වර්ෂ 2015 ක්වූ ජූනි 11 වැනිදා බ්‍රහස්පතින්දා




කාන්තාවක් වීම මට අභියෝගයක් නොවේ

කාන්තාවක් වීම මට අභියෝගයක් නොවේ

නන්දා නන්දි

සිනහව අතරින් කැපුවේ ඇයයි

ලිඛිත භාෂාව සේම රූප භාෂාව මනාව හැසිරවීමට නම් රූප භාෂාවේ නීති, රීති, ව්‍යාකරණ දත යුතුයි. සමහර අවස්ථාවලදී නීති රීති කඩ කිරීමෙන් නිර්මාණයට වටිනාකමක් ලැබුණද, ඔබ නීති රීති කඩ කිරීමට පෙර නීති රීති උගත යුතුයි. රූප භාෂාවෙන් ලියන ලද රූප රාමු පෙළ ගැස්වීම හෙවත් සංස්කරණය හා බැඳි ව්‍යාකරණය සෑම රූප රාමුවක් අතරම සිදුවන ඡේදනය ප්‍රේක්ෂකයා ව්‍යාකූල නොකොට කතාව පැවසීමට අවශ්‍ය මෙවලම වන්නේය. අනෙක් අතට අතිශයින්ම තාක්ෂණික ක්‍රියාවලියක් වූ ශබ්දය නිවැරැදි ලෙස පටිගත කිරීමේදී ලැබෙන ප්‍රතිඵලය 'හඬ' යනු සියයට විස්සක ක්‍රියාවලියක් වුව ද ඉන් සියයට අසූවක ප්‍රතිඵලයක් නිර්මාණයකට ලබා දිය හැකියි.

මෙලෙස අදහස් ප්‍රකාශ කළේ මේ දිනවල අති සාර්ථක ලෙස තිරගත වන සිනහව අතරින් චිත්‍රපටයේ සංස්කරණයෙන් හා ශබ්ද පරිපාලනයෙන් දායක වූ අද අපේ කතා නායිකාව වන නන්දා නන්දි ජයකොඩියි.

නන්දි අපේ කතාබහට ප්‍රවේශයක් ගනිමින් කියමුකො කොහොමද මෙවැනි ක්ෂේත්‍රයකට ඔබ පිවිසෙන්නේ?

ජනමාධ්‍ය ක්ෂේත්‍රයට එන්න ආශාවෙන් කැලණිය විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපනයට තෝරා ගත්තේ. ඒ අතරතුර රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදන ආයතනයක වැඩ කිරීමට අවස්ථාව උදා වුණා. එතනදි හැම අංශයකම වැඩ ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. විශේෂයෙන් තාක්ෂණික දේවල්. විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රීය සහ න්‍යායාත්මක දේවල් ලැබුණා.

පිටරටක ගිහින් ඉගෙන ගන්න සල්ලි නැති නිසා සමහර පාඨමාලා Online  ඉගෙන ගත්තා. දැනට ජනසන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධිය හැදෑරීම අවසන් කළා. ඇමරිකාවේ AIA ආයතනයේ Sound Engineering සහ Sound Designing කරලා තියෙනවා. පසුකාලීනව සිංගප්පූරුව වැනි රටවල විවිධ වැඩසටහන්, සම්මන්ත්‍රණ ආදියෙන් දැනුම ලබා ගත්තා.

ඔබ අතින් සංස්කරණය කරන ලද චිත්‍රපට?

ස්වර, අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ, සිනහව අතරින්, සිංහයා.

ශබ්ද පටිගත කිරීම, හඬ සැකසුම සහ ශබ්ද පරිපාලනය යන මේ ත්‍රිත්වයේම නියැළුණු චිත්‍රපට ගැනත් කියමු?

