වර්ෂ 2015 ක්වූ ජූලි 02 වැනිදා බ්‍රහස්පතින්දා




දිනුම් කණුව ළඟ දවස පුරා

දිනුම් කණුව ළඟ දවස පුරා

පසුගිය දා අභාවප්‍රාප්ත වූ ටෝනි රණසිංහයන්ගේ අවමඟුල් උත්සවය දා ප්‍රේමදාස විතානගේ තවත් යාළුවකු සමඟ බර කතාවක්. ප්‍රේම් කියනවා මෙන්න මෙහෙම.

මට ටෝනි මහත්තයාව හමු වුණේ දිනුම් කනුව චිත්‍රපටයේ.

යාළුවා ‘ඉතින්’ කියලා කියනවා මං අහගෙන.

ඒ චිත්‍රපටයේ ටෝනි මහත්තයත් එක්ක මට රඟපාන්න අවස්ථාව උදාවුණා.

ප්‍රේම්ගෙ කතාවට යාළුවා ඉතින් කියලා කිව්වා.

යාළුවගෙ ඉතින් කියන වචනෙ අහගන්න බැරිකමට ප්‍රේම් දිගටම කතාව ගෙන ගියා.

දිනුම් කනුව චිත්‍රපටයේ ටෝනි රණසිංහ වාඩිවෙලා හිටපු මේසෙට අනෙක් පැත්තෙ මං හිටියෙ. මං ඕක මගෙ හඳුනන යාළුවො හැමෝටම කිව්වා. ඒ කාලෙ ටෝනි හරිම ජනපි‍්‍රයයි. මං ටෝනිත් එක්ක රඟපෑවා කිව්වාම සමහරුන්ට අදහගන්නත් බැරි වුණා. ඒ හින්දම මං ඔවුන්ව එක්කගෙන ගියා දිනුම් කනුව බලන්න. මං හිටපු දර්ශනය තත්පර කිහිපයකට එඩිට් වෙලා. ‘අන්න මම’ කියන කොටම දර්ශනය මැකී යනවා.

අන්තිමේ 10.30 යි 2.30 යි 6.30 යි කියන දර්ශනවාර තුනම යාළුවන්ට පෙන්නන්න සිදු වුණා මාව හොයන්න. කොහොම හරි 6.30 දර්ශනයට මගෙ කවුදෝ යාළුවෙක් මාව දැකලා චිත්‍රපටයෙ ඉන්නවා. ඒ යාළුවට පින් සිද්ධවෙන්න මට පුළුවන් වුණා දිනුම් කනුවෙ මං ඉන්නවා කියලා ඔප්පු කරන්න. ඒ හින්දා යාන්තම් 6.30 දර්ශනයෙන් පසු ගෙදර එන්න මට පුළුවන් වුණා. නැත්නම් තවම මං හෝල් එකේ.