වර්ෂ 2015 ක්වූ ජූනි 11 වැනිදා බ්‍රහස්පතින්දා




හෙට රයිගම් උළෙලේ සිරිල් - අනුලාට ඉහළම සම්මාන

හෙට රයිගම් උළෙලේ සිරිල් - අනුලාට ඉහළම සම්මාන

මෙරට විශිෂ්ටතම රංගනවේදීන් අතර සිටින සිරිල් වික්‍රමගේ සහ අනුලා කරුණාතිලක හෙට පැවැත්වෙන රයිගම් ටෙලීස්හි ජීවිතයට එක් වරක් පමණක් පිදෙන ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානයට පාත්‍ර වෙයි.

ප්‍රතිභාපූර්ණ චරිතාංග රංගන ශිල්පීයෙකු වූ සිරිල් හඳපාන සිනමා සිතුවමේ ගුණදාසගේ චරිතයට පණ පොවමින් සිනමාවට එක් විය. අනුලා කරුණාතිලක රංගනයට එකතු වන්නේ ගම්පෙරළිය සිනමාපටයේ ලැයිසාට පණ පොවමිනි.


සනත්ගේ සිනහව අතරින් තිර නාටකය අද දොරට වඩී

සනත් ගුණතිලකගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය වන සිනහව අතරින් චිත්‍රපටයට පාදක වූ සිනමා තිර රචනය ග්‍රන්ථයක් වශයෙන් එළිදැක්වීම අද සවස 3 ට ජාතික පුස්ථකාල ශ්‍රවණාගාරයේදී සිදු වේ. සනත් මෙයට ප්‍රථම ඔහු විසින් රචිත සිසිල ගිනි ගනී සිනමාපටයේ ද තිර රචනය ග්‍රන්ථයක් වශයෙන් එළි දැක්වීය. සිසිල ගිනි ගනී ප්‍රසන්න විතානගේ ගේ අධ්‍යක්ෂණයකි. සිනහව අතරින් තිර නාටකය නුගේගොඩ සරසවි ප්‍රකාශනයකි. සිනහව අතරින් චිත්‍රපටය සුනිල් ටී. ප්‍රනාන්දුගේ නිෂ්්පාදනයකි.


කෝටි හතයි දින පනහයි

උදයකාන්ත වර්ණසූරිය නිර්මාණය කළ ගින්දරී – බහුබූතයෝ 2 චිත්‍රපටය 50 වැනි දිනය පසුකරමින් තවමත් දිවයින පුරා සිනමාශාලාවල අති සාර්ථකව ප්‍රදර්ශනය කෙරේ. මේවන විට ගින්දරී චිත්‍රපටය රුපියල් කෝටි 7ක ආදායමක් උපයාගෙන තිබේ.

නිව් ඉම්පීරියල් කුරුණෑගල, ඇමටිලයිට් මහරගම, ස්කයිලයිට් මාතර, හිමාලි කිරිබත්ගොඩ, නයෝමි ගම්පහ, ඕඩියල් ගල්කිස්ස, ප්‍රින්ස් ගාල්ල, නිව්රේඛා කඩුවෙල, දයා සෙවන පිළියන්දල ඇතුළු සිනමා ශාලා රැසක දින 50 තුළ වැඩිම ආදායම් වාර්තා තැබීමට සමත්ව ඇත්තේ ගින්දරී චිත්‍රපටය යි. ගින්දරී චිත්‍රපටය ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට අයත් රිද්මා මණ්ඩලයේ ඉදිරිපත් කිරීමකි. කොළඹ රීගල්, කුරුණෑගල නිව් ඉම්පීරියල්, කෑගල්ලේ මිලානෝ, මාතර ස්කයිලයිට් යන සිනමාශාලාවල ගින්දරී චිත්‍රපටය තිරගත කරනු ලබන්නේ නවීන ඩිජිටල් තාක්ෂණයෙනි.

පබෝධා සංදිපනි, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, ශ්‍රියන්ත මෙන්ඩිස්, රිචඩ් මානමුදලි, ලෝචනා ඉමාෂි, රවීන්ද්‍ර යසස්, මැණිකේ අත්තනායක මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති. කැමරා අධ්‍යක්ෂණය කේ. ඩී දයානන්ද විසිනි. සංස්කරණය ප්‍රවීන් ජයරත්න, සංගීතය ආනන්ද පෙරේරා ගෙන් සහ වේශ නිරූපණය නලීන් ප්‍රේමතිලක විසින් සිදු කෙරිණි. කලා අධ්‍යක්ෂණය අරුණ ඩයස්ගේ වන අතර සහාය අධ්‍යක්ෂණය ඩොනල්ඩ් ජයන්ත ගෙනි.


කුමාරි සමරනායක රෝහලේ

රංගන ශිල්පී කුමාරි සමරනායක දැඩි සේ රෝගාතුරව කළුබෝවිල රෝහලේ 11 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියි. ඇයට ඔබගේ උපකාරය අවශ්‍යව තිබෙන බව ද පැවසිය යුතුවෙයි. ඇය ‘දාමිණී, ‘හිරු සොයා, ‘අනුත්තරා, යන ටෙලි නාට්‍ය ඔස්සේ ද, ‘පාර්ලිමන්ට් ජෝක්ස්, වන්ෂොට්, ‘වැඩබැරි ටාසන් යන චිත්‍රපටවලද, ‘පියෙකුගේ කුඳුළු, හිරෝෂිමා යන වේදිකා නාට්‍යවල රගපාමින් ද ඔබ හමුවට පැමිණියාය.