වර්ෂ 2015 ක්වූ ජූනි 11 වැනිදා බ්‍රහස්පතින්දා




ඉන්දියාවේදි උපත ලද හොලිවුඩ් පවුල් ගස

ඉන්දියාවේදි උපත ලද හොලිවුඩ් පවුල් ගස

හින්දි සිනමාවේ පවුල් ගස් රැසක් හඳුනා ගන්නට පසුගිය කාලයේ අපට හැකි විය. බොලිවුඩයේ මෙන්ම හොලිවුඩයේද සිනමාව පෝෂණය කරමින් වැඩෙන එවන් පවුල් ගසක් වේ. එනම් බැරිමෝර් පවුලයි. වේදිකාව සේම සිනමාව ආරම්භයේ සිටම නිහඬ සිනමා නිර්මාණ සඳහාද දායකවීමට අමෙරිකාවේ සුප්‍රසිද්ධ මෙම බැරිමෝර් පවුලේ සාමාජිකයන්ට අවස්ථාව ලැබිණි. එදා සිට අද දක්වාම බැරිමෝර් සාමාජිකයෝ හොලිවුඩ් සිනමා නිර්මාණ බිරිකිරීමේ ලා දායකත්වය ලබා දෙති. ඔවුන් රංගන පවුලක් ලෙසින් ලොවපුරා ප්‍රකටය.

සිනමාව පිළිබඳ විශේෂයෙන් කතාබහ කළද බැරිමෝර් පවුල කලා ක්ෂේත්‍රයට පැමිණීම සනිටුහන් කරන්නේ වේදිකාවෙනි. ආරම්භක සාමාජිකයා හරිබට් ආතර් චැම්බලේන් බ්ලයිත් නම් වෙයි. එහෙත් ඔහු වේදිකාවට පැමිණියේ මොරිස් බැරිමෝර් නමිනි. ඔහු වේදිකා නාට්‍ය නළුවෙකි. 1849 සැප්තැම්බර් මස 21 වැනිදා ඔහු උපත ලැබූයේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රදේශයේදීය. ඔහුගේ පියා එඩ්වඩ් බ්ලයිත් එකල ඉන්දියාවේ මිනින්දෝරුවෙකු ලෙසින් සේවය කිරීම එයට හේතු විය. මොරිස් බැරිමෝර් හත් දෙනෙකුගෙන් යුතු පවුලේ බාලයා විය. ඔහු අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත් වන්නේ 1874 වසරේදීය.

පෙන්සිල්වේනියාවේ උපත ලද ජෝර්ජියානා එමා ඩෲ සහ මොරිස් බැරිමෝර් හමුව මෙම පවුල් ගස බිහි කළේය. ජෝර්ජියානාද දක්ෂ වේදිකා නාට්‍ය නිළියක වූවාය. ඇයට එම ආභාය ලැබෙන්නට ඇත්තේ ජෝන් ඩෲ නම් වූ ඇයගේ පියාගෙනි. ඔහුද අයර්ලන්ත සම්භවයක් සහිත අමෙරිකානු වේදිකා නාට්‍ය නළුවෙකු වූයේය. මව ලුයිසා ඩෲ ද නිළියක වූවාය. ලුයිසා, ජෝන් ඩෲ ජූනියර් සහ ජෝර්ජියානා, ජෝන් සහ ලුයිසාගේ දරුවන්ය. ජෝන් ඩෲ ජූනියර් ද වේදිකාවේ ජනප්‍රිය චරිතයක් විය. වැඩිමහල් දියණිය ලුයිසා කලා ක්ෂේත්‍රයට පැමිණියේ නැත. ඩෲ පවුලේ ලාබාලතම සමාජිකයා වූ ජෝර්ජියානා වඩාත් සාර්ථකත්වයක් ළඟා කර ගත්තේ නිහඬ චිත්‍රපටයක් වූ Senator චිත්‍රපටයෙනි. එය 1890 වසරේදී තිරගත විය.

