වර්ෂ 2015 ක්වූ ජූලි 02 වැනිදා බ්‍රහස්පතින්දා




විද්‍යාගෙන් චැප්ලින්ට

විද්‍යාගෙන් චැප්ලින්ට

 

විද්‍යා බාලන්ගේ බොලිවුඩ් සිනමා ජීවිතයට පසුගියදා දස වසරක් සපිරුණා. දසවස් සැමරුම සමඟින් තිරගත වීම ආරම්භ කළ හමාරි අධුරි කහානි චිත්‍රපටයත් සාර්ථකව තිරගතවීම ඇයගේ ඒ සතුට දෙගුණ තෙගුණ කළා. කොහොම නමුත් මේ චිත්‍රපටය විශාල ප්‍රසිද්ධියක් ඇතුව තිරගත නොකළ චිත්‍රපටයක් වීම නිසා ඒ විශේෂත්වය සුවිශේෂයි. මේ අතරේදී විද්‍යා ගැන තවත් තොරතුරක් ලැබුණා.

චාලි චැප්ලින් කියන්නේ උපතින්ම කඳුළ හිමි වුණත් දුක කඳුළ ගැන නොතැවී ලොවම සිනහ ගැස්වූ අපූරු කලාකරුවෙක්. ඇත්තටම ඔහු කඳුළින් පිරි ජීවිතය සිනහවෙන් අධ්‍යක්ෂණය කළ අපූරු නිර්මාණකරුවෙක්. දැන් ඔබ හිතනවා ඇති විද්‍යා ගැන කියන්න පටන් අරන් චැප්ලින් ගැන කියන්නේ ඇයි කියලා. ඒක වෙනස් කතාවක්. විද්‍යා බාලන් චාලි චැප්ලින්ගේ රසිකාවියක්. ඔහු ඉතාම විශිෂ්ට ගණයේ සිනමාකරුවෙක් කියලයි ඇය පවසන්නේ

ඔහු විසින් නිර්මාණය කරන ලද සිනමා නිර්මාණ විශාල සංඛ්‍යාවක් ඇය නරඹා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මිස්ටර් ඉන්දියා චිත්‍රපටයේ ශ්‍රී දේවි විසින් චැප්ලින් නිරූපණය කළ ආකාරයත් විද්‍යා ඉතා ආසාවෙන් නැරඹූ බව ඇය පවසනවා. ඉතින් විද්‍යාට දැන් අලුත් අදහසක් පහළ වෙලා. ඒ මොකක්ද දන්නවාද? ඇය චාලි චැප්ලින් ගැන චිත්‍රපටයක් කරන්න ආසාවෙන්ලු සිටින්නේ. ඒ නිසා චාලි චැප්ලින්ගේ මතකය සමඟින් අනාගතයේදී ඔබට විද්‍යා නිර්මාණය කළ චිත්‍රපටයන් නරඹන්නත් අවස්ථාව ලැබේවි.