වර්ෂ 2015 ක්වූ ජූලි 02 වැනිදා බ්‍රහස්පතින්දා




ඒක තමයි ලොකුම ප්‍රහසනය

ඒක තමයි ලොකුම ප්‍රහසනය

සාදය මාරයි සල්ලි හමාරයි තැනූ ධර්මපි‍්‍රය ඩයස් කියයි

මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළිය හා හොඳම නළුවා, හොඳම වේදිකා පරිපාලනය යන සම්මාන ත්‍රිත්වය දිනා ගන්නා ලද්දේ ධර්මප්‍රිය ඩයස්ගේ ‘සාදය මාරයි සල්ලි හමාරයි’ වේදිකා නාට්‍යයයි. ඔහුගේ පළමු වේදිකා නාට්‍යය වන ‘ගැහැනු වැඩ අරඹති’වලින් පසුව දෙවැනි වර වේදිකාවට රැගෙන එන ‘සාදය මාරයි සල්ලි හමාරයි’ අද ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකාගත වෙයි. ඒ පිළිබඳ ධර්මප්‍රිය ඩයස් සමඟ සරසවිය කළ සාකච්ඡාවකි.

* ‘සාදය මාරයි සල්ලි හමාරයි’ සඳහා ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මගේ ‘සාදය මාරයි සල්ලි හමාරයි’ නාට්‍යය සාර්ථක ලෙස වේදිකා ගත වෙනවා. මේ දවස්වල නාට්‍යයත් සමඟ රට වටේම යන ගමන් ලැබෙන ප්‍රතිචාරත් බොහොම හොඳයි. ඊට අමතරව ‘ගුටිකෑමට නියමිතයි’ වේදිකා නාට්‍ය යේ රඟපාන ගමන් රාජිතගේ ‘සිහින හොරු අරං’, ‘ජයසිරිට පිස්සු’ කියන නාට්‍යවල පුහුණුවීම් කටයුතුත් කෙරෙනවා.

* ‘සාදය මාරයි සල්ලි හමාරයි’ නාට්‍යය කරන පසුබිම ඔබගේ සිතේ නිර්මාණය වෙන්නේ කොහොමද ?

මම මේ නිර්මාණය කරන්න සිතාගෙන ඉන්නේ 1995 වසරේදි. ඒ බන්දුල විතානගේ කළ ‘රෝමය ගිනි ගනී’ කියන නාට්‍යයට සම්බන්ධ වීමත් සමගයි මට මේ අදහස ඇති වන්නේ. නලින් මාපිටිය අපව සම්බන්ධ කළ මේ නාට්‍යයේ සුමින්ද සිරිසේන, රත්නා ලාලානි ඇතුළු නළු නිළියන් රැසක් රගපෑවා. ඊට මා සහභාගි වුණේ සහය වේදිකා පරිපාලක කෙනෙක් ලෙසයි.

ඒ වගේම නාට්‍ය පුහුණු විම්වලදි පොම්ට් කළේ මමයි. එතැනින් ආරම්භ වුණු දා පටන් එය මහජන ප්‍රදර්ශනය දක්වාත් එතැනින් එහාටත් මා බොහෝ අත්දැකීම් ලැබුවා. ඒ අත්දැකීම් ඔස්සේ ලැබුණුදේත් සමඟ නාට්‍යයේ කියැවෙන දේ වැටහුණාට පස්සේ දැනුණු දේත් සමඟ මේ නිර්මාණයට පුදුම අශාවක් තමයි මගේ සිතේ ඇතිවුණේ. එදයි මම තීරණය කළේ මමත් මේ රේකූනි කියන නාට්‍යකරුවාගේ නාට්‍යයක් කරනවා කියලා. ඒ අදහසයි මා 2014 වසරේදී සඵල කර ගන්නේ. ඒ වගේම මම ප්‍රහසනයටත් දක්වන්නේ දැඩි කැමැත්තක්. මේ නිසා මම රේකූනිගේ ‘ෆනී මනී’ කියන නිර්මාණය අනුවර්තනයක් ලෙස රැගෙන එනවා.

* මේ නිර්මාණය වේදිකා ගත කරන්න මේ තරම් කාලයක් ගියේ ඇයි ?

මම හිතන්නේ යමක් හරියට නිර්මාණය කරන්න නම් ගොඩක් අත්දැකීම් අවශ්‍යයයි. ඒ අත්දැකීම් ලබා ගනිමින් නියම කාලයට මා මේ නිර්මාණය වේදිකාවට රැගෙන පැමිණියා.

* නමුත් ඔබ මීට පෙර කළ ‘ගැහැනු වැඩ අරඹති’ වේදිකා නාට්‍යය නැරැඹූ කෙනෙක් ඔබට ඔය තරම්ම අත්දැකීම් අවශ්‍ය යැයි සිතන්නේ නැති තරම් ?

