වර්ෂ 2015 ක්වූ ජූලි 02 වැනිදා බ්‍රහස්පතින්දා




කලාව හොඳයි, ඒත් බාධක වැඩියි

කලාව හොඳයි, ඒත් බාධක වැඩියි

සෙංකඩගල පුරවරයෙන් කලා ලොවට පෑයූ අලුත්ම තාරකාව

නදීකා තුෂානි ද සිල්වා

සෙංකඩගල පුරවරයේ සිට කලා ලොවට එකතු වූ කලාකරුවන් අතරට එක්වන අලුත්ම තාරකාව ඇය වන්නීය. මෙයට ප්‍රථම ඇය පිළිබඳ කිසිදු පුවත්පත් ලිපියක් පළ වී නොමැත. මේ සටහන් වනුයේ මේ යොවුන් සුරූපිණියගේ කුලුඳුල් පුවත්පත් සාකච්ඡාවයි.

නදීකා තුෂානි ද සිල්වා.

සරසවිය හඳුන්වා දී අද ක්ෂේත්‍රයේ ඉදිරියටම ගොස් සිටින රංගන ශිල්පිණියන්ගේ තරු රෑණට නදීකා නොබෝ දිනකින්ම එකතු වේවා යැයි ද පළමුව අප ප්‍රාර්ථනා කරන්නෙමු.

නදීකාගේ පාසල මොකක්ද?

නුවර සීතාදේවි විද්‍යාලය.

ඉස්කෝලෙ යන කාලේ ඉඳලා වෙන්න ඇති කලාවට ආස කළේ?

අම්මෝ ඔව්. පුදුම කැමැත්තකින් හිටියේ. සබඳතා නැති හින්දා එන්න එන්න ඒ බලාපොරොත්තුව හීනයක් වුණා. නමුත් අද වන විට මං මගේ හීනයට ක්‍රමයෙන් ළං වෙලා ඉන්නවා කියලා මට දැනෙනවා.

නදීකා රඟපෑ මුල්ම ටෙලි නාට්‍යය?

බොරලු පාර.

මොකක්ද ඔබ එහි කළ චරිතය?

මුල්ම අවස්ථාව හින්දා ලොකු චරිතයක් නෙවෙයි ලැබුණේ. ඇත්තම කිව්වොත් ඒක රංගනයට වඩා පෙනී සිටීමක් පමණයි.

ඊට පසුව?

ස්වර්ණපාලි, අංකල් සෑම්, රජ දරුවෝ, සඳ සිත්තම් සහ ලොක්කි වගේ නාට්‍යවල විවිධ චරිත කළා.

මේ වන විට ඔබ රඟපාන්න ඇවිත් කොපමණ කල්ද?

මාස අටක් විතර.

මේ කාලය අතරතුරදී ඔබට ලැබුණු අවස්ථා ගැන ඔබ සෑහීමකට පත් වෙනවාද?

මං හිතනවා මට මීට වඩා අවස්ථා හිමි වුණා නම් හොඳයි කියලා.

ඔබගේ පිළිතුරෙන් නම් මට දැනුණේ ඔබට තවමත් ප්‍රධාන චරිතයක් ලැබිලා නැහැ කියලයි?

මට ප්‍රධාන චරිතයක් ලැබුණා රජ දරුවෝ නාට්‍යයේ. ඒත් ඊට කලින් ගොඩක් හොඳ චරිත ලැබුණා. නමුත් ඒවා සියල්ල අහිමි වුණා.

ඔබව එම චරිතවලට ගැළපෙන්නේ නැතුවද දන්නේ නැහැ?

ඒක නෙවෙයි වුණේ. වැඩි දෙනෙක් අපිට රඟපාන්න කතා කරන්නේ වෙන වෙන දේවල් බලාපොරොත්තුවෙන්. අපි ඒ යෝජනාවලට අකැමැති වෙද්දී හීං සීරුවේ අපිව චරිතවලින් ඉවත් කරනවා.

කලා ලොව ගැන ඔබට දැන් හිතෙන්නේ මොනවාද?

කලාව හොඳයි. නමුත් ඉදිරියට යන්න අමාරුයි. බාධක ගොඩයි. නපුරු මිනිස්සුත් වැඩියි.

ගමේ කෙල්ලෙක් හින්දා ගොඩක් කැපිලිත් ඇති?

අපොයි ඔව්. කැපිලි අනන්තයි, අප්‍රමාණයි.

නදීකා ජීවිතයේ මෙතෙක් කළ ලොකුම මෝඩ වැඩේ මොකක්ද?

උසස් පෙළට කොමස් කරපු එක.

