වර්ෂ 2015 ක්වූ ජූලි 02 වැනිදා බ්‍රහස්පතින්දා




ලොතරැයි දිනුම දවස් තුනෙන් නැති කළ ජෝති...

ලොතරැයි දිනුම දවස් තුනෙන් නැති කළ ජෝති...

ප්‍රවීණ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ ජෝති මතකය අතර...

එදා මෙදාතුර ශ්‍රී ලංකාවේ බිහි වූ ජනප්‍රියතම ගායන ශිල්පියා එච්. ආර්. ජෝතිපාලය. එය කිසිවකුට අභියෝග කළ නොහැකි, බොරු කළ නොහැකි පරම සත්‍යයකි. ජෝති මෙලොව හැර ගියේ මෙයින් විසි අට වසරකට පෙරාතුවය. එහෙත් ඔහුගේ ආදරණීය රසික කැළ තවමත් ජීවත් වන්නේ ඒ උන්නමාදනීය මියුරු හඬ සමඟිනි. එහෙයින්ම ජෝති අමරණීය කලාකරුවකු වේ.

මුළු රටක් වසඟ කළ, රටක් ආදරය කළ එවැනි මහා කලාකරුවකු හා සමීපව ඇසුරු කරන්නට යමෙකුට හැකි වන්නේනම් ඒ පූරුවේ පිනක්ම විය යුතුය. එවන් ජීවිතයක දුක්, දොම්නස් හා තුටු, හසරැළි අතර සැරිසරන්ට ඒවා පත් ඉරු මත අකුරු කරන්නට කෙනෙකුට අවස්ථාවක් ලැබේ නම් එය කෙතරම් සොඳුරු අත්දැකීමක් වනු ඇතිද?

ප්‍රවීණ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ ඒ පින් මහිමය ලද වාසනාවන්තයෙකි. ජෝති ගැන බොහෝ දෙනා නොදත් බොහෝ දෑ ඔහු දනියි. ඒ මතකයන් තවමත් ඔහු හදවතේ ජීවමානය. එයින් බිඳක් 'සරසවිය' පාඨකයන් වෙත ඔහු රැගෙන එන්නේ සිය ජීවන ගමන් මඟෙහි හමු වූ ඒ ආදරණීය සඟයාට, අපූර්ව මිනිසාට උත්තමාචාරයක් ලෙසිනි.

ජෝති මුලින්ම හමු වුණ දා මට තවම මතකයි. ඒ වෙන කොට මම ගාල්ලේ මහින්ද විද්‍යාලයේ අධ්‍යාපනය හමාර කරලා ඔය පත්තරවලට නිදහස් ලේඛකයකු විදියට ලියන කාලේ. රුපියල් විසි පහක් වගේ ලැබෙනවා ලිපියකට. ඒක ඉතින් හරි වටිනවා. ඔය කාලේ මගේ සිත තදින්ම නැඹුරු වෙලා තිබුණා සිනමාවට, සංගීතයට. කිසිම කලාකරුවකුට, කලාකාරියකට ගාල්ලට එන්න බෑ මගේ ඇස් දෙකේ නොගැටී.

දවසක් තිබුණා 'ගීත මිහිර' කියලා සංගීත ප්‍රසංගයක් ගාල්ල නගර ශාලාවේ. මොහිදීන් බෙග්, ධර්මදාස - ලතා වල්පොල, පුෂ්පරාණි ආරියරත්න වගේ ගායක, ගායිකාවෝ ඒ ප්‍රසංගයට ආවා. ජෝතිත් ආවා. 2.00 ට සහ 6.00 ට ප්‍රසංග දෙකක් තිබුණා. ඒ දෙකම මම බැලුවා. කට කපලා සෙනඟ. මගේ යාළුවෙකුත් හිටියා ධර්මසිරි වේවැල්වල කියලා. අපි දෙන්නා තමයි ඉඩ්ර්‍ණඑ එක බලන්න ගියේ.

