වර්ෂ 2015 ක්වූ ජූනි 11 වැනිදා බ්‍රහස්පතින්දා




කලාකාරියක්වීම පිනක් ආදරය දිනාගැනීමත් පිනක් පරණ පිනක් දමයන්ති ෆොන්සේකා කියයි

කලාකාරියක්වීම පිනක් ආදරය දිනාගැනීමත් පිනක්


'පරණ පිනක්' දමයන්ති ෆොන්සේකා කියයි

දමයන්ති ෆොන්සේකා අධ්‍යක්ෂණය කරන ලද ‘පරණ පිනක්’ වේදිකා නාට්‍යය මේ මස 20 වැනිදා පස්වරු 3.30ට සහ 6.30ට ටවර් රඟහලේ දී වේදිකා ගත කිරීමට නියමිත ය. සිය නාට්‍ය පාසලේ ඉගෙන ගන්න ළමයි ප්‍රමුක කරගනිමින් සිදුවන මේ කටයුත්ත පිළිබඳ ඇය සමඟ ‘සරසවිය’ කළ කතාබහකි.

‘පරණ පිනක් ’ වේදිකා නාට්‍යයේ ආරම්භය සනිටුහන් වන්නේ කෙසේද?

රංගනය ගැන ඉගෙන ගන්න ආශාවක් තිබුණු ළමයි කිහිපදෙනෙකුගේ ආරාධනයෙන් ඇරැඹුණු නාට්‍ය පාසල මා ආරම්භ කරන්නේ 2013 වසරේ. මේ වැඩමුළුව අවසන් වුණාට පස්සේ නාට්‍යයක් කරමුයි කියන යෝජනාව අරගෙන එන්නෙත් ඔවුන්මයි. ඒ අනුවයි ‘ගාස්තුව කීයද’ වේදිකා නාට්‍යය පළමුවෙන්ම වේදිකාවට රැගෙන එන්නේ. මේ ඒ පාසලේ දෙවැනි කණ්ඩායමේ රංග කාර්යයයි.

මේ විදියට නිර්මාණ වේදිකාවට රැගෙන එන්න බලපෑවේ ඔවුන්ගේ ආරාධනය පමණක්මද ?

ඒ කාරණයම පමණක් නොවෙයි. මගේ රංගන පාසලේ වැඩමුළු හරහා මා බලාපොරොත්තු වන කාරණ රැසකුත් තියෙනවා. ඉන් ප්‍රධාන අරමුණ ලෙස ගැනෙන්නේ අත්දැකීම් ලබාදීමයි. මා වැඩමුළුවෙදී කොපමණ රංගන අභ්‍යාස ලබා දුන්නත් ඒවා අත්දැකීමක් ලෙස ඔවුන්ටම ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාමාර්ගයක් තිබිය යුතුයි. එතැනදියි මෙවැනි නාට්‍යයක් වේදිකා ගත කිරීමේ වැදගත්කම මතු වන්නේ. අනික් කාරණය නම් කොපමණ වැඩමුළුවලට සහභාගි වී සහතික ලබාගෙන තිබුණත් ඒ සහතිකයෙන් ඔවුන්ගේ දක්ෂතා මැනිය නොහැකියි.

ඔවුන් දක්ෂයන් වග මා පවසා තිබෙන බව සත්‍යයක්. එනමුත් මගේ සහතිකය පෙන්නලා රඟපාන්න කැමැතියි කියලා කිව්වත් එහි ඔවුන්ගේ දක්ෂතා දැක්වෙන්නේ නැහැ. එය ඇත්තක් දැයි බැලීමට නම් ප්‍රායෝගිකව ඉදිරිපත් කිරීමක් තිබිය යුතු වෙනවා. එහිදි ඔවුන් අනිවාර්යයෙන්ම නිර්මාණයක සිටිය යුතු වෙනවා. මගේ වැඩමුළුවේ තිබෙන විශේෂත්වය නම් ඔවුන්ට නිර්මාණයක් ඔස්සේ එළියට පිවිසීමේ මාර්ගය නිර්මාණය කර තිබීමයි. ඒ මගින් ඔවුන්ට වෙන අයගෙන් අවස්ථා ලබා ගැනීමට තිබෙන ඉඩහසර වෙන් කිරීමක් ද සිදුවන බව කිව යුතුයි.

