වර්ෂ 2015 ක්වූ ජූනි 11 වැනිදා බ්‍රහස්පතින්දා




අපි පණ්ඩිතයි කියලා අසන්නිය බැන්නා

අපි පණ්ඩිතයි කියලා අසන්නිය බැන්නා

සියත නාලිකාවේ මියුසික් එක්ස්ප්‍රස් ගෙනෙන හිරූෂ

වැඩසටහන් මෙහෙය වන්නකු ලෙස හිරූෂ ගුණරත්න ඔබගේ නිවහනට පැමිණෙන්නේ සියත රූපවාහිනියේ විකාශය වන ‘මියුසික් එක්ස්ප්‍රස්’ සංගීත වැඩසටහන ඔස්සේ ය. සෑම සඳුදා හා සෙනසුරාදා දිනවලම මේ වැඩසටහන මගින් ඔබ හමුවට පැමිණෙන ඔහු සිය කලා ගමන්මග පිළිබඳ අප සමඟ කතාබහක යෙදුණේ මෙසේයි.

‘මියුසික් එක්ස්ප්‍රස්’ කියන්නේ මොනවගේ වැඩසටහනක් ද?

අනෙක් රූපවාහිනිවල වගේ හවසට යන මේ වැඩසටහන නිර්මාණය වෙන්නේ සංගීත වැඩසටහන් කියන අංශය ඔස්සේ. එන්ටර්ට්‍රේට්මන්ට් වැඩසහනක් වන මෙහිදි අපි තෝරාගත් ගීත විකාශය වෙනවාට අමතරව නරඹන්නන්ගේ ඉල්ලීම්වලටත් මූලිකත්වය ලබා දෙනවා. ඒ අතරම මේ වැඩසටහනට කලාකරුවෙක් ගෙන්වලා කතාබහ කරන්නත් අපි අමතක කරන්නේ නැහැ.

මේ වැඩසටහනේ ප්ලේ කරන්න මුල්තැන ලබාදීලා තියෙන්නේ මොනවගේ ගීතවලටද ?

සිංහල ගීතවලටයි මුල්තැන ලබාදීලා තියෙන්නේ. එතැනදි නවක ගායක - ගායිකාවන්ගේ ගීතයි අපි වැඩිපුරම ප්ලේ කරන්නේ. ඊට අමතරව නරඹන්නන් ඉල්ලන ඉංග්‍රීසි ගීත වුණත් අපි ප්ලේ කරනවා.

ඔබ නිවේදන වෘත්තියට පා නගන්නේ කොහොමද ?

චරුද් ගුණරත්න කියන මගේ පොඩි අයියා නිසයි මට මේ අවස්ථාව ලැබෙන්නේ. ඔහුගේ ‘ඉදිකටු තුඩකට’ ගීතයට සියත රූපවාහිනියෙන් වැඩසටහනකට පැමිණෙන්නැයි ආරාධනා ලැබෙනවා. මේ ගීතයේ විෂුවල් එකට මම වගේම ලොකු අයියත් ඉන්න නිසා අපි තිදෙනාටමයි වැඩසටහනට සහභාගි වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ වැඩසටහන අවසන් වනවාත් සමඟම මියුසික් එක්ස්ප්‍රස් වැඩසටහනට නිවේදන කටයුතුවලට එන්න පුළුවන්ද කියලා මගෙන් විමසනවා. ඊළඟටයි ඒ සඳහා තිබෙන පරීක්ෂණයට මා සහභාගි වන්නේ. පරීක්ෂණයෙන් සමත් වන මම මේ වැඩසටහන මෙතෙක් දිගටම කරගෙන ආවා.

පාසල් කාලයේ දි නිවේදන කටයුතු කිරීම මගින් ආදී ලැබූ අත්දැකීම් මේ වෘත්තියට යම් බලපෑමක් කරන්න ඇති නේද?

මම පාසල් ගියේ රාජකීය විද්‍යාලයටයි. ඇත්තම කිව්වොත් එහි සිටි කාලය ඇතුළත කිසිම කලා කටයුතුත්තකට මා සහභාගි වෙලා නැහැ. අඩුම ගණනේ ගීතයක් ගයන්නවත් මා පාසල් වේදිකාවට නැඟලා නැහැ. එහෙම වුණත් ක්‍රීඩාවට නම් මා ප්‍රිය කළා. විශේෂයෙන්ම රග්බිවලට මගේ කැමැත්තක් තිබුණා. පාසලේ දි මා රග්බි සෙල්ලම් කළා. ඒ වගේම බොඩි බිල්ඩින්වලටත් මා ඉදිරිපත් වුණා. ඒත් මොකක්දෝ හේතුවක් මත නිවේදන කටයුතු කරගෙන යන්නට මට හැකිවුණා.

