෙස කියන්නේ.

සිනමාපටයට අනුව රාජ්‍යත්වයට පුහුණු කරන අයෙකු සාමාන්‍ය කාන්තාවක සමඟ පෙමින් වෙළීමේ අවධානම් සහගත ප්‍රීතිය ඈ සමාන කරන්නේ උසස් සිතුවමක් ලෙස බිත්තියක රඳවා ඇති මොනාලීසාටය. ඔබව බැලීමට සිය දහසක් පැමිණ, ගියත් ඔබව වෙනත් තැනකට රැගෙන යාම අපහසු බව ඈ යළිත් කියයි. එහෙත් මේ සියලු තානාන්තර මැද අවසානයේ ඔබ මනුෂ්‍යයෙකු බව කියන්නේ ඔහු ප්‍රේමය පමණක් ?තෝරා ගත් බැවිනි. ඒ රාජ්‍යත්වය අලුයම ලූ කෙළ පිඬක් සේ ඉවත ලූ හෙයිනි. එහෙත් ප්‍රේමයේ ආයුෂ කෙතරම් කෙටිද? ඔවුන් අතර සාමාන්‍ය මිනිස් ජීවිතයකට ඉඩ තිබුණේ කොයි තරම් අල්පයක්ද? රජු ද මනුෂ්‍යයකු බව අවසන් විග්‍රහයෙන් කීවත් හේ රජුම නොවන්නේ නොවේද?

ගීතයේ වචන අතර රිඳුම් සහසක් ඇති වෙමින්, නැති වෙමින් යනු ඇසෙන්නේ ඒ නිසාම විය යුතුය. අතිශය හැඟීම්බර කටහඬක් මැඩෝනා සතු බව මම අවසන පසක් කර ගත්තේ මේ ගීතය ඇසීමෙනි. වචන එතරම් ප්‍රබල බව දැනුණේ මේ ගීතය ඇසීමෙන් ඉක්බිතිවය.

රාත්‍රියේ ඇවිදින සොරෙකු මෙන්
මා ඔබේ අසලම ගැවසෙමි
උත්කෘෂ්ඨ සිතුවම ඉදිරිපස සිටගමි
කිව නොහැක කෙතරම් වේදනාකාරීදැයි
උත්කෘෂ්ඨ සිතුවමක් හා පෙමින් බැඳීම

ළඟා විය නොහැකි, තාරකාවක් තරම් දීප්තියක් ඇතැයි සිතූ ඔහු සමඟ පෙමින් බැඳුණු ඈ තාරකාවක දීප්තියෙන්ම පිළිස්සී යන්නාක් මෙනි. තාරකාව අහසකට අයිතිව තිබෙනවා හැර පොළොවේ නිශ්චිත තැනක එල්ලා තැබිය අහෙකි නොවේ. එයට අයිති අසාමාන්‍ය එළිය විහිදීම පොළොවට තරම් නොවේ. පොළොවකට ඒ සා රශ්මියක් එකවර දරනු නොහැකි සේ ය.

මියුසික් ටෙලිවිෂන් හි බ්‍රැඩ්ලි ස්ටර්න් මාස්ටර්පීස් ගැන ලියූවේ මෙවන් දෙයකි.

'සින්දුවේ තියෙන කාව්‍යමය ගුණය වගේම ප්‍රභාවත් වාද්‍ය අලංකරණ නිසා මැඩෝනාට හදිසි සම්භාව්‍ය ගීතයක් ලැබෙනවා.' මියුසික් ටීවී හි තවත් නිර්වචනයකට අනුව 'මාස්ටස්පීස් යනු මැඩෝනාගේ පුරුදු සෘංගාරය මුසු ශෛලිය නොවේ. ඈ තමන්ගේ නිරුවත් කටහඬ හොයාගන්න සමත් වෙලා.'

එහෙයින්ම 69 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ හොඳම ගීතයට හිමි සම්මානය මැඩෝන දිනා ගන්නේ 'මාස්ටර්පීස්' ගැයීම වෙනුවෙනි.

අවසන විනාශ කළ නොහැකි කිසිවක් නැති හෙයින්

එසේ නම් අයිති කර ගත නොහැකි කිසිවක්ද තිබිය නොහැක. වෝලි වින්ත්‍රොප්ටද, වෝලීස් සිම්ප්සන්ටද එය එකය. ස්ත්‍රී ධූර්තයකු වූ වෝලිගේ සැමියා වෛද්‍යවරයෙකි. ඔහු තම බිරිය නොසලකයි. ඈ ගැබ්බරින් සිටින විට රාත්‍රී ආහාරය පමා වූවා යැයි කියමින් ඇගේ කුසට පහර දෙයි. ඇයට සැමියා වෙනුවෙන් ඉවසීමේ අති මහත් සීමාව ඉක්මවා යන්නේ මෘදු ආදරයක් දැකීමෙනි. වෙන්දේසිය පැවැත්වෙන ස්ථානයේ සේවයේ යෙදී සිටින මුර සෙබළෙකු ඈ හා මිත්‍ර වෙයි.

වඩාත් තදින් කැඩී බිඳී ගිය ඇයව වඩාත් මෘදුව පිරිමදියි. ඈ පිළිසකර කරවයි. ස්වකීය කුටුම්භය වෙනුවෙන් එතෙක් කල් ඉවසූ ඇය ස්වාමියා හැර යන්නට තීරණය කරයි. එහෙත් ඈ දකින්නේ ප්‍රේමය වෙනුවෙන් රජකම අත් හළ අතීත රජෙකි. ඔහුගේ මතක සටහන්ය. ඈ වෙනුවෙන් ඔහු කළ, කී දෑය. මේ අකාරුණික කාල දෙකක දෝලනය සිනමාපටය පුරා ප්‍රේක්ෂකයාට දනවන ශෝකයම 'මාස්ටර්පීස්' ගීතයේ විනාඩි 03 තප්පර 59ක කාලය විසින් අත්පත් කර දෙන්නාක් මෙනි.

ඔබ දුටු පළමු මොහොතේ සිට සියලු අන්ධකාරය ආලෝකයක් විය

අන්ධකාරය මහත් ආලෝකයක් වන්නේ නම් එතැන ප්‍රාතිහාර්යයක් තිබිය යුතුය. එසේත් නැත්නම් වහා ඇවිලෙන සුළු ප්‍රේමයක් තිබිය යුතුය. මේ ඇවිලෙන සුළු ප්‍රහර්ෂමත් ප්‍රේමයකි. ඔබට එය මඟහැර යාමට නොහැකි තරම්ය. ප්‍රේමයය, ප්‍රහර්ෂයය, අප්‍රමාණ ශෝකයය, එසැනින් ගුම් නඟන සතුටය. සියලු සංවේදනා එක මිටට ගුලිකර මම ඔබේ මුහුණට දමා ගසමි.

එක්කෝ ශෝක වෙව ! එසේත් නැත්නම් ප්‍රේමයට පත් වෙව!! ඒ සාපයකි. ප්‍රේමයට හිතැති මුවඟින් නැඟුණු ස්වල්ප වූ සාපයකි.