ඇත්තටම ජෝති තමයි එතකොට මගේ ප්‍රියතම ගායකයා. මට ඕනෑ වුණේ ජෝති හමුවෙලා වචන කීපයක් කතා කරන්න. ප්‍රසංගය ඉවර වෙලා හැම තැනම හෙව්වත් ඔහු පේන්න හිටියේ නෑ. එකපාරටම මගේ මිත්‍රයා කිව්වා 'මචං වඩූ අර ඉන්නේ ජෝති අයියා නේද?' කියලා. බලන කොට ටවුන් හෝල් එක අද්දර තිබුණ තාප්පයක් උඩ වාඩිවෙලා දෙන්නෙක් ඉන්නවා. එතන ටිකක් කළුවරයි. කිට්ටු වෙලා බලපුවම තමයි දැක්කේ ඒ හිටියේ ජෝතිපාල සහ කරුණාරත්න අබේසේකර. දැන් මගේ හිසේ මලක් පිපුණා වගේ. අතේ තිබුණ සමරු පොත කරු අයියාට දික් කළේ හරිම සතුටකින්.

'ගාලු පුරේදී කළුවර සඳ නැති රෑක
තාප්පය උඩ ඉඳන් ලිව් දෙපදකි මේක'

කරු අයියා සමරු පොතේ සටහනක් තැබුවේ ඒ විදිහට. ඒ අතුරතුර ජෝති අයියා මා එක්ක කතාවට වැටුණා. මගේ තොරතුරු විමසලා ඔහු ඇහුවා 'ඉතින් මොනවද දැන් කරන්න හිතාගෙන ඉන්නේ' කියලා. 'පත්තරකාරයෙක් වෙන්න' මම මගේ අවිහිංසක ප්‍රාර්ථනාව ජෝති අයියාට හෙළි කළා. 'පත්තරකාරයෙක් වෙන්න. පිස්සුද පත්තර කර්තෘ කෙනෙක් වෙන්න මල්ලී. හැබැයි ඔන්න එදාට මේ ජෝති අයියා ගැනත් මොන මොනවා හරි ලියන්න ඕනෑ' කියලා ජෝති අයියා එවලේ මට විහිළුවට වගේ කිව්වා. ජෝති එදා නිකමට වගේ කියූ දේ පසු කලෙක යථාර්ථයක් බවට පත් වුණා. ඔහුගේ ජීවිත කතාව ලියූ ලංකාවේ එකම මාධ්‍යවේදියා වීමේ වාසනාව ලැබුණේ මට.

ජෝති බැලූ බැල්මට පේන්නේ හරිම විනෝදකාමී, සරල චරිතයක් විදිහට. කාටත් විහිළු කරලා, සැහැල්ලුවෙන් හිටපු කෙනෙක් විදිහට. යාළුවෝ පිරිවරාගෙන, මධු සාද පවත්වමින් විනෝදෙන් හිටියට ඔහු ඉතා ආදර්ශමත් චරිතයක්. අනුන්ගේ දුකේදී පුදුම විදිහට උණුවෙන සංවේදී හිතක් ජෝතිට තිබුණේ. ඒ වගේම ඔහු ප්‍රතිපත්තිගරුකව ජීවත් වුණ කෙනෙක්.

ජෝති ක්ෂේත්‍රයට ආ මුල් කාලේ එක්තරා ගීත පටිගත කිරීමකට ඔහුට යන්න සිදු වුණේ ප්‍රවීණ ගායක, ගායිකාවන් කීප දෙනෙක් එක්ක වෑන් රථයක. වෑන් එකේ පිටිපස්සේ බිම වාඩි වෙන්න වුණේ ජෝතිට ඉඩමදි නිසා. අනෙක් ආර්ටිස්ලාගේ දෙපතුල් ළඟ. එහෙම එන කොට තොටළඟ නැවැත්තුවා වෑන් එක. හිස් බෝතල් හතරක් දීලා එක්තරා ජනප්‍රිය ගායකයෙක් ජෝති යැව්වා ළඟ තිබුණ තැබෑරුමට අරක්කු ගෙනෙන් කියලා. ඔහු ඒක කළේ කිසිම පැකිලීමක් නැතිව. මොකද ජෝතිගේ මනසේ නිතරම වැඩ කළේ ජනප්‍රිය ගායකයෙක් වීමේ සිහිනය. ඒ වෙනුවෙන් ඔහු ඕනෑම දුක් ගැහැටක් විඳ දරා ගත්තා.

