වර්ෂ 2015 ක්වූ ජූනි 11 වැනිදා බ්‍රහස්පතින්දා




‘ඇඩ්‍රස් නෑ’ පූර්ව ප්‍රචාරක කටයුතු සබීතාගේ හඬින්

‘ඇඩ්‍රස් නෑ’ පූර්ව ප්‍රචාරක කටයුතු සබීතාගේ හඬින්

සබීතා පෙරේරා කියලා කියන්නේ මෙරට සිනමා ඉතිහාසයේ යුගයක් නියෝජනය කළ නිළියක්. සිනමාවට ඇවිත් දශක කිහිපයක් ගත වුණත් සබීතා නම් තවමත් හැඩයි. මේ හින්දම වෙන්න ඇති ඇයට චිත්‍රපටවල එකිනෙකට වෙනස් චරිතවලට නිතරම ආරාධනා ලැබෙන්නේ. සබීතා මේ ළඟදී දවසකත් එහෙම චිත්‍රපටයක රඟපාලා. හැබැයි ඇය කියන පරිදි නම් එම චිත්‍රපටයේ තරම් වෙනස්ම චරිතයක් සබීතා මීට කලින් රඟපාලා නැතිලු.

චිත්‍රපටයේ නම ඇඩ්‍රස් නැහැ. අධ්‍යක්ෂණය කළේ අපේ ජැක්සන් ඇන්තනි. වෙනස්ම ඇඳුමකින් සැරැසිලා කතාබහ කරන සුපුරුදු ශෛලයෙන් මිදිලා සබීතා එහි රඟපාන චරිතය ඇත්තටම හරිම අපූරුයි. ඇඩ්‍රස් නැහැ සිනමාපටයේ විශේෂ දර්ශන කිහිපයක්ම පසුගිය දිනවල පැවැත් වුණා. ඒ හින්දා ක්ෂේත්‍රයේ වැඩි දෙනෙකුට චිත්‍රපටයේ රහ මෙන්ම සබීතාගේ සොඳුරු රංගනය දැකගන්නට ලැබුණා. ඔන්න එදා ඉඳලා සබීතා දන්න දන්න අයගෙන් අහනවලු ඇඩ්‍රස් නැහැ කොහොමද කියලා. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ චරිතය ගැනත් විමසනවලු. දැන් බොහෝ දෙනෙක් සබීතාට කතා කරන්නේ ඇඩ්‍රස් නෑ ගැන කියන්න කට හදාගෙනලු.

කොහොමෙන් කොහොමෙන් හරි සබීතා හින්දා ඇඩ්‍රස් නෑ චිත්‍රපටයේ ප්‍රචාරණ වැඩ කටයුතුත් පටන් අරගෙන. තවම ජැක්සන් චිත්‍රපටය පබ්ලිෂ් කරන්න හිතලවත් නැතුව ඇති. නමුත් ඕං සබීතා නම් වැඩ අල්ලලා. මෙහිදී වැදගත් දෙයක් සටහන් කළ යුතුමයි. ඒ මොකක්ද දන්නවද? සාමාන්‍යයෙන් චිත්‍රපටයක ප්‍රචාරණ කටයුතුවලට එහි රඟපෑව නළුවෙක් නිළියෙක්ව අල්ල ගන්න මාදැල් දාන්න ඕනනෙ.

ෂූටිං තියෙන කාලෙ පැල් බැඳගෙන සහයෝගයෙන් කටයුතු කළාට ප්‍රචාරණයට ඔවුන්ව එකතු කිරීම ලාහෙට ගෙම්බො එකතු කරනවා වගේ අසීරුයි. එවන් කාලෙක සබීතා වගේ කෙනෙක් තමන් රඟපෑව චිත්‍රපටයකට කවුරුවත් කියන්නට පෙරම ප්‍රචාරණ කටයුතු ඇරැඹීම අගය කළ යුතු කටයුත්තක්.