රැකියා කරන අයත් සමඟ වේදිකා නාට්‍ය කටයුතු කිරීම අපහසු නේද ?

මේ රංගන පාසලට සහභාගි වන්නේ විවිධ රැකියා කටයුතුවල නියැළී සිටින අයයි. රාත්‍රි රැකියාව කරන අය වගේම දහවල් රැකියාව කරන අයත් එහි සිටියා. ව්‍යාපාර කටයුතුවල නිරත වන කිහිපදෙනෙකුත් සිටියා. ඔවුන් සමඟ කටයුතු කිරීමේදී යම් කාලසටහනකට අනුවයි අප කටයුතු කළේ. ඒ නිසා මේ නාට්‍යය පුහුණුවීම් කරන්නට අප යොදා ගත් සැලසුම අර්ථ පූර්ණ එකක් වුණා. රංගන කටයුතුවලට පැමිණෙන්නට නොහැකි එක් අයෙක් පිටපතට දායක වුණා. සමහර අය ඉන් ඉවත් වුණා.

‘පරණ පිනක්’ කියන්නේ පරිවර්තන නාට්‍යයක්. මේ පරිවර්තනය ඔබ අතට පත් වන්නේ කෙසේද ?

මේ රංගන පාසලේ ශිෂ්‍ය - ශිෂ්‍යාවන් ටික ගිය වසරේ කළ නිර්මාණය නැරැඹුවා. ඒ අවසානයේ ඔවුන්ගෙනුත් නාට්‍යයක් කළ යුතුය කියන යෝජනාව ආවා. මුලදි අපි තීරණයකට ඇවිත් සිටියේ ස්වතන්ත්‍රයක් කළ යුතුය යන්නයි. එහෙත් ඒ සඳහා ගැළපෙන නිර්මාණයක් සොයා ගන්නට නොහැකි වුණා. මේ අතර මගේ නාට්‍ය වැඩමුළුවේම ඉන්න සමීර කියන ශිෂ්‍යයා තමයි අන්තර් ජාලය ඔස්සේ ඉතාලි ජාතික Titus Maccius Plautus ගේ ‘ද පොට් ඔෆ් ගෝල්ඩ්’ නම් මේ නාට්‍යය සොයා ගන්නේ.

තාක්ෂණයේ තිබෙන වැදගත්කමත් සමඟ අපි සොයන පිටපත අපට ලැබෙනවා. ඒ ලැබෙන නාට්‍යයයි සමීර විසින්ම ‘ පරණ පිනක් ’ නමින් සිංහලට පරිවර්තනය කරන්නේ. මෙහි තිබෙන අනෙක් විශේෂත්වය වන්නේ මේ නාට්‍යය නිෂ්පාදනය කරන්නේ පන්තියේම ඉන්න ළමයි තිදෙනෙක් වීමයි. ඒ වගේම වේදිකා පරිපාලනය, අංග රචනය, වේදිකා පසුතල, ඇඳුම් නිර්මාණය කියන මේ අංශත් කෙරන්නේ ඔවුන්ගෙන්මයි. ඒ අතරම මින් පසුව මේ විදියට කෙරෙන සියලු කටයුතු දිගින් දිගටම සිදු කිරීම සඳහා මා රංගන පාසලේ නමින්ම පදනමක් පිහිටුවා ගත්තා. ඒ ප්‍රමුඛ රංගන පදනමයි.

මේ නිර්මාණය අපේ සමාජයේ පරිසරයට අදාළ වගේම පරිවර්තකයා අතින් මේ කාර්යය නිසි අයුරින් සිදුවූවා යැයි ඔබ සිතන්නේ ද ?