නිවේදන කටයුතු පිළිබඳ කිසිම අත්දැකීමක් නොතිබුණු ඔබ තමන්ට ලැබුණු අභියෝගය බාර ගත්තා.

මතීෂයි මට මේ වැඩසටහනට පැමිණෙන්න කියලා ආරාධනා කරන්නේ. ඊට මාව තේරුණත් මෙහි නියැළිලා නොමැති නිසා ටිකක් බලමු කියලා මම ඔහුට කිව්වා. නිවේදන කරන අය දෙස බලා සිටියා. මෙවන් වැඩසටහන් ලෝකයේ අනෙක් රටවලත් තිබෙන නිසා ඒවායේ ස්වභාවය පිළිබඳත් විමසා බැලුවා. පුහුණුවීම් කළා. මේ ඔස්සේ මා නිවේදන කටයුතුවලට පා නැඟුවා.

ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?

සිතුවටත් වඩා ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. ඒවා මා දිරිමත් කරනවා.

ඊළඟට මේ අංශයෙන්ම ඉදිරියට යන්න ද ඔබ සිතාගෙන ඉන්නේ ?

නැහැ. මගේ අධ්‍යාපන කටයුතුවලටයි මා මූලිකත්වය ලබා දී ඇත්තේ. ඕ ලෙවල්වලින් පස්සේ මා ඇමෙරිකන් නැෂනල් කොලේජ් එකට ඇතුළත් වුණේ ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ හදාරන්නයි. ඒ කටයුතුත් සමඟ නිවේදන කටයුත්තේ නියැළෙන්නටත් මා කැමැතියි.

නිවේදනය හැදෑරිය යුතු දෙයක් කියලා ඔබ අදහස් කරනවද?

නිවේදනයේදී වචන හැසිරවිය යුතු ආකාරය පිළිබඳ දැනුවත් බවකින් යුක්ත නම් ඒ තැනට උචිත විදියට කතා කිරීමට දන්නේ නම් අමුතුවෙන් ඉගෙන ගතයුතුයි කියලා මම සිතන්නේ නැහැ.

ඒ කියන්නේ නිවේදකයෙක් වෙන්න ඉගෙන ගන්නට උවමනාවක් නොමැති වගද ඔබ ඔය පවසන්නේ ?

ඉගෙන ගන්නත් උවමනයි. ඒ මගින් වැඩි දෙයක් ලබා ගන්න පුළුවන්. අද ගොඩක් මෙතැනට ඇවිත් ඉන්න අය මේ වෘත්තිය පිළිබඳ ඉගෙන ගත් අය නොවෙයි. කතා කරන්න හැකියාව තියෙනවා නම් පුළුවන් නම් නිවේදනයේ නිරත වුණාට කමක් නැහැ.

ඔබට නිවේදනය හදාරන්න අදහසක් එහෙම තියෙනවද?

ඉස්සරහට බලන්න ඕනෑ. මියුසික් වැඩසටහන්වලට කතා කරන විදිය පුරුදු වෙලා තියෙන නිසා ඒ ගැන බලන්න ඕනෑ. කාලය හොයා ගන්න එකයි තියෙන ප්‍රශ්නය වන්නේ.

නිවේදනයේදි ඔබ භාෂා දෙකම කතා කරනවාද ?

මම පරීක්ෂණයේදි භාෂා දෙකෙන්ම කතා කළා. අපට දුරකථන ඇමතුම් දෙන නරඹන්නන් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන අයත් ඉන්නවා. ඒ අයට කතා කරන්න නම් අප ඒ භාෂාව දත යුතු වෙනවා.

මා විමසන්නේ භාෂා දෙකම කලවම් කරලා කතා කරනවාද යන්නයි?