එක්තරා චිත්‍රපටයක ගී ගැයීම සඳහා ජෝති තෝරා ගෙන තිබුණා. ගීතය පටිගත කිරීමෙන් පසුව චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සහ සංගීත අධ්‍යක්ෂවරයා ඔහුට සුබපැතුවේ 'බොහොම හොඳයි පුතා' කියලයි. චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන දවසේ ජෝති තමන්ගේ මිතුරන් පිරිසක් එක්ක ගියා එය නරඹන්න. දැන් මේ ගායකයා දොරට වඩින දවසනේ. ඒත් මංගල දර්ශනයට ආරාධනාවක් ලැබුණේ නෑ. කොහොම හරි දැන් ජෝති මිතුරු පිරිස සමඟ ගැලරියේ ඉඳන් චිත්‍රපටය නරඹනවනා. නාමාවලියේ ජෝතිගේ නම සඳහන්ව නොතිබූ නිසා 'කෝ බං ටයිටිල් එකේ උඹේ නම නෑනේ' කියා එක මිතුරකු විමසද්දී ජෝති පිළිතුරු දුන්නේ 'හරි බං, නම නැති වුණාට සිංදුව තියෙනවානේ. දැන් හෙට ඉඳන් මම ගැන විස්තර පත්තරේ යන්නේ නැතෑ' කියලයි. චිත්‍රපටයේ කොතැනකවත් ජෝතිගේ සිංදුවක් තිබුණේ නෑ. ජෝති එදා පටිගත කළ ගීතය එවකට ඉතාමත් ජනප්‍රිය තලයේ හිටපු ගායකයෙක් විසින් ගායනා කරලා.

සිය දිවි නසා ගන්නවා නම් ඒ කාරණය ජෝතිට හොඳටම ප්‍රමාණවත්. හැමෝටම කියලා, බලාපොරොත්තු තියාගෙන, මෙච්චර දුක් විඳලා, අනුන්ට අරක්කු ඇදලා ආපු ගමනේ ප්‍රතිඵලය වුණේ ඒකයි. ඒත් ජෝතිගේ හදවත එයින් සසල වුණේ නෑ. තිර අදිටනින් යුතුව ඔහු තමන්ගේ ප්‍රාර්ථනා, බලාපොරොත්තු මුදුන් පමුණුවා ගන්න උත්සුක වුණා.

ජෝතිගේ කුඩා කාලය ගෙවුණේ ගොඩක් අගහිඟකම් මැද්දේ. තාත්තා ටේලර් කෙනෙක්. අම්මා වැඩ කළේ මැක්වුඩ්ස් එකේ. එයාට හම්බ වෙන කෑම වේල ගෙනල්ලා දරුවන්ට දෙනවා . එහෙම දරිද්‍රතාවයෙන් ගෙවුණු කාලයක් ඔහුට තිබුණා. ඒත් පස්සේ කාලේ ජෝති යාචකයන්ට පවා බුරියානි ගෙනත් දුන්නා කියා මම දන්නවා. එහෙම ජෝතිපාල කෙනෙක් තමයි අපිට හිටියේ.

