වර්ෂ 2015 ක්වූ ජූනි 11 වැනිදා බ්‍රහස්පතින්දා




රූප එක්ක ජීවත් වෙන හීන දකින තරුණයෙක් මම

රූප එක්ක ජීවත් වෙන හීන දකින තරුණයෙක් මම

සාක් උළෙලේ හොඳම චිත්‍රපටය මෝටර් බයිසිකල් තැනූ ශමීර රංගන නාඔටුන්න

දකුණු ආසියාතික රටවල එකමුතුවෙන් සාක් චිත්‍රපට උළෙල පසුගියදා ශ්‍රී ලංකාවේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාව ඇතුළුව ඉන්දියාව, පාකිස්ථානය, මාලදිවයින, නේපාලය, බංග්ලාදේශය, භූතානය සහ ඇෆ්ගනිස්ථානය නියෝජනය කරමින් කෙටි හා වෘතාන්ත චිත්‍රපට රැසක් එහිදී ප්‍රදර්ශනය කෙරුණා. උළෙලේ සමාප්තිය සිදු කෙරුණේ අපේ රටේ යොවුන් නිර්මාණ ශිල්පියෙකුගේ කුළුඳුල් නිර්මාණයක් හොඳම චිත්‍රපටය ලෙසින් සම්මානනීය කරමින්.

මෙවර පස්වන වරට පැවැති සාක් චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙසින් සම්මාන ලැබූයේ ශමීර නාඔටුන්න අධ්‍යක්ෂණය කළ ‘මෝටර් බයිසිකල්’ චිත්‍රපටය යි. අපේ රටට මෙවැනි ජයග්‍රහණයක් අත්කර දුන් මේ සම්මානනීය අධ්‍යක්ෂවරයා සමඟින් ඔහු අත්විඳි මේ ජයග්‍රාහි අත්දැකීම ගැනත් දකුණු ආසියාවේ හොඳම චිත්‍රපටය ලෙසින් අභිෂේක ලද මෝටර් සයිකල් චිත්‍රපටය ගැනත් කතා කරමු.

ඔබ පස්වැනි සාක් චිත්‍රපට උළෙලේ සම්මානනීය අධ්‍යක්ෂවරයෙක්?

කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වගේම සහය අධ්‍යක්ෂවරයෙක් කටයුතු කරන කාලයේදීම වෘතාන්ත චිත්‍රපටයක් කරන්න ලොකු ආසාවක් හිතේ තිබුණා. පිටපත ලියාගෙන කාලයක් බලාගෙන සිටියදී නිෂ්පාදකවරු කිහිප දෙනෙක්ම හමු වුණත් ඔවුන් සමඟ චිත්‍රපටය කරන්න මට හිතුණේම නැහැ. ඒ විදියට කාලයක් ගත වන විට සුරංග ජයසූරිය හමු වුණා. එවිට නම් චිත්‍රපටය ආරම්භ කරන්න හොඳම කාලය කියලා මට හැඟුªනා. ඒ අනුව ‘මෝටර් බයිසිකල්’ චිත්‍රපටය නිර්මාණය වුණා.

මෝටර් බයිසිකල් මොනවගේ කතා තේමාවක්ද ගෙන එන්නේ?

මේ කතාවේ තියෙන්නේ නාගරික තරුණ්‍යයේ ආදරය, සිහින සහ බලාපොරොත්තු. ඒ වගේම ඒක මගේ ජීවිතයටත් සම්බන්ධ කතාවක්.

එක්තරා කාලයක මෝටර් බයිසිකලයක් ගන්න මටත් ලොකු ආසාවක් තිබුණා. මට ආර්ථික ශක්තියක් තිබුණේ නැති නිසා ඒ හීනය මට ගොඩක් දුර එකක් වුණා. කොයි තරම් උත්සාහ කළත් මට බයිසිකලයක් ගන්න බැරි වුණා. තාත්තා නැති වුණාට පස්සේ අම්මා මමයි, මල්ලියි, නංගියි හදා ගත්තේ හරිම අමාරුවෙන්. ඉතින් අම්මාට මට බයිසිකලයක් අරන් දෙන්න ලොකු වත්කමක් තිබුණේ නැහැ. ඒ වුණත් අම්මා ඇගේ රත්තරන් මාලය උකස් කරලා මට බයිසිකලයත් අරගෙන දුන්නා. මේ අත්දැකීමේ සිනමාත්මක අත්දැකීමක් තියෙන බව මට වැටහුණා. ඒ ප්‍රස්තූතය අරගෙන සිනමා අත්දැකීමක් විදියට මම එය නිර්මාණය කළා.