මේකත් කරන්න අපහසු නිර්මාණයක්. ඒත් බැලූ බැල්මටම කෙනෙකුට සිතෙන්න පුළුවන් මේකත් ඒ තරම්ම කරන්න අපහසු නාට්‍යයක් ද කියලා. ‘ගැහැනු වැඩ අරඹති’ වගේම මේ නිර්මාණයත් කරන්න ලේසි එකක් වුණේ නැහැ. ජයනි, ගිහාන්, ගිරිරාජ් ඇතුළු නළු නිළියන්ගෙන් ඔබට ඒ ගැන විමසුවොත් දැන ගන්න පුළුවන්. මන්ද මේ චරිත වටහා ගන්න ඒ පරිසරය වටහා ගන්න විඳපු දුක මතක් වනවිටත් ඒක අමාරු කාලපරිච්ඡේදයක්. ඒ තරමටම අවසන් ප්‍රතිඵලය ලැබෙනතුරු අපි සියලු දෙනාම මේ කටයුත්තට මහන්සි වුණා. නමුත් වැඩේ පත්තු වුණාට පස්සේ නම් බොහොම සුන්දර අත්දැකීමක් බවට එය පත්වුණා. ඒකයි කතන්දරේ.

* ඔබගේ නිර්මාණය වේදිකා ගත වෙන්නේ ප්‍රහසනාත්මක යැයි කියා ගන්නා නාට්‍යය රැල්ලේ උපරිමයට පැමිණිය කාලයේ.

විහිළු හා ප්‍රහසන නාට්‍ය කියන්නේ දෙකක්. ඒ නිසා මම දන්න තරමින් ප්‍රහසන නාට්‍යය වේදිකාවට ගෙනාවේ අපියි. ඒ නිසා අපට ඔය රැල්ල ප්‍රශ්නයක් වුණේ නැහැ. අනික් එක තම තමන් නාට්‍ය කරන්නේ තම තමන්ගේ නැණ පමණින්නේ. ප්‍රහසනාත්මක නිර්මාණ ගැන කතා කරන විට අර්ථාන්විත ප්‍රහසනත් වේදිකාවේ නැතිවාම නොවෙයි. ඒ අතර ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ එක්කෝ ගැහැනියෙක් විදියට පිරිමි ඇඳලා කරන දේටත් නැත්නම් දෙමළ කෙනෙක් සිංහල කතා කරන විදියට හෝ සිංහල කෙනෙක් දෙමළ කතා කරන විදියට සිනහ වීමයි. එහෙමත් නැත්නම් මනුෂ්‍යයෙක්ගේ ශාරීරික, මානසික ආබාධයකට සිනහ වීමටයි අපේ අය පුරුදු වෙලා තිබෙන්නේ. එහෙම නැත්නම් සංස්කෘතිය පැටලුණාමත් අපේ අය සිනහ වෙනවා. ඒ දේවල් නොවෙයි මම දන්න අර්ථාන්විත ප්‍රහසනය කියන්නේ. සැබෑ වූ මිනිසුන් සැබෑ නොවූ අත්දැකීම්වලට මුහුණ දුන්නට පස්සේ ඇති වන පරිසරයයි සැබෑ ප්‍රහසනයෙන් මතු කරන්නේ.

* මේ රැල්ලෙන් ඔබගේ නාට්‍ය වෙනස් වෙන්නේ කොහොමද ?

‘සාදය මාරයි සල්ලි හමාරයි’ නාට්‍යයේ මම කලින් කිව්ව එකක්වත් නැහැ. අපේ නිර්මාණය ඔස්සේ විහිළු මතු කරන්න ඕනය කියලා අපි බලෙන් විහිළු මතු කරන්නේ නැහැ. එමෙන්ම මේ නාට්‍යයේදි යම්කිසි ආණ්ඩුවක් තිබෙන විට ඒකට ගැළපෙන්නත්, ආණ්ඩුව නැති වුණාට පස්සේ ඒකට හරි නොයන්නත් නිර්මාණය වුණු නාට්‍යයක් නොවෙයි. ඒ වගේම මේ නාට්‍යය යම් යම් දේශපාලනඥයන්ගේ ගොන් කතාවක් ඉස්මතු වෙන්න නිර්මාණය කළ නාට්‍යයකුත් නොවෙයි. මේ නිසා ඕනෑම කාලයකදි මේ නිර්මාණය නරඹන්න පුළුවන්. අවස්ථාව මතයි මෙහි ප්‍රහසනය මතු වන්නේ.

* රාජ්‍ය නාට්‍ය උලෙළේදි ඔබගේ නාට්‍යයටත් සම්මාන කිහිපයක් හිමි වෙනවා. ඒ ගැන මොකද සිතෙන්නේ?