ඒ කාලේ තිබුණා සත පනහේ චාන්ස් කියලා ලොතරැයියක්. අර 'සත පනහ' කියන චිත්‍රපටයක් එහෙමත් ආවේ. රුපියල් ලක්ෂයයි පළමුවැනි දිනුම. දෙවැනි දිනුම හතළිස් දාහයි. ලක්ෂය කියන්නේ අද කෝටියක් වගේ. හතළිස් දාහක් කියන්නේ ලක්ෂ හතළිහක් වගේ. ජෝතිට ඇදුණා ස්වීප් ටිකට් එකක්. දෙවැනි දිනුම රැපියල් හතළිස් දාහ. එතකොට 'සරසවිය' සත පහළොවයි. ප්ලේන්ටිය සත පහයි. පෙට්‍රල් ගැලුම ශත තිස් පහයි. රුපියල් හතළිස් දාහක් කියන්නේ ඒ කාලේ කෙනෙකුට මුළු ජීවිත කාලෙටම සෑහෙන මුදලක්. ඒ මුදල දවස් තුනෙන් ඉවර වුණාලු කට්ටියත් එක්ක පාටිම දාලා.

එක සතියක් ඇතුළත ජෝති චිත්‍රපට ගීත දහ අටක් පටිගත කළා. ඒ දහ අටම සුපර් හිට් වුණා. ඒ කියන්නේ එච්චර ඉල්ලුමක් තිබුණා. එක රැයකදී රුපියල් විසිපන් දාහක්, තිස් දාහක් වියදම් කරලා ජෝතිපාල ගෙදර එන්නේ සතයක්වත් නැතිව. ඇත්තටම ජෝති මුදල් ගැන එහෙම ආසාවක් තිබුණ කෙනෙක් නෙවේ. ජෝති මැරෙන කොට බැංකු පොතේ තිබුණේ රුපියල් හයසිය ගාණක් වගෙ මුදලක්.

මම දැකපු ජෝතිගේ තවත් විශේෂ ගුණාංගයක් තමයි ප්‍රවීණයන්ට ගරු කිරීම. ඒ කාලේ මාළිගාවත්ත මහල් නිවාසවල අපි දෙන්නා එක ළඟනේ හිටියේ. මම එතකොට සේවය කළේ සුමති පුවත්පත් ආයතනයේ. දවසක් වැඩ ඇරිලා ගෙදර එන ගමන් මම ජෝතිගේ නිවසටත් ගොඩ වැදුණා. එදා ජෝති ඉතින් හරි සංතෝෂයෙන් ඉන්නවා. 'මචං වඩූ උඹ දන්නේ නෑනේ මචං මාර වැඩක් වුණානේ' කියලා ඔහු කිව්ා. මම ඇහුවා 'මොකද කෙල්ලෙක්වත් සෙට් වුණාද?' කියලා. එහෙම එකක් නෙවෙයි වෙලා තියෙන්නේ මේකයි. එදා ජෝති සරසවි චිත්‍රාගාරයේ ගීතයක් පටිගත කරද්දී විශාරද සනත් නන්දසිරි ඒක අහගෙන ඉඳලා ජෝතිව වැළඳගෙන සුබපතලා 'ඔයාට හොඳ අනාගතයක් තියෙනවා' කියලා. ඒ කතාවට ජෝති පස්වනක් ප්‍රීතියෙන් උද්දාමයට පත්වුණා.