චිත්‍රපටයේ තියෙන්නේ බයිසිකලයක් ගන්න තරුණයෙක් තම පෙම්වතිය සමඟින් කොළඹ නගරයේ සැරි සරන සිදුවීමක්. එහිදී සිදුවන සිදුවීම් සමඟින් බොහොම අපූරුවට කතාව ගලාගෙන යනවා. මේ සිදුවීම් හැමෝගෙම ජීවිතවල තියෙන ඒවා. ඔවුන් ඒවා අත්විඳලා තියෙනවා. ඒ නිසා මේ චිත්‍රපටය සමඟ ප්‍රේක්ෂකයන් බැඳෙන්න පටන් ගත්තා. ඒ නිසා සාර්ථක චිත්‍රපටයක් ප්‍රථම අධ්‍යක්ෂණයෙන් නිර්මාණය කරන්න ලැබීම ගැන තියෙන්නේ විශාල තෘප්තියක්.

සිනමා අධ්‍යක්ෂවරයෙක් ලෙසින් අද ඔබට දැනෙන හැඟීම?

මම සිනමාකරුවෙක් විදියට උත්සාහ කරන්නේ ජීවිතය විනිවිද දකින්න. ජීවිතය එහා මානයකින් ඔසවා තබන්න. ඉතිං මේ විදියට අත්දැකීම්, දේශපාලන හා සමාජමය කාරණා සිනමා නිර්මාණයක් හරහා සාකච්ඡා කරනවා. මේ අත්දැකීම පොදු අත්දැකීමක්. මිනිසුන් අතරට යන්න ඒක හේතුවක් වෙන්න ඇති. එදා සාක් චිත්‍රපට උළෙලේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරනවිට ශාලාව පිරෙන්න සෙනග හිටියා. දොරවල් ඇරගෙන සෙනග පොරකෑවා චිත්‍රපටය බලන්න. තවත් සීයකට විතර ආපසු යන්න සිදු වුණා. සිනමා ශාලාවේ හිටගෙනත් තවත් පිරිසක් නැරඹද්දි මමත් ප්‍රේක්ෂකයන් සමඟින් පඩිපෙලේ බිම වාඩි වෙලා මගේම චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹුවා. ඒකත් මම මගේ ජීවිතයේ ලද කිසිදිනෙක අමතක නොවන විශේෂ සිදුවීමක්. සුන්දර අත්දැකීමක්.

මෝටර් බයිසිකල්හි ඉලක්කය තාරුණ්‍යයද?

සාක් චිත්‍රපට උළෙලේ මෝටර් බයිසිකල් ප්‍රදර්ශනයෙන් පසුව සමහර අයගේ අදහස් මට කොළවල ලියලා දුන්නා. සමහරුන් ඇවිත් තම අදහස් පළ කළා. ඒ අදහස් දැක්වූ අය අතරේ විවිධ වයස් මට්ටම්වල පුද්ගලයන් සිටියා. මේක ආදරය කරන චිත්‍රපටයක් කියලා කියන්න බැහැ. ඒ වගේම තාරුණ්‍යයට මේක ලඝු කරන්නත් බැහැ. මේක බාල, මහළු, වැඩිහිටි හැමෝම නියෝජනය කරන චිත්‍රපටයක්. ඕනිම තරාතිරමක අයෙකුට නරඹන්න පුළුවන් චිත්‍රපටයක්. මම චිත්‍රපටය හැදුවෙත් ඒ අදහස ඔලුවේ තියාගෙන.

පළමු චිත්‍රපටයම සම්මානනීය වීම කොහොමද දැනුණේ?