ඒ ගැන මට සතුටුයි. ඒ මගින් නළු නිළියන් විදියට, එහි ශිල්පීන් විදියට අපට යම් උත්වේජනයක් ලැබුණා. අනෙක් පැත්තෙන් රටේ සිටින අනෙක් පිරිසට අපේ නාට්‍යය ගැන අවධානයක් යොමු වෙනවා.

* ඔබගේ නිර්මාණයට නළු නිළියන් තෝරා ගනු ලබන්නේ ජනප්‍රියත්වය කියන පදනම සලකලාද?

මමත් සමඟ අවුරුදු විස්සක් පමණ එකට වැඩ කළ පිරිසකුයි මේ නිර්මාණයට තෝරා ගන්නේ. ගිහාන්, ජයනි, දයාදේව, ගිරිරාජ්, ප්‍රේම් ජයන්ත්, අනුරාධ පෙරේරා ඇතුළු පිරිස ගැන මා දන්නවා. ඊට අමතරව අපේ දන්න අය සිටියත් ඒ පිරිස අතරින් තමයි මේ නාට්‍ය කණ්ඩායමට අවශ්‍ය පිරිස තෝරා ගන්නේ. ජනප්‍රිය අය ගන්නවා නම් ඊටත් වඩා ජනප්‍රිය තරු සංකල්පයේ අය ලංකාවේ ඉන්නවා. එහෙම අය ගන්නේ නැතිව වැඩක් කරන්න පුළුවන් අයයි මීට මා තෝරා ගත්තේ. මෙහි ජනප්‍රිය කිහිපදෙනෙක් සිටියත් අනෙක් අයව බොහෝදෙනාව හඳුනන්නේ නැහැ.

* ඔබ ඔය කියන තරම් ප්‍රහසනයක් ඔබගේ නාට්‍යයේ නොමැති බවට ප්‍රේක්ෂකයන් චෝදනා කළොත් ඔබ කුමක් ද පවසන්නේ?

ඒක තමයි ලොකුම ප්‍රහසනය වන්නේ. ඒක තමයි අලුත්ම ප්‍රහසනය වන්නේ.

* කතාවෙන් කියැවෙන අරුත ඒ අයුරින්ම නාට්‍යය ඔස්සේ හොඳීන් විදහා දැක්වෙන බවක් ඔබ සිතනවා ද?

අනිවාර්යයෙන්ම. මුලින්ම අධ්‍යක්ෂවරයෙක්ගේ සිතේ මැවෙනවා නේ මේ නාට්‍ය කොහොමද වෙන්න ඕන කියලා. ඒ වගේම චරිත රඟ දක්වන්නේ, කොහොමද මේ අවස්ථාව නිරූපණය කරන්න ඕන කියලා. මම සිතන්නේ රාජ්‍ය නාට්‍ය උලෙළේ අන්තිම දවසේදි මා සිතාගෙන සිටිය, මගේ සිතේ ඇඳුණ හැමදේම සියයට සියයක්ම ඔවුන්ගේ රංගනයේ තිබුණු වග මට හැඟුණා.

* මේ නිර්මාණයත් අයත් වන්නේ දේශපාලන ප්‍රහසන ගණයට ද?

මේක සැබෑ මිනිස්සු සැබෑ නොවන අත්දැකීම්වලට මුහුණ දුන්නාට පස්සේ ඇතිවන ප්‍රහසනයක්. සාමාන්‍ය මිනිස්සු මුදල් ඉදිරියේදි අසාමාන්‍ය දේවල් කරන්නට පෙලඹෙනවා. එතැනදි දේශපාලනය නැහැයි කියලා කාටවත් කියන්න බැහැ. අනෙක එතැන දේශපාලනය හඳුනා ගන්න නාට්‍යකරුවා මෙන්ම එය නරඹන අයටත් හැකිවිය යුතුයි. එය කිය කිය යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ තේරුම් ගැනීමේ ශක්තියක් ඔවුන්ට තිබිය යුතුයි. මොළය තිබෙන සමහරු එය ඕනකමින් වහගෙන සිටින බවක් අපට හැඟෙනවා. එතකොටත් ඒක තේරෙන්නේ නැහැ.

* ඔබගේ නිර්මාණයේ ඉන්නේ විවිධ මාධ්‍යවල සැරිසරන රංගන ශිල්පීන් පිරිසක්. ඔවුන්ගෙන් නාට්‍ය වේදිකා ගත කිරීමට දින ලබා ගැනීමේදි ගැටලු පැන නැගිලා තිබෙනවද?

