වර්ෂ 2015 ක්වූ ජූනි 11 වැනිදා බ්‍රහස්පතින්දා




හීනෙන් මුදු මාරු කරලා

හීනෙන් මුදු මාරු කරලා

පබෝධා සංදීපනීට අනවර්ථ නමක් පටබැඳිලා. ඒ නම තමයි ගින්දරී. උදයකාන්ත වර්ණසූරියගේ ගින්දරී සිනමාපටයේ ගින්දරී ලෙස ගින්දර රැඟුමක නියැලෙන හින්දයි අපි පබෝධාට ගින්දරී කියලා කියන්නේ. ඉතින් මේ පබෝධාගේ හිස ගිනි ගත් වැඩක් වෙලා තමන්ගේ ගෙදර ඉන්න කොට. ඒ ගිනි ගැනීම කොච්චර දුරදිග ගියා ද කිව්වොත් තව පොඩ්ඩෙන් පබෝධාට හාර්ට් ඇටෑක් හැදෙනවා. වෙච්ච කතන්දරේ මේකයි.

ෂූටිං දවසක පබෝධා ටිකක් රෑ වෙලා ගෙදර ඇවිත්. ඇඟට තෙහෙට්ටු හින්දා පහුවෙනිදා එළිවෙනකම්ම ඇය නිදාගෙන. උදේ නැඟිටලා කොණ්ඩෙ හදන්න වම් අත ඉහළට ගනිද්දී දැක්කලු ඇඟිල්ලෙ මංගල මුදුව නැහැ කියලා. පබෝධට හොඳටම මතකයිලු රෑ ඇවිත් නිදා ගනිද්දි ඒක අතේ තිබුණා කියලා.

කලබල වෙච්ච පාර කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි පෙරල පෙරලා පබෝධා දැන් මුද්ද හොයනවලු. ඒත් ලැබිලා නැහැ. අන්තිමේ මුලු කාමරේම දෙවනත් කරලා. මුද්ද ඒත් නැහැ. දැන් ඉතින් ඔළුව ගිනි ගත්තු පාර පබෝධා ගෙදර හැම තැනම මුද්ද හොයලා. බැරිම තැන මහත්තයාටත් කෝල් කළාලු. ඔහුත් කිව්වලු අතේ තියෙනවා දැක්කා කියලා.

කොහොම හරි අන්තිමේ පබෝධා හිත හදාගෙන. මුද්ද ගැන බලාපොරොත්තු අතහැරලා. ඔය වෙලාවෙම පබෝධට තමන්ගේ දකුණු අත දිහා බැලිලා. ඔන්න ඒ අතේ තවත් මුද්දක් සමඟ අර මුද්දත් තියනවාලු. ඇයට සෑහෙන්න පුදුම හිතිලා. වම් අතේ තිබුණු මුද්ද දකුණු අතට ආව විදිහ ගැන ඇය දැන් දහ අතේ කල්පනා කරනවලු. මේ ජරමර අස්සේ සවස් වරුවේ ප්ලේන්ටියක් බිබී ඉන්න ගමන් පබෝධට මතක් වෙලා මුදු මාරු වෙච්ච හැටි. ඇය අඩ නින්දේ හීනයක් දැක දැක ඉන්න ගමං තමන් විසින්මයි මේ මුදු මාරු කරගෙන තියෙන්නේ.

ඒක මතක් වෙලා පබෝධට තනියම හිනාලු. අපි කල්පනා කරන්නේ ඒක නෙවෙයි, මුද්ද මාරු කර ගත්ත හින්දා හොඳයි. බැරි වෙලාවත් පබෝධා මුද්ද ගිලින හීනයක් දැක්ක නම් තමයි වැඩේ. එහෙමනම් මුද්ද පබෝධගේ බඩේ.