මේ චිත්‍රපටය සම්මානයට පාත්‍ර වෙන්න හේතුව තමයි චිත්‍රපටයට මා තුළ වූ අවංකකම. මම මේ චිත්‍රපටයට පුදුමාකාර විදියට අවංකයි. කියන්න ඕනි දේ බොහොම අව්‍යාජව මේ චිත්‍රපටයෙන් කියලා තියෙනවා. නැරඹූ ප්‍රේක්ෂකයන්ගේ අදහස වුනෙත් මේ අධ්‍යක්ෂවරයා ගොඩක් අවංකයි කියලයි. මං හිතන්නේ මේක දැවෙන තරුණ ප්‍රශ්නයක්. බොහොම සරළ සිනමා භාවිතාවක් හරහා ප්‍රේක්ෂකයාට එය ඉදිරිපත් කිරීම වෙනුවෙනුයි මේ සම්මානය මට හමු වුණේ. ඉන්දියාව වැනි සිනමාව අතින් ඉහළ සිටින රටකින් ඉදිරිපත් කළ නිර්මාණ කිහිපයක්ම තිබුණා. තවත් රටවල් හයක නිර්මාණ මෙය නියෝජනය කළා. මෙහිදී මතු වූ මිනිස් ගුණය මනුෂ්‍ය හදවත් තුළට දැනුණා. මං හිතන්නේ ඒ හෘද ස්පන්දනය තමයි මේ චිත්‍රපටය දකුණු ආසියාවේ හොඳම චිත්‍රපටය ලෙසින් සම්මානයට පාත්‍ර වෙන්න හේතුව වුණේ කියලා මම හිතනවා.

ඔබ ප්‍රේක්ෂකයෙකු ලෙසින් සාක් සිනමා උළෙල දකින්නේ කෙළෙසද?

මම එහි සිනමා නිර්මාණ කිහිපයක්ම නැරඹුවා. එහිදී ඉන්දිය චිත්‍රපට කිහිපයක් මගේ හිත දිනා ගත්තා. මම ගෙදර ගියාම ස්වයං විවේචනයක යෙදුනා. ඒ චිත්‍රපටවල විවිධ හේතු නිසා ඒවා සම්මාන හිමි විය නොහැකි බව මට අවබෝධ වුණා. මම කළ තක්සේරුව නිවැරදි බව සාක් චිත්‍රපට උළෙල අවසාන දිනයේදී මට දැණුනා.

ඔබ මෝටර් බයිසිකල් චිත්‍රපටය හැදුවෙත් සම්මාන උළෙල බලාගෙනද?

මම චිත්‍රපට හැදුවේ සම්මාන බලාගෙන නෙවෙයි. හැබැයි සම්මාන කියන්නේ අධ්‍යක්ෂවයෙක් උත්තේජනය කරන්න පුළුවන් ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට ධෛර්ය ඇති කරවන දෙයක්. සම්මානයට පාත්‍ර වීම හොඳයි. චිත්‍රපටයේ හොඳ ගුණයක් තියෙන නිසානේ සම්මානයට පාත්‍ර වෙන්නේ. හැබැයි මම මෝටර් සයිිකල් චිත්‍රපටය හැදුවේ මේ රටේ පේමන්ට් එකේ ඉන්න, ත්‍රීවිල් එක දුවන, මුට්ට කරගහන, කම්කරු වැඩකරන ආදී හැම මට්ටමකම මිනිස්සුන්ට. මෝටර් බයිසිකල් තුන්වැනි පන්තියේ ජීවත් වන ඉතාම සාමාන්‍ය ප්‍රේක්ෂකයාගේ සිට ඉහළ බුද්ධි මට්ටමෙන් පිරිපුන් වූ ඕනෑම ප්‍රේක්ෂකාගාරයක් දක්වා අරගෙන යන්න පුළුවන්.

තරුණ නිර්මාණකරුවන්ට නිර්මාණකරණයට හොඳ පරිසරයත් අපේ රටේ තියෙනවාද?

ඇත්තටම කියනවා නම් නවකයන්ට චිත්‍රපට කරන්න පරිසරයක් නැහැ. චිත්‍රපට කරනවාට වඩා හොඳයි නොකර ඉන්න එක. මේ වනවිට මමත් චිත්‍රපටයක් කරලා තියෙනවා. නමුත් ඒ දෙය සමඟ ඇති වූ යම් යම් සිදුවීම් සමඟ මම බොහෝ කණගාටුදායක සිදුවීම්වලට මුහුණදීලා තියෙනවා. අපි චිත්‍රපට හදලා පෞද්ගලිකව සතුටු වුණාට මේක විශාල මුදලක් ආයෝජනය කරලා කරන කර්මාන්තයක්. ඒ සඳහා නිෂ්පාදකයෙක් ඉන්න ඕනි. මුදලට සාධාරණයක් වෙන්න ඕනි. වෙළෙඳ පොළක් තියෙන්න ඕනි. නමුත් මේ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් අපේ රටේ නිර්මාණය වෙලා නැහැ. මං වගේ තරුණ සිනමාකරුවන්ට අවස්ථා අඩුයි. මං වගේ චිත්‍රපට හදාගෙන ඒක එළිදක්වන්න නොහැකි ගොඩක් අය ඉන්නවා. හැබැයි මෝටර් බයිසිකල් ගැන දැන් අවධානය යොමු වෙලා තියෙන්නේ දකුණු ආසියාවේ හොඳම චිත්‍රපටය වූ නිසා. මේ සම්මානයට පාත්‍රවෙන කල් කවුරුවත් මෝටර් බයිසිකල් චිත්‍රපටය ගැන කතා කළේ නැහැ. අඩු ගාණේ තැනකට ගියාම මාවවත් ගණන් ගත්තේ නැහැ. ඒත තමයි ඇත්තම කතන්දරේ. නමුත් දැන් එහෙම නැහැ. දැන් චිත්‍රපටය පෙන්වන තැන දක්වා අවධානය යොමු වෙලා තියෙනවා.

