වර්ෂ 2015 ක්වූ ජූලි 02 වැනිදා බ්‍රහස්පතින්දා




ආයෙමත් කාටත් නටන්න පුළුවන්

ආයෙමත් කාටත් නටන්න පුළුවන්

සුරේෂ්ගේ බලාපොරොත්තුව ජනප්‍රිය නර්තන ශිල්පියෙකු වී සිය මවගේ පැතුම ඉටු කිරීමයි. විනීගේ අභිප්‍රායද ජනප්‍රිය නර්තන ශිල්පිනියක වීමයි. කුඩා කල මිතුරන් වූ සුරේෂ් හා විනී එක්ව කණ්ඩායමක් සාදා ගන්නේ ජාතික මට්ටමේ නර්තන තරගයක් වෙනුවෙනි. ඔවුන්ගේ පුහුණුව මනා ලෙසින් සිදු වන්නේ උත්සාහය, ධෛර්යයද පෙරදැරිවය. නමුත් එහිදී ඔවුන්ගේ චලනයන් මුල් නිර්මාණයට සමාන වීමෙන් ඔවුන්හට වංචා කරන ලද බවට චෝදනා එල්ල වේ. එහි ප්‍රථිඵලය සුරේෂ්, විනි ඇතුළු කණ්ඩායම තරඟයෙන් ඉවත් කිරීමයි.

ආරම්භය ගෙන දුන් අමිහිරි අත්දැකීම සමඟින් දෙදෙනාම වෙනත් රැකියා සොයා වෙන් වේ. සුරේෂ් වේටර්වරයෙකු ලෙසින් සේවය කරනවිටදී විනී රූපලාවන්‍යගාරයක සේවයට බැඳේ. නමුත් මේ සේවා ස්ථානයන්ද දෙදෙනාටම ප්‍රිය නොවන්නේ වංචාකරුවන් ලෙසින් පරිභව ලැබීම හේතුවෙනි. මේ සියල්ල වෙනස් කරන්නේ විශ්නු විසිනි. ඔහු සුරේෂ් සේවය කරන තැබැරුමේදී නර්තනයක් ඉදිරිපත් කරයි. සුරේෂ්ගේ අදහස ලාස් වේගාස්හි හිපොප් නර්තන තරගාවලිය ජය ගැනීමයි. විශ්නුගේ උපදේශකත්වයෙන් සුරේෂ් සහ විනි නර්තන කණ්ඩායමක් සාදා බැංගලෝර් හි පැවැත්වෙන තේරීම් තරඟය ජයග්‍රහණය කරයි.

සාර්ථක ආරම්භයක් ලබා ගැනීම සියල්ලන්ටම ගෙන දෙන්නේ ආශ්වාදයකි. දැන් බලාපොරොත්තුව ලාස්වේගාස් නර්තන කිරුළයි. ලාස් වේගාස් වෙත යන විශ්නුගේ තවත් අරමුණක් වේ. තරගාවලිය අතරතුර ඔහු පිටවන්නේ ඒ වෙනුවෙනි. නමුත් අවසානයේ විශ්නු යළි පැමිණේ. දැන් සියල්ලෝම අවසන් තරගයට මුහුණ දෙති. බාධාවන් ඔවුන් සොයා එන්නා සේය. මේ අතරතුර විනීට ආබාධයක් ඇති වෙයි. විනීගේ නැත ගන්නේ ඔලිව් විසිනි. එය ඔලිව් හා සුරේෂ් අතර ආදරයක සේයාවක් පෙන්වයි. විනිගේ හදවතද සුරේෂ් වෙනුවෙනි. සියල්ල වෙනස් වන්නේ එතැන් සිටය.

ලොස් වේගාස්හි නර්තන තරගාවලිය අතරේ සුරේෂ්, විශ්නු, විනී, ඔලිව්ගේ ජීවිත ගෙන යන්නේ කොතැනටද? ABCD (Any Body Can Dance) 2   (එනි බොඩි කැන් ඩාන්ස්) චිත්‍රපටය ගෙන එන්නේ ඔවුන්ගේ කතාවයි. එය නර්තනය මුල් තැන දෙන අපූරු චිත්‍රපටයකි.

නර්තන හැකියාව රංගනයේදී සුවිශේෂ අංගයක් බවට පත් වී ඇත. බොලිවුඩ් සිනමාවේදී ක්ෂේත්‍රයේ රැඳී සිටීමට නර්තනය ලබා දෙන රුකුල ඉතාමත් විශාලය. තවත් ලෙසකින් කීවොත් බොලිවුඩ් තරු නර්තනයේද අති දක්ෂයෝ වෙති. ප්‍රභූ දේවා ඒ අතරේ විශේෂ වූ තරුවකි. එනි බොඩි කැන් ඩාන්ස් චිත්‍රපටයේ විශ්නු වන්නේ ඔහුයි. එනි බොඩි කැන් ඩාන්ස් 2 චිත්‍රපටයේ පළමුවැන්න බොලිවුඩයට සුවිශේෂ චිත්‍රපටයක් වේ. බොලිවුඩ් සිනමාවේ පළමු ත්‍රිමාණ සිනමා නිර්මාණය වන්නේ එයයි.

