වර්ෂ 2015 ක්වූ ජූනි 11 වැනිදා බ්‍රහස්පතින්දා




හෝගානා පොකුණෙන් අසමසම වාර්තාවක්

හෝගානා පොකුණෙන් අසමසම වාර්තාවක්

ලාංකික සිනමා ඉතිහාසයේ සහ ලෝක සිනමාවේද විශේෂ සටහනක් තබමින් ඉන්දික ෆර්ඩිනැන්ඩු නිර්මාණය කරන ලද හෝගානා පොකුණ චිත්‍රපටය චෙක් ජනරජයේ ස්ලින් නගරයේ පැවැති 55 වැනි අන්තර්ජාතික ළමා හා යොවුන් සිනමා උළෙලේදී සිටි ඔෆ් ස්ලින් සම්මානය දිනා ගැනීමට සමත් විය. ලොව දැනට පවතින පැරැණිතම ළමා හා යොවුන් සිනමා උළෙල වන ස්ලින් සම්මාන උළෙල ආරම්භ කරන ලද්දේ 1961 වසරේදීය. ඒ චෙක් ජනරජය හා ස්ලෝවැකියාව ඒකාබද්ධව චෙකොස්ලෝවැකියාව ලෙස පවතිද්දීය. මෙවර සිනමා උළෙලේ පිරිනැමුණු සම්මානයේ විශේෂත්වය වනුයේ චිත්‍රපටයේ ළමා චරිත රඟපෑ දරුවන් 18 දෙනාගේ රංගනය මෙන්ම අධ්‍යක්ෂණය වෙනුවෙන් ද එම සම්මානය උරුමකම් කීමය.

ඉන්දික ෆර්ඩිනැන්ඩු නිර්මාණය කරන ලද හෝගානා පොකුණ චිත්‍රපටයේ තිෂක්යා කුමාරතුංග, අන්ජලී වික්‍රමසිංහ, සත්සර ජයසූරිය, නෙත්ප්‍රිය මනුභාෂිත, සෙනිත් වල්පිට ගමගේ, සෙතිකා ගුණසිංහ, නිහංස දිසානායක, විනෝද් සලීම්, උදාර පෙරේරා, කිමුතු ලියනආරච්චි, නලීෂා දිනෙත්මි, වාසනා පතිරණ, මලිෂා මුතුආරච්චි, විශ්මි සත්සරණ, දේශාන් අබේවීර, විනුම් සන්ද්‍රසාගර, නෙස්ටා මනෙත්, නවෝදා හංසනී හෝගානා පොකුණ චිත්‍රපටයේ ළමා චරිත වෙනුවෙන් පණ පොවති. ලූෂන් බුලත්සිංහල, ජයලත් මනෝරත්න, අනසුයා සුබසිංහ, දයාදේව එදිරිසිංහ, ජයනි සේනානායක, හයසින්ත් විජේරත්න, සැනට් දික්කුඹුර, ගීතා කාන්ති ජයකොඩි, අමා විජේසේකර ආදී නළු නිළියන් රැසක් මෙහි චරිත මවති.

මෙම සිනමා උළෙලේදී හොඳම වෘතාන්ත ළමා චිත්‍රපටය ලෙසින් Birds of Passage, හොඳම යොවුන් චිත්‍රපටය ලෙස Behaviour, හොඳම සජීවකරණ ළමා චිත්‍රපටය ලෙස The Elephant and the Bicycle හොඳම යුරෝපීය වෘතාන්ත චිත්‍රපටය ලෙස Confetti Harvest  සම්මාන දිනා ගත්තේය.