වර්ෂ 2015 ක්වූ ජූලි 02 වැනිදා බ්‍රහස්පතින්දා




ලාංකේය අධ්‍යාත්මය නැංවීමෙහිලා සිනමා කතිකාව හෙට

ලාංකේය අධ්‍යාත්මය නැංවීමෙහිලා සිනමා කතිකාව හෙට

'ලාංකේය අධ්‍යාත්මය නැංවීමෙහිලා සිනමාව' යන මැයෙන් සංවාදශීලී සිනමා කතිකාවතක් මෙම මස 03 වැනිදා එනම් හෙට සවස 2.45 ට කොළඹ 07 ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත් වෙයි. උපුල් ශාන්ත සන්නස්ගල සහ සම්මානනීය චිත්‍රපට, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ, තිර රචක සරත් ධර්මසිරි මෙහිදී දේශන පවත්වනු ලබයි.

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ අභිනව නව සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතාගේ උපදේශකත්වය යටතේ සිනමා සංස්කෘතික අංශය මෙය සංවිධානය කරනු ලබයි.

නන්දන දිනූ සම්මානය ජනමාධ්‍ය ඇමැති අතින්

නන්දන හේවාපන්න අධ්‍යක්ෂණය කළ මංගල ගමන සිනමාපටයට 2015 කැනඩා ජාත්‍යන්තර සිනමා උළෙලේදී විදේශ චිත්‍රපට අංශයේ රෝයල් රීල් සම්මානය හිමි විය. එම සිනමාපටයේ ඇති විශේෂත්වය වනුයේ චිත්‍රපට කතාව ලියා රූගත කිරීම් නිම කොට ඉංග්‍රීසි උප සිරැසි යොදා ප්‍රදර්ශනය කිරීම පැය 71 තත්පර 19 කින් නිමා කොට ලෝක වාර්තාවකට හිමිකම්කීමයි.

මංගල ගමනට ලැබූ සම්මානය පිළිගැනීමට කැනඩාවට යාම සඳහා ගුවන් ටිකට්පත් මිලට ගැනීමට අධ්‍යක්ෂවරයා ගත් උත්සාහය ව්‍යර්ත විය. එහෙයින් එම සම්මානය සහ සහතික පත ගුවන් මඟින් මෙරටට එවා තිබිණ. මේ එම සම්මානය ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මංගල ගමන චිත්‍රපටයේ අධ්‍යක්ෂ නන්දන හේවාපන්නට පිළිගැන් වූ අවස්ථාවයි මේ.

ගින්දරීට 75 යි - විශේෂ දැක්මක් ඉරිදා

උදයකාන්ත වර්ණසූරියගේ ගින්දරී සිනමාපටය මෙම මස 05 වැනිදාට දින 75 ක් සපිරේ. ඒ වෙනුවෙන් විශේෂ වැඩ කටයුතු කිහිපයක් සංවිධානය කොට තිබේ. එදින රීගල් සිනමාහලේ සවස දර්ශනය සඳහා ගින්දරී සිනමාපටයේ රඟපෑ මහේන්ද්‍ර පෙරේරා සහ රොඩ්නි වර්ණකුල ඇතුළු නළු නිළියන් සහභාගිවීමට නියමිතය. ඔවුන්ගේ සුරතින් ගින්දරී පැන විසඳුම් තරඟයේ ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග පිරිනැමේ. එමෙන්ම සවස දර්ශනයට පැමිණෙන සිනමාලෝලීන් සඳහා ද කුසපත් ඇදීමේ තරඟයක් ද පැවැත්වේ.