බොහෝ නාට්‍ය නිර්මාණ අතරින් මේ පිටපතම තෝරා ගැනීමට හේතු වන්නේ අපේ සමාජයට තිබෙන අදාළ බවයි. ඉංග්‍රීසි පිටපත කියවන විටම දැනෙනවා ඒ පිටපතේ තිබෙන දේවල් මේ දැනුත් අපේ සමාජයේ වෙනවා නේද කියලා. මේ නිර්මාණය ඔස්සේ පහදා දෙන්නට තනන තත්ත්වය, ආදරය, තණ්හාව ආදී බොහෝ මිනිසුන් කෙරෙහි අඩු වැඩි වශයෙන් තිබෙන්නා වූ හැඟීම් සමුදාය අද සමාජයටත් පොදු කාරණයක් නේද කියලා හැගෙන්න පටන් ගන්නවා. එක වඩාත් හැගෙන්නේ ඒ රචකයා යොදාගෙන තිබෙන අදහස්වලින්. ඒ අදහස් අපට හැගෙන්නේ හරියටම අපේ අදහස් වගේම බවයි. පරිවර්තකයාත් මේ සමාජ වෙනස ඒ අයුරෙන්ම අවබෝධ කරගෙන සිටින නිසා ඔහුට පරිවර්තන කාර්ය පහසු වෙනවා. ඒ වගේම ඒ කාර්ය නිසි අයුරෙන් සිදුවූ බව මගේ හැඟීමයි. ඒ නිසාම ප්‍රේක්ෂකයාටත් මේ නිර්මාණය තමන්ගේ පොළොවේම පැළවුණු දෙයක් ලෙස රසවිඳීය හැකිවේවි.

ඒ ප්‍රමුඛ කියන රංගන පදනම මගින් කරන්නට බලාපොරොත්තු වන්නේ කුමන කටයුතු ද?

නාට්‍ය නිෂ්පාදනයට අමතරව රංගන ශිල්පීන් බිහි කිරීමයි. ඊට අමතරව වැඩමුළු, රංගන පුහුණුව, කටහඬ පුහුණුව, සිනමාව පිළිබඳ මෙහිදි ඉගැන්වෙනවා. කටහඬ පුහුණුව සඳහා එංගලන්තයටම ගිහින් ඒ පිළිබඳ පුහුණු වුණූ ගුරුවරියක් මා ළඟ ඉන්නවා. ඊට අමතරව නාට්‍ය හා රංග කලාව පිළිබඳ න්‍යායික දැනුම ලබාදීම සඳහා මගේ ගෝලයෙක් කියලා හඳුන්වන්න පුළුවන් ළමයෙක්ව මා සහභාගි කර ගත්තා. ඈ මගේ ‘අපේ ඇත්තෝ’ නාට්‍යයේ රඟ පෑමෙන් පස්සේ ඇතිවුණූ කැමැත්ත නිසා නාට්‍ය හා රංග කලාව පිළිබඳ න්‍යායික මෙන්ම ප්‍රායෝගිකව හදාරූ කෙනෙක්. ඒ වගේම මා ජාත්‍යන්තර හා මෙරට වැඩමුළු මගින් ලැබූ අත්දැකීම් ඔවුන් සමඟ බෙදාහදා ගන්නවා. මේ සියලු මාර්ගයෙන් ඒ කාලයේ අපට නොලැබුණු දැනුමක් ඔවුන්ට ලබා දෙන්නයි මා නිතරම උත්සාහ ගන්නේ.

‘පරණ පිනක්’ සඳහා සහභාගි වන රංගන ශිල්පින් හා ශිල්පිනියන් පිළිබඳ සඳහනක යෙදුනොත්

මුලින්ම තිස්දෙනෙක් පමණ සිටිය කණ්ඩායමෙන් අවසන් අවස්ථාව වනවිට ඉතිරි වුණේ දහදෙනෙක් පමණයි. ඒ අයගෙන් හයදෙනෙක් රඟපානවා. ඉතිරි අය රැකියාවල කටයුතු නිසා, අධ්‍යාපන කටයුතු නිසා රඟපෑමේ කටයුත්තට සහභාගි නොවුණත් පූර්ණ කාලීන අය විදියට අපත් සමඟ රැඳී ඉන්නවා. ධනුෂ්ක, නිරෝෂන්, සමන්ති, ධනුක, උදයංග, රමේෂ්ට අමතරව ශෂි පබා සංදීපනී, හංසමාලා ජානකී, අනිල් කේ. විජේසිංහ, දිලීප් කෝරළගේ යන රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ද මෙහි රඟපානවා. මේ අතරින් ජනපි‍්‍රය සිව්දෙනාව මා මේ නිර්මාණයට සහභාගි කර ගැනීමට සිතුවේ අලුත් ළමයින්ට යම් අත්දැකීමක් ලබාදීමට සිතා ගෙනයි. රංගනය පිළිබඳ අත්දැකීමක් තිබෙන අයත් සමඟ රඟපෑමේදී රංගනයට ආධුනිකයන්ටත් ඔවුන් සමඟ කරට කර රඟපාන්නට සිදුවන අත්දැකීමත් නැවුම් අත්දැකීමක් වනු නියතයි.