මගේ නාට්‍යයේ ශිල්පියෙකුත් මගෙන් අහනවා ඇයි ඔයා මේ තරම් මේ නාට්‍ය දුවන්න පුළුවන්කම තියාගෙනත් මාසයකට දර්ශන කිහිපයක් කරන්නේ කියලා. ඉස්සර කාලේ මම අහලා තියෙනවා නාට්‍ය බස් එකට නැග්ගට පස්සේ ගෙදර එන්නේ මාසේ අන්තිමට කියලා කියන කාරණය. ඊට පස්සේ ඒ ඔය කියන නාට්‍යවල ශිල්පීන් රස්සාවත් නැතුව ගෙදරට වෙලා අනාත වෙලා ඉන්න විදියත් මම දැකලා තියෙනවා. මොකද ඔවුන් නාට්‍යය වෙනුවෙන් රස්සාව අතහැරලා ආවත් නාට්‍ය පෙන්වන්නේ සීමිත කාලයයි. නාට්‍යය නැවතුණාට පස්සේ ඔවුන්ට ගෙදර ඉන්න සිදුවෙලා. ඒ නිසා ඔවුන්ට ආයෙත් හැරෙන්න බැහැ.

එහෙම තත්ත්වයක් ඇති වෙන්න ඉඩක් නිර්මාණය කරන්න මට බැහැ. එහෙමත් නැත්නම් මම එකතු කරගෙන ඉන්න ශිල්පීන් විවිධ ක්ෂේත්‍රවල විවිධ දක්ෂතා දක්වන විවිධ ඒවායේ වැඩ කරන අයයි. ඔවුන්ටත් ඒ වැඩ කරගෙන යන්න අවස්ථාවක් දෙන්න ඕනෑ. මගේ නාට්‍යය පෙන්වන්න මට දින දෙන්නේ නැහැ, මුන් නිසා මගේ නාට්‍යය පෙන්වන්න විදියක් නැහැ කියමින් ඔවුන්ට එවැනි චෝදනා නගන්න මම කැමැති නැහැ. මේ ශිල්පීන් මගේ නාට්‍යයේ වගේම අනෙක් නිර්මාණවලත් වැඩ කරන්න ඕනෑ. ඒ නිසා ඒ අයට අප ගෞරව කළ යුතුයි. මේ දින ප්‍රශ්නය නිසා මගේ නාට්‍ය දුවන්න වෙන්නේ නැහැ කියමින් වෛරයෙන් ඉන්න අධ්‍යක්ෂවරු මට ඕනෑ තරම් මුණ ගැසිලා තිබෙනවා. සමහර අය සමහර තැන්වලදි මගේ කොලර් එකෙන් අල්ලපු අවස්ථාත් තිබුණා. ඒක එහෙම වුණත් නිතරම මා කල්පනා කරන්නේ අනෙක් ශිල්පීන්ගේ ඒ කටයුතුවලට තැන දෙමින් මගේ නිර්මාණය වේදිකා ගත කිරීම පිළිබඳයි. ඒ නිසා මට හදිසියක් නැහැ.

* නැවතත් ඔබ වේදිකා නාට්‍යය නිර්මාණයක් රැගෙන එන්න බලාපොරොත්තුවෙන් ද ඉන්නේ ?

ඕනෑම නාට්‍යකාරයෙක් පුහුණුවීම් කරන කාලයේ දි ආයෙත් නම් නාට්‍යයක් කරන්නේ නැහැ කියලා හිතෙන කාලයක් එනවා. මේ නාට්‍ය ගැන ඇහුව බොහෝ අය කියලා තිබුණ දෙයක් තමයි ඩයස් ඔය නාට්‍ය කරන්නේ නැහැ මගදි ඇතහැරලා දානවා කියන කාරණය. දැන් මම මේ නාට්‍යයේ ඒ අසීරු කාලපරිච්ඡේදය පසු කරලයි තිබෙන්නේ. ඒ නිසා බොහොම සැහැල්ලුවෙන් තමයි අප සියලු දෙනාම කටයුතු කරන්නේ. සංවිධායකවරයා පවා ඉන්නේ සැහැල්ලුවෙන්. නැවතත් නාට්‍යයක් කරන්න යම් බලාපොරොත්තුවක් තියෙනවා. දැන්ම නොවෙයි. මේ නාට්‍යය තව ටික කාලයක් පෙන්වලා හුස්මක් අරගෙනයි ඒ කටයුත්තට සූදානම් වෙන්න මා සිතාගෙන ඉන්නේ. මේ ශිල්පීන් එක්කත් වෙන්න පුළුවන්. කොහොමත් ඔවුන්ට ප්‍රමුඛ තැන හිමි වෙනවා. නැත්නම් තව අය ඕන නම් දක්ෂතාවක් තියෙන, අපිත් සමඟ වැඩ කරන්න කැමැති අයත් සමඟ වැඩක් කරන්න සිතාගෙන ඉන්නවා.