ඇයි එහෙම කියන්නේ?

ආර්ට් වගේ කළා නම් කැම්පස්වත් යන්න තිබුණා. එතකොට ජොබ් එකක්වත් ලැබේවි.

එතකොට කලාව?

ජොබ් එක කරන ගමන් රඟපානවා.

වෙලාවක් තියේවිද ජොබ් කරන ගමන් රඟපාන්න?

අමාරුවෙයි. ඒත් වෙලාව හදා ගන්නවා.

පූර්ණකාලීනව කලාවේ නියැලෙන්න නදීකා අකමැතියි වගේ?

නැහැ. එහෙම එකක් නෙවෙයි. මේ වෘත්තියේදී ලැබෙන ආදායම ප්‍රමාණවත් නැහැ. කාලෙකදී හොඳයි. කාලෙකදි නරකයි. ජොබ් එකකදී ස්ථිර වැටුපක් ලැබෙනවානෙ.

නදීකා කලාවට එනවට ගෙදරින් කැමැති වුණේ නැහැනෙ?

ඔව්. මං රඟපාන්න යනවට ගෙදර අය තදින් විරුද්ධ වුණා. තාත්තා දන්නවා කොච්චර දේ කිව්වත් මං රඟපාන්න යනවාමයි කියලා. බැරිම තැන තාත්තා කන හරහා පහරක් ගහලා තියෙන වැඩක් කරගෙන ගෙදර ඉන්න කිව්වා. ඒත් මගේ හිතුවක්කාරකමට කලාවට ආවා.

මේ වන විට ඔවුන්ගේ ප්‍රතිචාර කොහොමද?

ගොඩක් හොඳයි. මේ වන විට මට ගෙදර අයගෙන් ලොකු සහයක් ලැබෙනවා.

කල වයසත් හරි හින්දා ගෙදර අය කියන්නේ නැතිද දැන් බැන්දොත් හොඳයි කියලා?

කියනවා.

තවම පෙම්වතෙක් නැති හැඩයි?

නැහැනෙ. මංගල යෝජනා සතියකට දෙක තුනක් එනවා. මං කැමැති නැහැ.

මොකද හේතුව?

ඒවා බහුතරයක් කලා ලොවේ අයගෙන් ආව ඒවා. කලා ලොවේ කෙනෙක් මගේ සහකරුවා නොවිය යුතුයි යන මතයක මම ඉන්නේ.

ගොඩක් නවක නිළියන් ඔය කතාව කියලා තියෙනවා. මේ ෆීල්ඩ් එකේ ඉන්න අය එච්චරටම අවිශ්වාසද?

අවිශ්වාසයක් නෙවෙයි. එකම ෆීල්ඩ් එකේ වුණාම ප්‍රශ්න වැඩියි. නිදහසේ වැඩ කරගෙන යන්න ඕනෑ නම් සහ අවබෝධයෙන් ඉන්න දෙන්නා ෆීල්ඩ් දෙකක වුණා නම් හොඳයි.

නදීකාට ෆීල්ඩ් එකේ යාළුවොත් නැතිද?

ඉන්නවා, ඉන්නවා. යාළුවො ගොඩක් ඉන්නවා. නමුත් අතිශය සමීප යාළුවෝ හයක් විතරයි ඉන්නේ.

ඔබ රඟපාන්න ආසාවෙන් ඉන්න චරිතයක් තියෙනවාද?

ඔව්. දඟකාර කටකාර චරිතයක් කරන්න ආසයි.

මොනවද ඔබේ ඉදිරි බලාපොරොත්තු?

රංගනයෙන්ම ජීවිතය දිනන්න තමයි ආස. කවදා හරි අධ්‍යක්ෂණයටත් එන්න හිතාගෙන ඉන්නවා.

ජනප්‍රියත්වය ලබන කොට සමහර අයට මුල අමතක වෙනවා?

ඇත්ත. මුල අමතක වුණොත් සදා අනාථයි. එතැන් පටන් කවදාවත් තමන්ගේ ගමන යන්න ආශිර්වාදය ලැබෙන්නේ නැහැ. හොඳට හොයලා බැලුවොත් අද ෆීල්ඩ් එකේ ඉහළටම ගිහිල්ලා තියෙන්නේ සහ පැවැත්මක් තියෙන්නේ මුල මතක තියෙන තැනැත්තන්ගේ.

එහෙනම් නදීකාටත් මතක තියේවි ඔබේ කුලුඳුල් පුවත්පත් ලිපිය පළ වුණේ සරසවියේ කියලා?

නැතුව, නැතුව.