කවදාවත් සේවකයෙක් තමන්ට 'සර්' කියනවාට ජෝති කැමැති වුණේ නෑ. එක්කෝ අයියේ කියලා කියන්න කියනවා. ඒ වගෙ.් මුණිදාස කියලා කෙනෙක් හිටියා එයා ළඟ. දිගටම 'සර්' කියලා බේරෙන්න බැරි තැන අන්තිමට ඔහු ජෝතිට කතා කළේ අයියා කියලා. ක්‍රිෂ්ණි ඇතුළු දරුවෝ හතර දෙනාට පුදුම ආදරයක් තිබුණේ. ඒ වගේම තමන්ගේ නැගණියන් හතර දෙනාට. ජෝතිගේ එක් නැගණියක් වූ අයිරාංගනීගේ සැමියා වූ නීතිඥ හේමන්ත වර්ණකුලසූරියටත් ජෝති ඉතාම හිතවත් වුණා. කාලයක් ජෝති නැවතිලා හිටියෙත් නොරිස් කැනල් පාරේ ඔවුන්ගේ නිවසේ. දවසක් හැන්දෑ වරුවක ජෝති ඒ නිවස ඉදිරිපස තාප්පය ළඟ තණ කොල සුද්ධ කරමින් ඉඳලා සරමත් කැහැපොට ගහගෙන ෂර්ට් එකක්වත් නැතිව. එහෙම ඉන්න කොට එක දිගට පිඹගෙන යනවා වාහන කීපයක්. හෝන් ගහගෙන ගිහිල්ලා. ජෝති ඒක ගණන් අරන් නැතිව තමන්ගේ වැඩේ දිගටම කරගෙන ගිහිල්ලා. එක පාරටම තඩි වාහනයක් ඇවිත් නවත්තලා ජෝති ළඟ හෝන් එක ගහනවලු. ඒ එවකට ජනාධිපතිව සිටි ආර්. ප්‍රේමදාස මහත්මයා.

එතුමා ජෝතිගෙන් මෙහෙම ඇහුවලු 'මොකද ජෝතිපාල මහත්තයා මේ ව්‍යායාම කරනවාද? නැතිනම් මියුසිපල් එකේ වැඩද? කියලා. ඒ කියන්නේ රටේ නායකයා ජෝතිව දැකලා වාහනයෙන් බැහැලා ඇවිත් කතා කරලා ගියේ. ජෝතිට තිබුණේ එහෙම සම්බන්ධකම්. මට මතකයි සමහර කලාකරුවෝ එනවා ජෝතිගෙන් ලියුමක් ගන්න මැති ඇමතිවරුන් ළගට යන්න. ජෝතිගේ ලියුමක් අරන් ගියොත් ඕනෑ වැඩක් කරගන්න පුළුවන්.

'අමරණීය ජෝති' කියා මම ඒ කාලේ 'සත්සර' පත්තරේට ලියපු ජෝතිගේ ජීවිත කතාව පාඨකයන් අතරේ ඉතාම ජනප්‍රිය වුණා. ජෝති ඔහුගේ ජීවිතේ නැගිටපු තැන්, කඩා වැටුණු තැන්, හිනා වුණු තැන්, හඬා වැටුණු තැන් මේ සියල්ල අවංකවම මට පැවසුවා. ඔහු ඒ තරමටම අව්‍යාජ මිනිහෙක්. ජෝති මේ සියල්ල මට පැවසුවේත්, මා ඒවා සටහන් කර ගත්තේත් ජෝතිගේ කාමරයේ දොර වසාගෙන. ලංකාව පුරාම ඉස්සර ජෝති මිතුරු සමාජ තිබුණා මට මතකයි. ඒ අය රට පුරාම ජෝතිගේ නමින් ගෙවල් නම් කරලා තියෙනවා එයාලගේ. 'ජෝති නිවස', 'ජෝති පාය', 'ජෝති විලා', 'ජෝති භවන්' ආදී වශයෙන් අදටත් ඒ නිවෙස් තියෙනවා. ජෝතිපාලගේ ජනප්‍රියත්වයට එය කදිම නිදසුනක්.

