වර්ෂ 2015 ක්වූ ජූනි 11 වැනිදා බ්‍රහස්පතින්දා




මං අඩ නිරුවත් චරිත රඟපාන්නේ නැහැ

මං අඩ නිරුවත් චරිත රඟපාන්නේ නැහැ

විජය කුමාරතුංගයන් සිනමාවට පිවිසුණේ සරසවිය පුවත්පතේ පළ වූ දැන්වීමක් අනුවය. ඔහුට මෙන්ම තවත් බොහෝ පිරිසකගේ රංගන ගමනෙහි මූලාරම්භය වූයේ ද සරසවිය සිනමා පුවත්පතයි. මේ තැනැත්තිය ද රංගනයට අත්පොත් තැබුවේ සරසවියෙනි. කලක් අප සරසවියේ පළ වූ රංගන වරම් විශේෂාංගයට එකතු වූ ඇය තම සිහිනය යථාර්ථයක් බවට පත් කර ගත්තීය.

ඇය රෝෂිණී අබේබණ්ඩාරයි. රෝෂිණී සරසවියේ අත්වැලෙන් රංගනයට පිවිසුණා සේම තමන් පිළිබඳ පුවත්පතක මුල්වරට කියැවෙන්නේ සරසවියේ බව කියා සිටියාය.

රෝෂිණී මා පැවසු ආකාරයට ඔබ බෙහෙවින් වාසන්වන්තයි?

ඇත්තටම ඔව්. මම හැම සතියකම සරසවිය පුවත්පත බලනවා. මං දැනගෙන හිටියා සරසවිය හරහා බොහෝ පිරිසක් රංගන ලොවට හඳුන්වා දුන්නයි කියලා. ඒ බලාපොරොත්තුවෙන් තමයි මං සරසවිය කියෙව්වේ. පත්තරේ මගේ පළ වූ පින්තූරයක් දැකලා මට කතා කළා ස්ක්‍රීන් ටෙස්ට් එකකට. ඒ විරාජ් වර්ණකුලසූරිය කියලා කෙනෙකුගේ. එතෙන්දි මට අවස්ථාව හිමි වුණා බොරළු පාර නාට්‍යයේ රඟපාන්න.

මොකක්ද ඔබ එහි රඟපෑ චරිතය?

පොලිස් නිලධාරිණියක්.

එදා බොහොම සතුටු හිතෙන්න ඇති?

කාලාන්තරයක් තිස්සේ තිබුණු සිහිනයක් සැබෑ වුණාම සතුටු නැතිද? හිතේ සතුට තිබුණත් පොලිස් චරිතයක් හින්දා මුහුණට රෞද්‍ර පෙනුම අරගෙන රඟපෑවා.

ඊට පසුව ඔබ රඟපෑ ටෙලි සිතුවම් මොනවාද?

මං ගොඩක් අය හඳුන ගත්තේ බොරළු පාර ටෙලි නාට්‍යයේ රඟපෑවට පස්සේ.

සුළු වුවත් ලැබුණු චරිතය හරියට කළ නිසා නාට්‍ය බොහොමයකට මට ආරාධනා කළා. කෝපි කඩේ, තූර්යා, අහංකාර ස්ත්‍රී, ඇය මගේ දියණියයි, එළකිරි කඩේ, සිහින ටවුම, හේමලයා.

මේ නාට්‍යවල චරිත අතරින් ඔබව වඩාත් ජනප්‍රිය කළ චරිතය ගැන මං ඇහැව්වොත්?

ඇය මගේ දියණියයි නාට්‍යයේ වර්ශාගේ චරිතයට මිනිස්සු හරියට ආදරය කළා. ඒ නමින් තමයි මාව තවම ක්ෂේත්‍රයේ වැඩි දෙනෙකු හඳුනන්නේ. මමත් උපරිම සාධාරණය වර්ශා වෙනුවෙන් කළා.

ඔබගේ රුව අප රටේ තවත් ජනප්‍රිය නිළියකට සමානයි?

ඒ කවුද කියලා කියන්නකො.

ආශා එදිරිසිංහ?

මං ආශා වගේ කියලා මට කියන අය බොහොමයි. මගේ මුහුණෙ පැත්තෙන් කාංචනා මෙන්ඩිස් වගේ කියලත් කියනවා.

මොකද හිතෙන්නේ එහෙම කියන කොට?

විශේෂ මුකුත් නැහැ. කවුරු කොහොම මගේ හැඩ කිව්වත් රෝෂිණී කියන්නේ රෝෂිණීට. ඇතුළාන්තයෙන් එයා කවුරුවත් වගේ වෙන්නේ නැහැ.

ක්ෂේත්‍රය ගැන රෝෂිණී දරන්නේ මොන වගේ මතයක්ද?

ක්ෂේත්‍රය හොඳයි. හැබැයි සුදුස්සාට සුදුසු තැන නැති එකයි ගැටළුව. වෙනවෙන දේවල්වලට තැන තිබුණට හැකියාවට තැනක් නැහැ.

ඔබ පවසන පරිදි ක්ෂේත්‍රයේ කාටද තැන තියෙන්නේ?

ඇත්තම කිව්වොත් පියරු බබාලට මේ ක්ෂේත්‍රයේ හොඳ තැනක් තියෙනවා. හැකියාවක් ඕනෑ නැහැ. ලස්සනට ඇඳලා කරලා හිටියොත් ඇති. ඒ අයට තමයි වැඩිපුර තැනක් ලැබෙන්නෙත්.

ඔබ කාත් එක්ක හරි ද්වේෂයෙන් ද මේ කතා කරන්නේ?

