වර්ෂ 2015 ක්වූ ජූලි 02 වැනිදා බ්‍රහස්පතින්දා




හඳ මාමාට ආදරය කළ ළමා ගායිකාව චන්ද්‍රා කබ්රාල්

හඳ මාමාට ආදරය කළ ළමා ගායිකාව චන්ද්‍රා කබ්රාල්

* ආදරේ ඇයි පොඩි හඳ මාමේ

* වේවා ඔබ මගෙ සුදු අයියා

* තනිවම ඇයි මේ උදේ

දශක හයකට පමණ පෙර හඳමාමාව ගීතයකින් ආමන්ත්‍රණය කළ පුංචි නඟා ඔබට මතකද? ඊට මා පිළිතුරු සැපයීමට කලින් ඇය චන්ද්‍රා කබ්රාල් යැයි ඔබ එකවර කියනු නිසැකය. 1941 මැයි 28 වෙනි දින උපන් ඇය සම්පූර්ණ නාමයෙන් හඳුන්වා දෙතොත් ලොකු ලියනගේ චන්ද්‍රා කබ්රාල්ය. යොවුන් ගායකයන් පමණක් ශ්‍රේණි ගත කරන කාලයක ගුවන් විදුලියේ ළමා ගායිකාවක මිස ශ්‍රේණිගත ගායිකාවක් නොවූ චන්ද්‍රාගේ පියා එල්. ජෝශප් කබ්රාල් විය. ඔහු කිරිබත්ගොඩ ඉන්ධන පිරවුම්හලේ හා හිමාලි සිනමාහලේ ආරම්භකයාය. මව දෝන ජේන් කරලැයින් සෙනෙවිරත්න වූවාය. ඔවුන්ගේ පවුලේ බඩපිස්සී මේ චන්ද්‍රාය. උපතින්ම බෞද්ධ වුවත් ඇය අධ්‍යාපනය ලැබුවේ බම්බලපිටියේ ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයෙනි.

චන්ද්‍රා කබ්රාල් මුලින්ම ගායනයට සම්බන්ධ වූයේ පාසැල් අවදියේදීමය. ඇගේ ඥාති සහෝදරයෙක් වූ මර්වින් සී. කබ්රාල්ගේ සරළ ගී වැඩ සටහන්වලට සම්බන්ධ වීම පෙර කී පරිදි කුඩා වයසේම එනම් 1952 සිදු විය. මෙහිදී චන්ද්‍රාගේ ගායන හැකියාවන් දුටු ආනන්ද සරත් විමලවීර ඇයව ළමාපිටිය වැඩ සටහන් සඳහා සහභාගි කරවා ගනු ලැබීය. ළමා පිටියට ගායනය කළ ගීත අතරින් ප්‍රථමයෙන් තැටියට නැඟුණේ පිබිදෙන්න මල් කුමාරි ගීතයයි. ඊළඟට වේවා ඔබ මගෙ සුදු අයියා තැටියට නැඟුණාය. තුන් වෙනුවට ගිම්හානේ සන්ධ්‍යා වළා ගීතය සුසිල් ප්‍රේමරත්න සමඟ ගැයුවාය. වේවා ඔබ මගෙ සුදු අයියා යුග ගායකයා ඩී. ඩී. ඩැනී විය.

චන්ද්‍රා කබ්රාල්ගේ ගුවන් විදුලි ළමා ගීත ජනප්‍රියවීමත් සමඟම ඇයට ග්‍රැමෆෝන් ගීත ගායනයට ආරාධනා ලැබිණ. එම ඉල්ලීම ඉටු කිරීමට ආදරේ ඇයි පොඩි හඳ මාමෙ ගීතය ගායනය කළාය. එය එදා මෙදා ගීත ශ්‍රාවකයන්ගේ මතකයේ නිදන්ගත ගීතයකි. එහි සහාය ගායකයා කාන්ති වක්වැල්ල විය. පද රචකයා ආනන්ද සරත් විමලවීරය. සංගීතවත් කළේ වින්සන්ට් පෙරේරා විසිනි. එම තැටියේම දෙවන පැත්තේ තනිවම ඇයි මේ උදේ ගීතය ඇතුළත්ව තිබුණේය. එය සමනළයෙක් හා කුඩා දරුවෙකු අතර සංවාදයකි. සහාය ගායිකාව මල්ලිකා ද සිල්වා (කහවිට) වූවාය.

චන්ද්‍රා කබ්රාල් වරක් කියූ පරිදි විදෙස්ගතව සිටින බොහෝ ලාංකේය මව්වරු තම දරුවන් නලවා ඇත්තේ පොඩි හඳ මාමේ ගීතයෙනි. ඇයත් කැමැතිම ගීතයත් එයයි. මේ ගීතයන්ට අමතරව ගීත 100 ක් පමණ ගායනය කළ ඇයට ගීත වැඩිම සංඛ්‍යාවක් පබැඳුවේ ආනන්ද සරත් විමලවීර විසිනි. ඩී. ඩී. ඩැනී සමඟ වැඩි ගීත ප්‍රමාණයක් ගැයූ ඇගේ ගීත ඇසෙන කැසට්පටයක් හෝ සංයුක්ත තැටියක් නිකුත්ව නැත.

චිත්‍රපට පසුබිම් ගායිකාවක් ද නොවන චන්ද්‍රා සිය යුග දිවිය ඇරැඹුවේ නීතිඥ රාජා ගුණරත්න සමඟය. 1996 මියගිය ඔහුට හා ගිය සතියේ 25 වැනිදා ජීවිතයෙන් සමු ගත් ඇයට මාලිකා, ඉනෝකා නමින් දියණියන් දෙදෙනෙක් සිටිති. එකම පුතු රාජි නම් වෙයි. ඔවුන් සමඟ සරසවිය චන්ද්‍රා ගබ්රාල්ට නිවන් සුව පතමු.