ඉස්සර මම 'සරසවිය' පුවත්පතට පාඨක පැන විසඳුම් තීරයක් ලිව්වා 'රසික පැන' කියලා. ඒ කාලේ හරි ජනප්‍රියයි ඒක. ඒ ජෝති ගායනයට අමතරව රඟපෑමටත් උනන්දුවක් දක්වපු කාලේ. එතකොට 'පිනි බිඳු', 'අභිරහස', 'ප්‍රවේශම් වන්න', 'හැංගි හෝරා', 'පැංචා' වගේ චිත්‍රපටවල රඟපාන්න එයාට අවස්ථාව ලැබිලා තිබුණා. හැබැයි ඉතිං නළුවෙක් හැටියට අසාර්ථකයි. ගායකයාගේ තත්ත්වයට එන්න බැරි වුණා. 'රසික පැන' තීරයට එක් රසිකයෙක් පැනයක් යොමු කර තිබුණා ජෝතිපාල රඟපාන චිත්‍රපට මොනවාද කියලා. මම පිළිතුරක් දුන්නා 'මොනවා එච්. ආර්. ජෝතිපාල රඟපානවා. මම දන්නේ නැහැනේ' කියලා. ඕක කවුද පෙන්නලා ජෝතිට. ඒක බලලා ජෝති කිව්වලු 'බලපන්කෝ මේ වඩ්ඩා කරලා තියෙන වැඩක්. අපිව කරටියෙන්ම කඩලා දාන්නනේ හදන්නේ. මට හම්බ වෙච්ච දෙන්කෝ මිනිහා' කියලා. මටත් ඕක ආරංචි වුණා. ඒත් මම ගණන් ගත්තේ නෑ. ටෝනි රණසිංහත් ඕක දන්නවා.

කඳානේ ලින්ටන් එකේ දවසක් තිබුණා රූ රැජන තරගයක්. ලින්ටන් කියන්නේ මුවන් පැලැස්ස නිෂ්පාදක පී. මුනිදාස ද සිල්වාගේ වෙළෙඳ ව්‍යාපාරයේ නම. ඔවුන් තමයි මේක සංවිධානය කළේ. ටෝනි රණසිංහ, නීටා ප්‍රනාන්දු, නිහාල් ඒ. ජයසිංහ, ඩී. ආර්. නානායක්කාර අපි ගොඩක් කට්ටිය ගියා. ජෝතිපාල එහෙන් ඇවිත් තිබුණා සිංදු කියන්න. ඉතිං හවස 'රූප රැජින' තරගයෙන් පස්සේ ලොකු සාදයක්. මම එතකොට සැර ඩ්‍රින්ක්ස් ගන්නේ නෑ. බියර් එකක් ෂිප් කරනවා විතරයි.

ජෝති එහා ටේබල් එකේ ඉඳගෙන ඩ්‍රින්ක්ස් ගන්නවා මං දැක්කා. එතකොට අපි හමුවෙලා තිබුණේ නෑ. හිටපු ගමන් ටෝනි නැගිටලා ජෝති ගාවට ගිහින් කියලා තියෙනවා මාව පෙන්නලා ජෝති අර කවුද ඉන්නේ කියලා දන්නවාද, ඒ තමයි උඹත් රඟපානවාද කියලා කියපු මනුස්සයා. අල්ලා ගනින් හොඳ වෙලාව කියලා. ජෝති මම දිහා බැලුවා. ඊළඟට ටෝනි මම ළඟට ඇවිත් කිව්වා 'පරෙස්සම් වෙලා ඉඳපන් එනපොට හරි නෑ' කියලා. මට පොඩි බයකුත් ආවා. ඇයි ඉතින් ජෝති හයේ හතරේ පොරක්නේ. ගැහුවා නම් මම ඇදගෙන වැටෙනවා ෂුවර්. පස්සේ ජෝති මගේ ළඟට ඇවිත් කරට අත දාගෙන කිව්වා 'මේ පත්තරකාරයෝ මෙහෙමද බියර් ද බොන්නේ' කියලා මට ඔහුගේ විස්කි වීදුරුව දුන්නා. බැලින්නම් ටෝනි අපි දෙන්නටම දීලා තිබුණේ ලණුවක්. එදා තමයි ජෝති මගේ යාළුවෙක් වුණේ. ඒ මිත්‍රත්වය මියෙන තුරාවට අපේ සිත් සතන්වල තිබුණා. ජෝති නැති අඩුව කවදාවත් පුරවන්න බැරි එකක්. ඒක මට විතරක් නෙවේ මුළු රටටම පොදුයි.