අපට කතා කරන නරඹන්නන් සමඟ කතා කරන විට අපි මේ භාෂා දෙකම මිශ්‍රණයකින් යුතුව කතා කරනවා. උදාහණයක් ගත්තොත් විරාමයක් කියලා කියන්නේ බ්‍රේක් එකක් කියලා. ඒ වගේ සිංගිලිෂ් භාෂාවක් අපි වැඩසටහනේදි භාවිත කරනවා. දැන් තියෙන ජෙනරේෂන් එක ඒකයි.

මේ වගේ භාෂාවක් කතා කරලා ඔබ බැණුම් අහලා එහෙම තියෙනවද?

අපොයි ඔව් ඕනෑතරම් තියෙනවා. ඒ කතා කරන අය සමහර විට අපට ඔවුන් කැමැති නම් හොඳ කියනවා. නැතිනම් කතා කරලා බණිනවා.

එහෙම තත්ත්වයකට මුහුණ දුන් අවස්ථාවක් ඔබගේ මතකයේ රැඳීලා තියෙනවද?

එහෙම අවස්ථාවක් මට මතකයි. දවසක් අපේ වැඩසටහන නරඹන නරඹන්නියක් කතා කළා. එදා වැඩසටහන කළේ අපි දෙන්නෙක්. අපි දෙන්නටම බැන්නා. ඒ ඔයාලා බොහොම පණ්ඩිතයි කියලා. සමහර වෙලාවකට අපි වැඩසටහන නග්ගලා තියන්න ඕන නිසා අපට කතා කරන අයව සිනහ ගන්නවලා, ඒ අයව බයිට් කරලා පුංචි වෙනසක් කරනවා. ඒ අපට කතා කරන හැමෝගෙන්ම එකම ප්‍රශ්නය අහන්න බැරි නිසා. එහෙම වෙලාවලදි අපි කරන විහිළු තේරෙන්නේ නැති අයත් ඉන්නවා. එහෙම කෙනෙක් තමයි අපට එදත් කතා කරලා තිබුණේ.

ඒ බැන්න කෙනාට ඔයාලත් බැන්නා?

එහෙම නෙවෙයි අපට කතා කරන අය කොයි කවුරුත් එකයි. ඒ විදියට සමහර අය බැන්නත් ෂේප් කර ගන්න අපි දැන ගන්න ඕනෑ. එයාව සංසුන් කරලා ගාණට ඒ කටයුත්ත මෙහෙයවන්න අපිට පුළුවන් වෙන්න ඕනෑ. ඒ වෙලාවේ අපි එයාට කිව්වේ ඔය විදියට අපිට කතා කරන්නේ වැඩිපුරම ආදරය කරන අය කියලයි.

ඔබ රඟපාන්නත් යොමුවෙලා ?

අයියාගේ වීඩියෝ එකේ තමයි රඟපෑවේ. ඒ සඳහා සහභාගී වුණෙත් අයියා බල කරලාම කිව්වා විඩියෝ එකේ රඟපාන්න ඕනම කියලා. ඒ වනවිට ඇඳුම් ඇතුළු සියල්ල සූදානම් කරලයි තිබුණේ. අවසන් අවස්ථාවේ වැඩේට නොඉඳ පැනලා යන්නත් සිතුණා. කොහොම වුණත් ඒ ගැන හිතලාම මට එදා එළිවනතුරුම නින්ද ගියෙත් නැහැ.

අනාගත බලාපොරොත්තු මොනවද?

අධ්‍යාපක කටයුතුවලින් ඉදිරියට යන්නයි මා සිතා ගෙන ඉන්නේ. නිවේදන කටයුතුවලත් නිරත වෙන අතරතුරම ක්‍රීඩාවටත් යොමු වෙන්න කැමැතියි.

ඔබ පෙම්වතෙක් ද?

මම පෙම්වතෙක් නොවෙයි. ආරාධනා ලැබිලා තිබුණත් මම සොයන කෙනා හමුවනතුරු ඒ වගේ සම්බන්ධයක් ආරම්භ කන්නේ නැහැ.

පවුලේ විස්තර ගැනත් යමක් කියමුද?

අපේ පවුලටම ඉන්නේ කොල්ලෝ හතර දෙනෙක්. ලොකු අයියා ෂවිඳු. අයියලා දෙන්නාම ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයකයි ඉගෙන ගන්නේ. මල්ලි තවම පුංචියි. තාත්තා ව්‍යාපාරික කටයුතුවල නියැළෙනවා. අම්මා නම් අපිව බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා.