වර්ෂ 2015 ක්වූ ජූනි 11 වැනිදා බ්‍රහස්පතින්දා




රසික ආදරයෙන් යළි සුවය ලැබූ නාමල් උඩුගම

රසික ආදරයෙන් යළි සුවය ලැබූ නාමල් උඩුගම

යෞවනයේ සිහින කුමරු නාමල් උඩුගමගේ හදිසි අසනිපයත් සමඟ ඔහු පිළිබඳ විවිධ කටකතා පැතිර ගියේ විදුලි වේගයෙනි. ඔහු මියගියා යැයිද ඇතැම් සමාජ වෙබ් අඩවිවල සඳහන් විය. එම ආරංචිය සාවද්‍ය බව දැනගත් බොහෝ දෙනෙකුගේ මතය වූයේ ඒ හරහා නාමල්ගේ සියලු වස්දොස් දුරුවූ බවයි. ඇත්තටම එය එලෙසම සිදුවී ඇත. නාමල්ට ආදරය කළ අප හැමෝගේම බලාපොරොත්තුව වුණේ ඔහුට ඉක්මන් සුවය පැතීමය.

බිතුසිතුවම් රූමෙන් සිටි නාමල්ගේ මිත්‍රයෝ යුහුසුලුව ක්‍රියාත්මක වී ඔහුව හැකිතාක් ඉක්මනට ඉන්දියාවට රැගෙන ගියේ නාමල්ට අවශ්‍ය සැත්කම සිදුකළ යුත්තේ එහිදී බැවිනි. එම උත්සහයන් මල්ඵල ගන්වමින් ඉතාම සාර්ථක අන්දමින් නාමල්ගේ ශල්‍යකර්මය ඉන්දියාවේදී සිදුවිය. නාමල් පසුගියදා මෙරටට පැමිණියේ ප්‍රාර්ථනා කළ දීර්ඝායුෂ පින්මහිමය ලබමිනි. ආ සැනින් අප නාමල්ගේ සුවදුක් විමසුවෙමු.

නාමල්, කොහොමද දැන් ඔබට?

දැන්නම් මට බොහෝ දුරට සුවයි. ඇත්තටම කිව්වොත් මම පහුගිය කාලෙ ජිවිතයත් මරණයත් අතර කාලය ගෙව්වෙ. වෙලාවකට මටම මගේ ජිවිතයෙ අවිනිශ්චිතතාව දැණුනා. ඒ අතරෙ මං ගැන නොයෙක් කටකතාද පැතිර ගියා. රෝගය අස්සෙ එවන් වූ මානසික බලපෑම්වලට ද මං ලක්වුණා. කොහොම හරි දෙවියන්ගෙන් ලද ආශිර්වාදය මත මං ගොඩ ආවා.

ඉන්දියාවේ කොහෙද ඔබේ සැත්කම සිද්ධ වුණේ?

ග්ලෝබල් කියන රෝහලේ. මේ වෙලාවේ වෛද්‍ය මොහොමඩ් ඇතුළු මං ගැන සොයලා බැලුව සියළු වෛද්‍යවරුන්ට මා තුති පුදනවා. වෛද්‍යවරුන් දෙවියන් බඳුවූ පිරිසක් යැයි මට එහිදී දැණුනා.

ඔබ සැත්කමෙන් පසුවත් බොහෝ කාලයක් ඉන්දියාවේ රැඳී සිටියා?

එහෙම වුණේ මට අවශ්‍ය බෙහෙත් නතර නොකරන්නට උපදෙස ලැබීම නිසා. එහි සිට ඒ බෙහෙත් බීලා ශරීර සෞඛ්‍ය අඩක් හෝ යථා තත්ත්වයට පත්වෙනකම් මට ඉන්න කියලා වෛද්‍ය උපදෙස් ලැබිලයි තිබුණේ. ඔවුන් බය වුණා නැවත ලංකාවට ගියොත් බෙහෙත්හේත් නිසියාකාරව ඇඟට නොවැටේවි කියා. ඒ හින්දයි මට ඉන්දියාවේ ටික කාලයක් රැඳෙන්නට වුණේ.

ඉන්දියාවට යනවා ඔබට මතකද?

නැහැ. මට ඇතැම් අවස්ථා ගැන කොහෙත්ම මතකයක් තිබුණේ නැති තරම්. මගේ අසනීපය උත්සන්නම මොහොතෙයි ඉන්දියාවට මාව ගෙනගිහින් තියෙන්නෙ.

තනියම වැඩ පළ කරගන්න දැන් පුළුවන්ද?

ටික ටික මගෙ වැඩ තනියම කරගන්න මං උත්සහ කරමින් සිටිනවා. ඒත් මාස කිහිපයක් විිවේකීව ගත කරන්නටයි උපදෙස් ලැබුණේ. ඒ හින්දා බරපතල රාජකාරිවලට නොගොසින් සුළු සුළු වැඩ මමම දැන් කර ගන්නවා.

ඔබේ පැරැණි රුව මට මේ වෙලාවේ මතක් වෙනවා.

අසනීප වෙනවාත් සමඟ මං ගොඩක් කළු වුණා. ඇතැම් අය මේ මම කියා සමහර අවස්ථාවල හඳුනා ගත්තේ නැහැ. මේ ලැබෙන විවේකයත් එක්ක මට පුළුවන් වේවි මගේ රුව නැවතත් පෙර පරිදි හදාගන්න.

