වර්ෂ 2015 ක්වූ ජූලි 02 වැනිදා බ්‍රහස්පතින්දා




රඟපෑමේ තරම ගැන ලේ වලින් සාක්කියක්....

රඟපෑමේ තරම ගැන ලේ වලින් සාක්කියක්....

ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ දන්න කියන නිවේදන කටයුතු කරගෙන ඉන්නෙ නැතුව රඟපාන්න ඇවිල්ලා කර ගත්තු හදියක්. මෙහෙමයි ඉතින්. මීට කලින් ශ්‍රීමත් මහලොකුවට රඟපෑවෙ නැති වුණත් හැකි පරිදි ඉඩ ලැබෙන පරිදි රඟපෑවා. ඒ වුණාට ප්‍රබල චරිතයක් නම් ලැබුණෙ නැහැ. ඔහොම ඉන්නකොට සංජය නිර්මාල්ගෙ වස්සාන ප්‍රේමය ටෙලි සිතුවටම එකතු වෙන්නටයි කියලා ශ්‍රීමත්ට ආරාධනා ලැබිලා.

එහි පුවත්පත් කර්තෘ කෙනෙකුගේ චරිතයකටයි ඔහුට කතා කරලා තියෙන්නෙ. ශ්‍රීමත් කලක් පුවත්පත්වලටත් එකතු වෙලා හිටිය නිසා මෙය මහාලොකු බැරෑරුම් චරිතයක් වුණේ නැහැ ඔහුට. ඉතින් දැන් ශ්‍රීමත් මේ චරිතය රඟපාලා ලැබෙන ප්‍රතිචාරත් හොඳයිලු. ඔන්න ඔහොම කාලය ගතවෙද්දි ශ්‍රීමත්ට සිදුවුණාලු තමන් ඇතුළු පුවත්පත් ආයතනය මැර ප්‍රහාරයකට ලකවන දර්ශනයක් කරන්න.

එදා ශ්‍රීමත් සැදී පැහැදී ඉඳලා ඒ සීන් එක තාත්විකව කරන්න. දැන් මැරයො කන්තෝරුව වටකරලා. ශ්‍රීමත් තමන්ට අධ්‍යක්‍ෂවරයා පැවසූ අන්දමට රඟපානවලු. ඔය අතරේ තමයි මැරයො පහර දෙන දර්ශනයකුත් තියෙන්නෙ. වටකරපු මැරයො ශ්‍රීමත්ට ගහලා. කෙසෙල් කඳක් වගේ ශ්‍රීමත් වැටිලා. දර්ශනෙත් හොඳට රූපගත වෙලා. අවසානයේ රූගත කිරීම් බලාගෙන හිටපු කෙනෙක් ශ්‍රීමත් ළඟට ඇවිත් කිව්වලු ‘මහත්තයා නියමෙට රඟපෑවා. ලේ එන එකත් හොඳට තිබුණා’ කියලා.

ලේ, කොහෙද ලේ?

ශ්‍රීමත් කලබල වෙලා අහලා.

ඇයි මහත්තයෝ ඔය ඔළුව පිටිපස්සෙ ලේ තියෙන්නෙ. මේකප් එක නම් නියමයි ඈ..

එතකොටම ශ්‍රීමත් පටස්ගාලා ඔළුව අතගාලා. මෙන්න බොලේ කිව්වත් වගේම ඔළුවෙ ලේ. බැලින්නම් අර වුටුණු වැටිල්ලට ශ්‍රීමත්ගෙ ඔළුව වැදිලා ලේ එන තරමටම. ශ්‍රීමත්ගෙ ඔළුවෙ ඒ තිබිලා තියෙන්නෙ ඇත්තම ලේ.