ස්වර, සිනහව අතරින්, සදී, සිංහයා, අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ, දෝණි, දරුවනේ, දකින දකින මල්, සිනාසුනා ආදරෙන්, ස්වීට් ඒන්ජල්, සමාරා, තාරකා මල්, එක මලක පෙති ඇතුළු 20 ක පමණ මා වැඩ කර තිබෙනවා.

සිනමා සංස්කරණය, දෙබස් පටිගත කිරීම, පසුබිම් ශබ්ද නිර්මාණ සහ ශබ්ද පරිපාලනය කිරීම සඳහා ලංකාව තුළ අපට දක්නට ලැබෙන්නේ පුරුෂ ආධිපත්‍යයක්. කාන්තාවක් විදිහට කොහොමද මේ අත්දැකීම ඔබට දැනෙන්නේ?

ඇත්තෙන්ම කාන්තාවක් වීම මට කිසි විටකත් මේ කාර්යයන්ට අභියෝගයක් වෙලා නැහැ. විෂය පිළිබඳ දැනුම, තාක්ෂණික දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම තියනවා නම් මෙය කිසි විටකත් අභියෝගයක් නෙවෙයි. මම ඒ සියල්ලෙන්ම පෝෂණය වෙලයි මේ ක්ෂේත්‍රයට පිවිසියේ.

ඒ කියන්නේ ඔබ මේ ක්ෂේත්‍රය තුළ සර්ව සම්පූර්ණයි කියන එකද?

අයියෝ නැහැ. විෂයට අදාළ මූලික මෙවලම් මා සතුයි. මේ විෂය මොහොතින් මොහොත තාක්ෂණය සමඟ වෙනස් වන විෂය ක්ෂේත්‍රයක්. ඉතිං අපි හැමදාම අලුත් දේවල් ඉගෙන ගනිමින් ඉදිරියට යා යුතුයි.

වඩා වැදගත් වෙන්නේ තාක්ෂණය ද නැතිනම් නිර්මාණාත්මක හැකියාව සහ සිනමා විෂය හා බැඳි න්‍යායාත්මක කරුණුද?

කෙටියෙන් කීවොත් මේ සියල්ල. ඕනෑම සිනමා නිර්මාණයක්, වාණිජ හෝ කලාත්මක සාර්ථක වෙන්න මේ කාරණා සමබර වෙන්න ඕනෑ. සිනමාව කියන්නේ තාක්ෂණයට සමගාමීව වර්ධනය වූ කලා මාධ්‍යයක්. අනෙක් අතට කාලයක් තිස්සේ සිනමාව කලාවක් ලෙස වර්ධනය වීමත් සමඟ ගොඩනැඟුණු න්‍යායාත්මක කරුණුත් දත යුතුයි. කොච්චර තාක්ෂණය දියුණු වුණත් අදටත් සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය 60, 70 දශක කියලා අපි කියනවා. ඒ කියන්නේ 80 ඉඳන් අපි ඔය කරුණු සමබර කරගෙන නෑ කියන එකනෙ.

වඩා පහසු සංස්කරණය ද නැතිනම් ශබ්ද පරිපාලනයද?

දෙකෙන් එකක්වත් පහසු නැහැ. සංස්කරණය කියන්නේ විශාල වගකීමක්. රූප රාමු ටික ගොනු කොට නිර්මාණයක් ලෙස බිහි වන්නේ සංස්කරණයේදී. ලෝකයේ විශිෂ්ට අධ්‍යක්ෂවරු සංස්කරණය හඳුන්වන්නේ දෙවන අධ්‍යක්ෂණය ලෙස. එය තව තවත් පෝෂණය කරමින් තීව්‍ර කරන්නේ හඬ. හැබැයි හඬ කියන්නේ නිර්මාණාත්මක වගේම අතිශයින්ම තාක්ෂණික වූ කාරණයක්.

වර්තමානය වන විට තාක්ෂණය විසින් නිර්මාණකරණයට මෙන්ම නිර්මාණශීලිත්වයට ද විශාල පහසුවක් ලබා දී තිබෙනවා නේද?