රංගනයට ආධුනික පිරිසක් සමඟ ප්‍රසිද්ධ වේදිකාවට පිවිසීම ඔබට එල්ල වුණු යම් අභියෝගයක් නේද ?

රංග කලාව පිළිබඳ අවබෝධයක් තිබෙන, දන්න පිරිසක් සමඟ වේදිකාවේ සැරිසරන්න ලැබෙනවා නම් ඒක සතුටට කරුණක්. ඒත් සමඟම මේ කලාව කරන්න කැමැත්තෙන් ඉදිරිපත් වන කොටසට ඒ අත්දැකීම ලබාදීමට හැකිවීමත් මා සලකන්නේ භාග්‍යයක් විදියටයි. ඒ සඳහා හොඳම උදාහරණය නම් මා කලින් සඳහන් කළ සමුද්‍රා කරුණානන්දයි. නර්තනය හා සංගීතය ඉගෙන ගනිමින් ඉන්න ඇය ‘අපේ ඇත්තෝ’ සඳහා රඟපෑමෙන් පසුවයි නාට්‍ය හා රංග කලාව දිගින් දිගටම හදාරන්නේ. ඒ පෙලඹවීම ඇති වන්නේ රංගනයට ඇගේ තිබුණු කැමැත්තයි.

ඔවුන් කෙරෙහි එවැනි පෙලඹවීමක් ඇති කරන්නට හැකි වෙනවාය කියන්නේම ලොකු ජයග්‍රහණයක් විදියටයි මා දකින්නේ. මෙතැන ඉන්න අය ඒ විදියට තවම රංගනය පිළිබඳ දිගටම හදාරන්න සිතුවේ නැති වුණත් දැනටමත් යම් යම් අධ්‍යයන කටයුතු කරන්න පෙලඹිලා ඉන්නවා. චිත්‍රපටයක්, වේදිකා නාට්‍යයක් නරඹන්න මා ඔවුන්ට අනිවාර්යය අංගයක් කරලා තිබෙනවා. නැත්නම් අන්තර්ජාලය හරහා හරි ඒ නිර්මාණ රස විඳීමේ හැකියාව ඔවුන්ට තිබෙනවා. ඒ මගින් ඔවුන්ට දැනුවත් වීමේ මග හිමි වෙනවා පමණක් නොවෙයි යම් අත්දැකීම් ප්‍රමාණයක් ද හිමි වෙනවා. මා ඒ අභියෝග සියල්ල යම් ප්‍රමාණයකට හෝ ජය ගන්නේ එලෙසයි. ඒ ලැබුණු උදව්වත් සමඟ ඉදිරි මග ඔවුන් විසින්ම සොයාගෙන යන බව මට විශ්වාසයි.

මේ නිර්මාණයේ ගීතමය ජවනිකා වගේම සංගීතය නිර්මාණය කළේ කවුද ?

මේ නිර්මාණය සඳහා භාවිත කරන්නේ එක් ගීතමය ජවනිකා දෙකක් පමණයි. මෙහි සංගීතය නිර්මාණය කළේ මගේ පෙර නිර්මාණයකත් සංගීතය නිර්මාණය කළ ප්‍රදීප් ජයතිලකයි.

වේදිකාවේ දී යොදා ගන්නා සංගීතය වර්තමානයේ බොහෝදෙනා යොදා ගන්නේ හඬ පටයක් මාර්ගයෙන්. නමුත් වේදිකාවේදී ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වන්නේ ඒ කටයුත්ත සජීව මාධ්‍යයක් ලෙස ශ්‍රවණය කරන්නයි. මේ කාරණය ඔබටත් පොදු ද ?