එතකොට ඔබේ ආදරණීය කටහඬ?

ඔය ප්‍රශ්නය අහද්දී මට එක සිද්ධියක් මතක් වෙනවා. මං ලංකාවට ආ ගමන් මධුමාධව අරවින්ද දුවගෙන ගුවන් තොටුපළට ආවා. ඇවිත් මට කිව්වා සිංදුවක් කියන්නටයි කියලා. මට හිතාගන්න බැහැ මධූට එවලෙ හිතෙන්නට ඇති මගේ හඬින් ගීතයක් අහන්න. මගේ හඬ ගැන බියක් ද ඇති වුණා ද දන්නේ නැහැ. කොහොම හරි එවලේ මං සමු ගන්නේ නෑ සිංදුව කිව්වා. මධු ඇතුළු පිරිසගෙ නෙත්වල කඳුළු. මගේ හඬ තවමත් තියෙනවා කියලා මට දැනුණා. හැබැයි දැන්මම මං ප්‍රසංගවලට එකතු වන එකක් නැහැ. හැකිතාක් ඉක්මනට මං මගේ රසිකයන් හමුවට එනවා කියලා මං කියන්නට කැමැතියි.

හිතුවට වඩා වැඩි මුදලක් ඔබේ සැත්කම සඳහා වියදම් වුණා?

ඔව්. එයට ප්‍රධානම හේතුව තීරණය කළ දිනයට වඩා ඉක්මනින් සැත්කම සිදු කිරීම. ඔවුන් ලබා දුන් දිනයට සිදු කළා නම් ඇස්තමේන්තු කළ මුදල පමණයි යන්නේ. ඒත් මගේ රෝගය තවත් උත්සන්න වන්නට කලියෙන් සැත්කම සිදු කළා. ඒකයි වියදම වැඩි වුණේ.

ඔබ වටා සෑහෙන්න මිතුරන් පිරිසක් එකාවන්ව සිටියා. මොකද හිතෙන්නේ ඒ ගැන?

මං දන්නවා මට හැමෝම ආදරෙයි. ඒක මට හොඳාකාරවම දැනුණා. මධුමාධව අරවින්ද ඔහුගේ පදනමෙන් ලක්ෂ තිහකට ආසන්න මුදලක් දුන්නා. ඒ වගේ මං වෙනුවෙන් බොහෝ දෙනෙක් මුදල් පරිත්‍යාග කළා. මාව යළිත් නැගිටුවන්න මුළු රටම සිතින් ප්‍රාර්ථනා කළා. තමන්ගේ ආගමට අනුව බාරහාර වෙච්ච අය පවා හිටියා. මට ඒ ආදරය හුඟක් වටිනවා. මේ රටේ මිනිස්සුන්ට නාමල් උඩුගමව ඕනෑ කියන හැඟීම තියෙනවා. ඒකයි එකාවන්ව ඔවුන් සිටියා. මං ගොඩක් වාසනාවන්තයි ඒ අතින්.

ඔබේ බිරිය රුවන්ති මංගලා ගැනත් මේ වෙලාවේ මතක් කරමු?

බිරියක් දෙවැනි මවක් කියන කරුණ ඇත්ත. ඇත්තටම රුවන්ති මට දෙවැනි මවක් වුණා. ඇය මං වෙනුවෙන් කළ කැපකිරීම් වෙන කිසිම බිරියක් කරන්නට නැතුව ඇති. ඇගේ රංගන කටයුතු පවා පසෙකලා මං ගැන ළඟටම වෙලා හොයලා බැලුවා. හැම තිස්සෙම මාව දිරිමත් කළා. ඒ ශක්තිය මට හැමදාම ඕනෑ.

ඔබට අක්මාවෙන් කොටසක් දන් දුන්නේ කවුද?

මට ඒක ගැන දැන්මම කියන්න බැහැ. මට අක්මාවකින් කොටසක් අවශ්‍ය බව දැනගත් මොහොතේ සිට හාරසීයකට අධික ප්‍රමාණයක් ඒ වෙනුවෙන් ඉදිරිපත් වුණා. ඒ අතරින් මට ගැළපෙනම කෙනාගෙන් තමයි ඒ කොටස ගත්තේ. ඒ කාගෙන් ද කියලා මට හෙළි කරන්නට අපහසුයි. ඉදිරියේදී එය දැනුම් දෙන්නම්.

ඔබ අසනීප කාලයේදී ඔබ ගැන දූෂමාන ආරංචි පැතිරුණා. මොකද අද ඒ ගැන හිතෙන්නේ?

හංගන්න දෙයක් නැහැ. මං මැරුණා කියලාත් ආරංචි පැතිරුණානෙ. මං විශ්වාස කරනවා මගෙත් එක්ක තියනෙ තරහට නෙවෙයි ඒවා පැතිරෙන්න ඇත්තේ. එක් කෙනෙක් දෙන්නෙක් බොරුවට හෝ එහෙම කියපු ගමන් ඒවාහි ඇත්ත නැත්ත හොයලා නොබලා සමාජ වෙබ් අඩවිවල දාන අය ඉන්නවා. ඔවුනට ඕනෑ තමන් තමයි මේ ආරංචිය මුලින්ම දැනගත්තේ කියලා කියන්න. ඒත් ඒක හරිම භයානක තත්ත්වයක්. කොහොම හරි ඒ කතාත් එක්ක මගේ වස්දොස් පවා දුරුවන්නට ඇති.