ඔව්. හැබැයි මගේ අත්දැකීමේ හැටියට පහසුවෙන් මෘදුකාංගයක් හසුරුවන්නට ඉගෙන ගත්ත පළියට හොඳ සංස්කරණ ශිල්පියෙකු හෝ ශබ්ද පරිපාලන ශිල්පියකු වන්නට බැහැ. හැබැයි සිනමාව ගොඩ නැංවීමේදී කලාව, ශිල්ප ක්‍රමයන් වගේම තාක්ෂණයත් බෙහෙවින් ඉවහල් වෙනවා.

මේ දිනවල ඔබ සංස්කරණය කොට හඬ නිර්මාණය කළ සිනමාපටයක් තිරගත වෙනවා. ඒ 'සිනහව අතරින්'. කොහොමද ප්‍රතිචාර?

සාමාන්‍යයෙන් චිත්‍රපටයක තිරය පිටුපස පුද්ගලයන්ට ලැබෙන ප්‍රතිචාර අඩුයි. 'සිනහව අතරින්' චිත්‍රපටයේ මංගල දර්ශනය දවසේ බොහෝ දෙනෙක් කවුද සංස්කරණය කළේ කියලා සොයගෙන ඇවිත් සුබපැතුවා. ස්වර චිත්‍රපටයත් මම සංස්කරණය කළා. එය නැරැඹූ අග්‍රගණ්‍ය සිනමාවේදිනිය සහ සිංහල සිනමාවේ ප්‍රථම සංස්කරණ ශිල්පිනිය වන සුමිත්‍රා පීරිස් මහත්මිය මට සුබපැතුවා. ඒ ගැන සතුටුයි. ඇයගෙන් පසුව සංස්කරණයට අත ගැසූ අනෙක් කාන්තාව මං නේද කියන සියුම් ආඩම්බරය එදා මට ඇති වුණා. ඒ හැඟීම 'සිනහව අතරින්' චිත්‍රපටයේ සාර්ථකත්වයට තවත් කරුණක් කියා මා හිතනවා.

සංස්කරණ ක්‍රියාවලියේදී සාමාන්‍යයෙන් අධ්‍යක්ෂවරයා හා සංස්කරණ ශිල්පියා අතර නොයෙක් මත ගැටුම් ඇති වුණු අවස්ථා අප අසා තිබෙනවා. මේ කාර්යයේදී සනත් ගුණතිලක නම් අධ්‍යක්ෂවරයාගෙන් ඔබට ලැබුණේ මොන වගේ සහයෝගයක්ද?

ලැබුණු සහයෝගය අති විශිෂ්ටයි. පළමුවෙන්ම මම ස්තුතිවන්ත වෙනවා ඔහු වැනි අත්දැකීම් බහුල ප්‍රවීණයෙක් මා පිළිබඳව විශ්වාසය තැබීම සහ නිර්මාණයට සම්බන්ධ කර ගැනීම ගැන. ඔහු මට මගේ කාර්යය කිරීමට පූර්ණ නිදහස දුන්නා. මගේ අදහස්වලට ගරු කළා. වැඩකට ඇති උනන්දුව කැපවීම සහ අවංක බව වගේම වෙලාවට වැඩ කිරීම අතින් ඔහු ඉතා ඉහළයි. සිනමා නිර්මාණයක් කියන්නේ සාමුහික ප්‍රයත්නයක් කියන එක ඔහු ඉතා හොඳින් අවබෝධ කොට ගෙන තිබුණා. ඒ නිසා ඔහුත් එක්ක වැඩ කරන්න පහසු වුණා.

මේ නිර්මාණයට සංගීතය නිර්මාණය කරන්නේ නිරෝෂා විරාජිනී. ඒ ගැනත් කතා කළොත්?