මර්සි සහ ජෝර්ජියානා යුවළට දරුවන් තිදෙනෙකි. ඔවුන්ද කලා ලෝකයට දායාද වූ දීප්තිමත් තරු තුනක් විය. වැඩිමලා ලයනල් බැරිමෝර් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ සේම සිනමා ක්ෂේත්‍රයේද සුප්‍රසිද්ධ නළුවෙකු බවට පත් විය. 1931 වසරේ දී ඒ Free Soul චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය ද දිනා ගත්තේය. It’s a wonderful life චිත්‍රපටයේ පෝටර් නම් චරිතය රංගනය ඔහු වඩාත් ජනප්‍රිය කරවීය. අමෙරිකානු රංගන ශිල්පිනියක වූ ඩොරිස් මාරි රැන්කින් සමඟින් ලයනල් බැරිමෝර් ප්‍රථමවරට 1904දී විවාහ විය. ලයනල් සහ ඩොරිස්හට දියණියන් දෙදෙනෙකි. The Devil’s Garden, The Great Adventure, Jim the Panman වැනි චිත්‍රපටවල ඩොරිස්ගේ රංගනයන් කැපී පෙනුණි. 1923 වසරේදී ඔහු වේදිකා නාට්‍ය සහ චිත්‍රපට නිළියක වූ අයරින් ෆ්‍රෙන්වික් සමඟ විවාහ දිවියට එළැඹුණි.

එතල් මේ බ්ලයිත් මර්සි සහ ජෝර්ජියා යුවළගේ එකම දියණියයි. ඇයට එතල් ලෙසින් නම ලැබුණේ The Newcomers චිත්‍රපටයේ මර්සිගේ ප්‍රියතම චරිතය එතල් වූ බැවිනි. සුරූපි එතල් බැරිමෝර් දැයක වූ පළමු චිත්‍රපටය වූයේ The Nightingle  චිත්‍රපටය යි. ඇය නිහඬ සිනමාවේ චිත්‍රපට 15ට පමණ දායක වූවාය. 1940 දී හොලිවුඩයට සංක්‍රමණය වූ එතල් None but the Lonely Heart චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම සහය නිළිය ලෙසින් ඔස්කාර් සම්මානයට පාත්‍ර වූවාය. ඇය තම අසූව වැනි උපන්දිනයට මාස දෙකක් තිබියදී මෙලොවින් සමු ගත්තේ හෘද රෝගයක් හේතුවෙනි. නිව්යෝර්ක් නගරයේ ඇය නමින් රඟහලක්ද නම් කර තිබේ.

බැරිමොර් පවුලේ තෙවැන්නා වූ ජෝන් සිඩ්නි බ්ලයිත් කලා ක්ෂේත්‍රයට ජෝන් බැරිමෝර් නම් විය. වේදිකාවට, සිනමාවට මෙන්ම ගුවන්විදුලියටද ජෝන් බැරිමෝර්ගේ දායකත්වය ලැබිණි. 1903 වසරේදී ඔහු වෘත්තිය රංගනය ආරම්භ කළේ වේදිකාවෙනි. Justice, Richard III, Hamlet  වේදිකා නාට්‍ය ඒ අතර කැපි පෙනුණු නිර්මාණ විය. හැම්ලට් නාට්‍යයේ සාර්ථකත්වයෙන් පසු 1925දී ජෝන් බැරිමෝර් සිනමා ක්ෂේත්‍රය වෙත යොමු වූයේය. Dr. Jekyll and Hyde, Sherlok Holmes, The Sea Beast වැනි නිර්මාණ සඳහා ද ඔහු රංගනයෙන් දායක විය. ජෝන් බැරිමෝර් කුඩා වියේ පටන්ම මත්පැනට ඇබ්බැහිවූවෙක් විය. හෙතෙම සිව්වරක් විවාහ විය. සුප්‍රසිද්ධ ඩයනා බ්ලාන්ෂේ බැරිමෝර් සහ රංගන ශිල්පී ජෝන් ඩෲ බැරිමෝර්, ජෝන් බැරිමෝර්ගේ දරුවන්ය.

ඩයනා බැරිමෝර් ජෝන්ගේ දෙවැනි විවාහයේ දියණිය යි. ඇය තරුණ වියේදීම අමෙරිකානු රංගකලා පාසලේ අධ්‍යාපනය ලබා 1941 වන විට සිනමාවට සම්බන්ධ වූවාය. Manpower, Eagle Squadron, Noghtmaro, Fird Wife වැනි චිත්‍රපට සඳහා ඇය රංගන දායකත්වය ලබා දුන්නාය. ඩයනා බැරිමෝර් සිව්වරක් විවාහ වූවාය. පළමු විවාහය රංගන ශිල්පී බ්‍රැම්වෙල් ෆ්ලෙචර් සමඟින් සිදු වූ අතර සිව්වැනි විවාහය සිදුවූයේ හොලිවුඩ් නළු රොබට් විල්කොක්ස් සමඟිනි.