ඇත්තටම වේදිකාව ඇතුළතදි සංගීතය සජීව රස විඳීය යුක්තක් ලෙසයි කියන කාරණයට මා සියයට සියයක් එකඟ වෙනවා. එතැනදියි අපට විවිධ ගැටලුවට මුහුණ දීමට සිදු වන්නේ. සජීව අයුරෙන් කටයුතු කිරීමේදී අඩුම ගණනේ සංගීත කණ්ඩායම තිදෙනෙක් ගෙන්වත් සමන්විත විය යුතුයි. නැත්නම් සාමාන්‍යයෙන් ඒ කණ්ඩායමේ හය, හත්දෙනෙක්වත් සිටිය යුතු වෙනවා. නාට්‍යයේ නළු නිළියන්ට අමතරව මේ අයගේ එකතුවත් අයත් වන්නේ නාට්‍ය කණ්ඩායමට නිසා සංවිධායකවරයාට දැනෙන්නේ දැඩි බරක්. එහෙම කියලා නළු නිළියන් අඩු කරන්නටත් නොහැකියි. සංවිධායකවරයාට බරක් දීමටත් නොහැකියි. එතැනදියි අපි යම් විසඳුමකට එන්නේ. මොකද සංගීතය සජීවව නොමැතිව, පටිගත කර රැගෙන යාමට පුළුවන් නිසාත් ඒ අදහස වෙනස් කරන්නට සිදු වන්නේ එතැනදියි. අපටත් මේ කාරණයම පොදුයි. ඒ නිසා අකැමැත්තෙන් වුණත් ඒ දෙය කරන්නට අපටත් සිදුවන බව කිව යුතුයි.

‘පරණ පිනක්’ කියන්නෙත් ප්‍රහසනයක්. වර්තමානයේ තිබෙන ප්‍රහසනාත්මක නාට්‍ය රැල්ලෙන් ඔබගේ නාට්‍යය වෙනස් වෙන්නේ කොහොම ද?

නාට්‍යයක් නම් කිරීම සඳහා අපි වචන පෙළක් දමාගෙන තිබෙනවා. වර්ගීකරණයක් කරගෙන තිබෙනවා. මම නම් හිතන්නේ එවැනි වර්ගිකරණයක් නාට්‍ය කලාවට අනවශ්‍ය බවයි. තිබිය යුත්තේ මේ නාට්‍යය රස විඳීන්නට පුළුවන්ද බැරිද කියන කාරණය පමණක් බවයි මගේ හැඟීම වන්නේ. උදාරණයක් විදියට ‘දෙබිඩ්ඩෝ’ ගත්තොත් ඒ ඔස්සේ දේශපාලනය, ආදරය, ව්‍යාපාර, වෙනත් සබඳතා ආදී බොහෝ පාරාසයක් පිළිබඳ කතා කළත්, ඒ නරඹන පුංචි ළමයාගේ ඉඳලා වැඩිහිටියා දක්වා ඒ නිර්මාණයේ සමහර දේවල්වලට ඔවුන් සිනහ වෙනවා. ඉන් කියැවෙන්නේ ඔවුන් ඒ නිර්මාණය රස විඳීනවා කියන එකනේ. එහෙමයි කියලා ඒක ප්‍රහසනයක් කියලා බෝඩ් එකක් ගහන්නේ වත්, එහෙමයි කියලා ප්‍රචාරය කරන්නේ වත් නැහැ නේ. ඒ නිසා මොනම රැල්ලකට ආවත් ඒ නිර්මාණ රස විඳීන්න බැරි නම් කමඩි නාට්‍යයක් වුණත් වැඩක් නැහැ එයයි මගේ අදහස වන්නේ. මොකද ඕනෑම කලා නිර්මාණයකින් සිදුවිය යුත්තේ එය නරඹන ප්‍රේක්ෂකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යෑම යැයි මා සිතන බැවින්. මේ නාට්‍යය අත්දැකීමත් සමඟම අවසාන වශයෙන් කිවයුතු අනික් කාරණය නම් කලාකාරිණියක් වීමම මා සලකන්නේ පරණ පිනක් බවයි. ඒ වගේම මේ තරම් කාලයක් (වසර 45) ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොකඩවා ලබන්නට හැකිවීමත් පරණ පිනක් ලෙසයි මා දකින්නේ.