අපෝ නැහැ. මම අවංකවම පොදුවේ, ඇත්ත මේ කතා කළේ. වදින අයට වදීවි.

සාමාන්‍යයෙන් පිටපතක් ලැබුණාම මං චරිතය හොඳින් ග්‍රහණය කර ගන්නවා. ඊට පසු එයට ආරූඪ වෙනවා. මට කරන්න පුළුවන් චරිත විතරයි මං බාර ගන්නේ.

ඒ කියන්නේ ඔබට රඟපාන්න බැරි චරිතත් තියෙනවා?

නැහැ නැහැ. මට එහෙම චරිත ලැබිලා නැහැ. මම මෙතුවක් කල් පණ පෙව්වේ මට පුළුවන් චරිත. මං කිව්වේ අඩ නිරුවත් චරිත මං කරන්නේ නැහැ කියන එකයි.

ඔබ ඇයි චිත්‍රපටවල නැත්තේ?

මං වැඩිපුරම ඉන්නේ ටෙලි නාට්‍යවලනෙ. අපේ ක්ෂේත්‍රයේ අය ටෙලිවල ඉන්න නිළියන්ව චිත්‍රපටවලට සම්බන්ධ කර ගැනීමට යම් මැලිකමක් දක්වනවා. ඇතැම් විට ටෙලි නාට්‍යවල දැකලා දැකලා ඒ අයව චිත්‍රපටයකට ගත්තොත් මිනිස්සු නිතර දකින නළු නිළියන්ව බලන්න සිනමාහල්වලට එන්නේ නැති වේවි කියන බයට වෙන්න ඇති.

ඔබ හිතන විදිහට ඔබගේ මුහුණ වඩාත්ම ගැළපෙන්නේ ටෙලි නාට්‍යවලට ද සිනමාවට ද?

ඒක මට තීරණය කරන්න බැහැ. මොකද මාව ගැළපෙන්නේ කුමන චරිතයකට ද කුමන මාධ්‍යයට ද කියලා තීරණය කරන්නේ අධ්‍යක්ෂවරයා හෝ කැමරා අධ්‍යක්ෂවරයා. ඔවුන්ගේ තීරණවලට මං එකඟ වෙනවා. ඒ අය විසින්ම කවදා හෝ මාව සිනමාවට ගනීවි. එතෙක් මා ඉවසාගෙන ඉන්නවා.

රෝෂිණී සාමාන්‍යයෙන් පැරැණි චිත්‍රපට නරඹනවාද?

අනිවාර්යයෙන්ම. මං අපේ රටේ පැරැණි චිත්‍රපටවල ඩී. වී. ඩී. හොයාගෙන බලනවා. ඊයේ පෙරේදා බැලුවා එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටය.

ඒ කාලෙනෙ රෝෂණී ඉන්න තිබුණේ?

අනේ ඔව්. මට අනන්තවත් එහෙම හිතෙනවා. ඒ කාලේ හිටියා නම් විජය කුමාරතුංග මහත්මයා එක්කත් රඟපාන්න තිබුණා.

රෝෂිණී ළඟදීම රැකියාවෙන් අයින් වෙනවලු නේද?

මට හිතෙනවා පූර්ණාකාලීනව රංගනයේ නියැලෙන්න. ජොබ් කර කර රඟපාන්න අමාරුයි.

අවදානමක් නේද මේ බාර ගන්න හදන්නේ? හැමදාම රංගන අවස්ථාවන් ලැබෙන්නේ නැහැ?

කමක් නැහැ. මගේ ජීවිතයේ අංක එක රංගනය. අභියෝග අභියෝග කරගෙන මං කලාවේ ඉදිරියටම යනවා.

පෙම්වතකු ඉන්න දවසකටත් ජීවිතයේ අංක එක රංගනයටද?

තවම පෙම්වතකු නැහැනෙ. කවද හරි සුදුසු කෙනෙකු මට ලැබේවි. එදාට සමහර විට අංක එක තැන තියෙන දේවල් වෙනස් වේවි.

රෝෂිණි ගොඩක් විලාසිතා කරනවා වගෙයි?

රෝෂිණී ගැන කෙටි විස්තර කිහිපයක්

ගම - නුවර

වර්තමාන පදිංචිය - මාලඹේ

උපන් දිනය - ජනවාරි 25

පවුලේ විස්තර - අම්මයි තාත්තයි, මල්ලියි.

ඉදිරියේදී රෝෂණී දකින්නට ලැබෙන නිර්මාණ -

ටිකිරි රත්නානයකගේ හේමලයා

නැත්නම්. මේ කාලේ විලාසිතා කරන්නේ නැතුව නාකි වෙලා කරන්නයැ. ඒ හින්දා පුළුවන් තරම් විලාසිතා කරනවා.

කෝපි කඩේ කරන්න ගිහින් වෙලක නිදා ගත්තා කියන්නේ ඇත්තද?

නිදාගත්තේ නැහැ අනේ. මේකයි වුණේ. එක දර්ශනයක් තිබුණා වෙලක් මැදින් මට දුවන්න. මං පුළුවන් තරම් හයියෙන් දිව්වා. දඩස් ගහලා මාව බිමටම වැටුනණෙ. බලාගෙන හිටපු අයට හොඳටම හිනා.

කොහොමද රෝෂණීගේ ඉදිරිය?

රංගනයෙන්ම ඉදිරියට යනවා. කවදා හරි සම්මානයකුත් දෝතට අරගෙන තමයි පස්ස බලන්නෙ.