පළමු කතාව ගෙතෙන්නේ මෙලෙසිනි. නර්තන ශිල්පියෙකුට පැරණි මිතුරන් පිරිසක් සිය නර්තන ආයතයේදී මුණ ගැසීමත් සමඟ සියල්ලන්ගේම එකතුවෙන් නර්තන කණ්ඩායමක් පිහිටුවා ගැනීම අභිප්‍රාය වේ. මෙහි නර්තන ශිල්පියා වන්නේ විශ්නුය.හාස්‍ය, ආදරය, අවංකත්වය, මිත්‍රත්වය,කණ්ඩායම් හැඟීම, විශ්වාසය, ඉවසීම, කැපවීම ආදි වූ සෑම දේ සමඟින් පැමිණි ඔවුන්ගේ ගමනේ ඉදිරිය ගෙන එන්නේ ABCD  2 චිත්‍රපටය යි. 2013 වසරේදී ABCD  පළමු චිත්‍රපටයේ සාර්ථකත්වය දෙවැන්නක බලාපොරොත්තු ඇති කළේය. ඉන්දිය රුපියල් කෝටි 12ක වියදමින් නිපැයූ ABCD  ඉන්දීය රුපියල් කෝටි 44ක ආදායමක් උපයා ගත්තේය. ඒ සාර්ථකත්වය 2015 වසරේදී දෙවැන්න නිර්මාණයට මඟ පෑදුවේය. රෙමෝ ඩීසූසා අධ්‍යක්ෂණය කළ ABCD  හී ප්‍රභූ දේවා සමඟින්, ඩාන්ස් ඉන්දියා රියලිටි වැඩසටහනේ ප්‍රථම අදියරේ ජයග්‍රාහකයා වූ සල්මන් යුසුෆ් ඛාන්, අමෙරිකානු නර්තන ශිල්පිනියක වන ලොරේන් ගොට්ලිබ්, සුපිරි නර්තන තරුවක වන ධර්මේශ් යෙලන්ඩ් රංගනයෙන් දායක වූහ. දෙවැන්නේ අධ්‍යක්ෂණයද රෙමෝ ඩී සූසාගේය. බොක්ස් ඔෆිස් වාර්තා තැබූ ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් චිත්‍රපටයෙන් කැපී පෙනුණු වරුන් ධවාන්, ආශික් 2 චිත්‍රපටයෙන් ඉහළ ජනප්‍රියත්වයක් දිනාගත් ශර්ධා කපූර්, ලොරේන් ගොට්ලිබ්, ධර්මේෂ් යෙලන්ඩ් ABCD  2 හි රංගනයෙන් දායක වෙති.

පසුගිය ජුනි 19 වැනිදා සිට තිරගත වීම ආරම්භ කළ ABCD  2 මේ වන විට උපයා ඇති ආදායම ඉන්දීය රුපියල් කෝටි 73.26කි. ඒ සඳහා වැයවී ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 65ක් වේ. ABCD  2 නිෂ්පාදනය සිද්ධාර්ත් රෝයි කපූර්ගේය.

නර්තනයට අද ලෝකයේ හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. විවිධාකාර වූ නර්තන ශෛලීන්ගෙන් යුතු නර්තනයන් ලොවම වශීකර ගෙන හමාරය. ඇත්තටම එය සැබෑවකි. බොලිවුඩයට පෙම් බැඳි ඔබට එය අමුතුවෙන් පසක් කර දිය යුතු නොවේ. ABCD  2 දැනටමත් සිය සාර්ථකත්වය පෙන්නුම් කිරීමට සමත් වී ඇත. එහි නර්තන වින්‍යාසය රෙමෝ ඩීසූසාගේය. ඔහු එය ඉතා අපූරු ලෙසින් සිදුකර ඇති බවට විචාරකයන් මත පළකර තිබේ. සංගීතයද පැසසුම් ලබා ඇත. මෙහි හැපි බර්ත් ඩේ නම් ගීතය ගායනයට වරුන් ධවාන්ද දායක වී ඇත. විචාරකයන් සඳහන් කරන්නේ නර්තනය සහ සංගීතය වෙනුවෙන් වූ අපූරු නිර්මාණයක් ලෙසින් බිහි වූ ABCD  2 චිත්‍රපටයද ඉහළ සාර්ථකත්වයක් ලබනු ඇති බවයි.