ඇය මේ නිර්මාණයට සංගීතය සපයන වග දැනගත් අවස්ථාවේ මා අතිශයින්ම සතුටට පත් වුණා. මට අවබෝධයක් තිබුණා ඇය යමක් කළොත් ඒක හරියට කරනවා කියලා. ඇගේ සංගීතය විශාල ආලෝකයක් වුණා 'සිනහව අතරින්' චිත්‍රපටයට.

ලංකාවේ පවතින සිනමාව පිළිබඳ තෘප්තිමත් ද?

කොහෙත්ම නෑ. ක්ෂේත්‍රය තුළ හොඳ තිර පිටපත් රචකයින්ගේ අවශ්‍යතාව දැඩිව තියෙනවා. අපි විදේශීය කොපි චිත්‍රපට කිරීමෙන් මිදිය යුතුයි. ඒ වගේම ලංකාවේ සිනමාහල් පද්ධතිය යාවත්කාලීන කරන තුරු අනාගත සිනමාව ගැන බලාපොරොත්තු තබා ගන්න බැහැ. ප්‍රදර්ශනය පිළිබඳ පවතින අර්බුදය නිසා අපේ සිනමාවට අත්පොත් තබා ඇති තරුණ නිර්මාණකරුවන් දැඩි කනස්සල්ලෙන් පසු වන්නේ.

ආචාර්ය සුමිත්‍රා පීරිස් මෙන් අධ්‍යක්ෂණයට පිවිසෙන්නට ඔබේ කැමැත්තක් නැද්ද?

තියෙනවා. ඒක එක සිහිනයක් මගේ. ඒත් මට දැන්මම අධ්‍යක්ෂණයට එන්න හදිස්සියක් නැහැ. ඒකට අවශ්‍ය මෙවලම් එකතු කරමිනුයි ඉන්නේ.

ඉදිරි වැඩ කටයුතු?

ලැබෙන ආකාරයට නිර්මාණවලට දායක වෙනවා. සංස්කරණය Sound Engincering සහ Sound Designing වැනි විෂයන් ඉගැන්වීමට වැඩි වශයෙන් ආරාධනා ලැබෙනවා. දැනට විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරියක් ලෙසත් කටයුතු කරනවා.

නන්දි මේ ක්ෂේත්‍රය ඉතා පුළුල් විෂයයක්. මේ ආ ගමන් මඟේ ඔබට උදවු කළේ කවුරුන්ද?

පළමුව මගේ පවුලේ සැවොම. මා මේ ක්ෂේත්‍රයට ගෙන එන්නේ නැසීගිය ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ ඇන්ඩෲ ජයමාන්න මහතා. මා විශාල දැනුම් සම්භාරයක් ලබා ගන්නේ 60, 70, 80 දශකවල විශාල චිත්‍රපට සංඛ්‍යාවක් සංස්කරණය කළ ශබ්ද පරිපාලන ඉංජිනේරු ලාල් දිසානායක මහතාගෙන්. ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂක ලාල් වික්‍රමාරච්චි, වී. සිවදාසන් මහතා, නීටා ප්‍රනාන්දු, දිලානි අමරසිංහ මහත්මියත් මතක් කළ යුතුයි. වචනෙකින් හෝ මා දිරිමත් කළ හැමෝටම ස්තුති කරන්න මෙය අවස්ථාවක් කර ගන්න කැමැතියි. ඒ වගේම මා දායක වූ නිර්මාණ බලන ප්‍රේක්ෂකයෝ එහි සාර්ථකත්වය මෙන්ම අඩු පාඩු පෙන්වා දෙනවා නම් කැමැතියි. එය මා තව තවත් නිර්මාණශීලිත්වයට යොමු කිරීමක් ලෙස මා සිතනවා. ඒ සඳහා දුරකථන අංක 0777379411 ඔස්්සේ මා දැනුවත් කරන්නේ නම් අගේ කොට සලකනවා.