තම පියාගේ අඩිපාරේ යමින් බැරිමෝර් පවුලේ සාමාජිකයන්ගේ ආභාෂයෙන් ජෝන් ඩෲ බැරිමෝර් රංගන දිවිය ආරම්භ කරන ලද්දේ වයස අවුරුදු දහඅටේදීය. ජෝන් ඩෲ බැරිමෝර්ටද විවාහ වීමෙන් අඩුවක් නොවීය. නිළි කාරා විලියම්ස් සමඟ 1952 වසරේදී විවාහ වී 1959 වසරේදී දික්කසාද විය. ජේයිස් සමඟ විවාහයේ දියණිය වන ඩෲ බැරිමෝර් වර්තමානයේ සුප්‍රකට හොලිවුඩ් නිළියකි එසේම නිෂ්පාදිකාවකි. නමුත් සුරූපි ඩෲගේ ජීවිතයේ මුල් අවදිය එතරම් සාර්ථක එකක් නොවීය. ළාබාල අවදියේදීම මත් පැනට හා මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ ඩෲ නිරුවත් ඡායාරූප සඳහා පෙනී සිටීම සම්බන්ධයෙන්ද ප්‍රසිද්ධ වූවාය. කෙසේ නමුත් පසුව එයින් මිදී යළිත් සිනමාවේ රංගන ශිල්පිනියක සේම නිෂ්පාදිකාවක ලෙසින් සාර්ථක වන්නට ඇයට හැකි විය.

ඩෲ බැරිමෝර් කලා ක්ෂේත්‍රයට පිවිසියේ වයස අවුරුදු එකොළහේදී වෙළෙඳ දැන්වීමක් සඳහා පෙනී සිටිමිනි. 1980 වසරේදී ඇය සිය සිනමා දිවිය ආරම්භ කරන ලද්දේ Altered States  චිත්‍රපටයෙනි. 1982 වසරේදී ස්ටීවන් ස්පිල්බර්ග් නිර්මාණය කළ ඊ.ටි. නම් විද්‍යාප්‍රබන්ධ චිත්‍රපටයේ රංගනය ඇයගේ රංගන ජීවිතයේ සුවිශේෂිම කඩඉම ලෙසින් සටහන් විය. හොලිවුඩය ඇය ළමා නිළියක ලෙසින් ඇය හඳුනා ගත්තේ එයිනි. Poison lvy, Bad Girls, Boys on the Side, Every One Says I Love You වැනි චිත්‍රපට තුළින් ඩෲ බැරිමෝර් යොවුන් නිළියක ලෙසින් තිරයට පැමිණියාය. අනතුරුව Cat’s Eye, Guncrazy, 3 Ninjas, Charle’s Angels, Music and Lyrics, Whip It, Lucky You  වැනි චිත්‍රපට රැසක් ඇය සිය රංගනයෙන් ඔපවත් කළාය.

Little Girle Lost කෘතිය ඇය රචනා කළේ ඇයගේ ජීවිත කතාවෙනි. ආගමික චාරිත්‍රානූකූලව ඇයගේ කැපකරු පියා වූයේ චිත්‍රපට අධ්‍යක්ෂ ස්ටීවන් ස්පිල්බර්ග්ය. මව වූයේ නිළි සොෆියා ලේරේන් ය. ඇය නිරුවත් ඡායාරූප සඳහා පෙනී සිටි අවදියේදී ස්පිල්බර්ග් ඇයගේ නිරුවත් ඡායාරූප වලට දක්ෂ මෝස්තර නිර්මාණකරුවෙකු ලවා ඇඳුම් අන්දවා ‘මා ඔබ දකින්නට කැමැති මේ විදියට යැයි’ දන්වා යැවූ බව ප්‍රකට පුවතකි. සිය ජීවිතයේ විවිධ හැළහැප්පීම් රැසක් මැද ඩෲ තෙවරක් විවාහ දිවියට පත් වූවාය. ඇයගේ තෙවැනි විවාහය සිදු වූයේ හොලිවුඩ් රංගන ශිල්පියෙක්, නිෂ්පාදකවරයෙක් සේම අධ්‍යක්ෂවරයෙකුද වන ටොම් ගී‍්‍රෆ් සමඟිනි. ඩෲ ක්ෂේත්‍රයේ තම මිතුරියක වන අමෙරිකානු චිත්‍රපට නිෂ්පාදිකා නැන්සි ජුවාන් සමඟින් එක්ව අරම්භ කළ ෆ්ලවර් ෆිල්ම්ස් නිෂ්පාදන ආයතනය සාර්ථක නිර්මාණ රැසක් ක්ෂේත්‍රයට එකතු කරන්නට සමත් විය.