සිනමාවට පිවිසෙන්න බලාපොරොත්තුව ඇති වූණේ?

පුංචි කාලයේ පටන්ම මම සිහින දකින්න ගොඩක් කැමැතියි. මම විෂුවල් එක්ක ජීවත් වෙන තරුණයෙක්. මගේ ගොඩක් දේ හීනත් සමඟ තමයි තියෙන්නේ. මගේ හිතේ පුංචි කාලේ පටන් තිබුණු දෙයක් තමයි රූප මාධ්‍යයෙන් මොකක් හරි කරන්න පුළුවන් කියන දේ. මා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් දක්වා කැඳවා ගෙන එන්නේ ඒ ගුණය තමයි. මම චිත්‍රපට නරඹලා. රංගන ශිල්පියෙක් විදියට රංගනයේ නිරත වෙලා, කෙටි නාට්‍ය නිර්මාණය කරලා, කෙටි චිත්‍රපට නිර්මාණය කරලා, සහාය අධ්‍යක්ෂවරයෙක් විදියට කටයුතු කරලා ඒ දැනුම ලබා ගෙන තමයි චිත්‍රපටය නිර්මාණය කරන්නේ. තවමත් ඒ රූප ගුණය මා තුළ තිබෙන බව මං හිතනවා.

මේ දක්වා පැමිණි ගමන සිහිපත් කළොත්?

මුලින්ම මම බ්ලූ මැන්ඩල් කුණු කන්ද පිළිබඳව කෙටි චිත්‍රපටයක් නිර්මාණ කළා. එය Behined the Garbage Mount (කුණු කන්ද පිටුපස) නම් වුණා. අනතුරුව සැතපුම් හය නමින් කෙටි චිත්‍රපටය කළා. ඒක අජෙන්ඩා 14 සම්මාන උළෙලේ ජූරි සම්මානය, රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙලේ වසරේ හොඳම කෙටි චිත්‍රපටය ලෙසින් සම්මානනීය වුණා. ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ කෙටි චිත්‍රපට උළෙලේ හොඳහ කෙටි චිත්‍රපටය ලෙසින් ජූරි සම්මානය ලැබුණා. ඒ වගේම විදේශීය අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල පහක තරඟකාරී අංශය නියෝජනය කළා. අනතුරුව තමයි මම වෘතාන්ත චිත්‍රපට නිර්මාණයට පිවිසුනේ. ඒ මෝටර් බයිසිකල් රචනය කර අධ්‍යක්ෂණය කරමින්.

තරුණ සිනමාකරුවෙක් විදියට සිනමාවෙන් සමාජයට කළ හැකි දේ ඔබ දකින්නේ කෙළෙසද?

සිනමාව කියන්නේ සමාජයට ඉතා පුළුල් බලපෑමක් කරන්න පුළුවන් මාධ්‍යයක්. මම හිතනවා සිනමා නිර්මාණයකින් මනුෂ්‍යයෙකුගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් බව සිනමාව කියන්නේ එවැනි ප්‍රභල බලපෑමක් කරන්න පුළුවන් අවියක්. අපේ ජීවිත ගැන වෙනස් විදියට හිතන්න, අපව වෙනත් මාර්ගවලින් ඔසවා තබන්න හැකි ශක්තියක් සිනමා නිර්මාණයක් ඇතුළේ තියෙනවා.

සාක් සිනමා උළෙලේ අත්දැකීම් ගැන ආයෙමත් කතා කළොත්?

සාක් සිනමා උළෙලේ චිත්‍රපට ප්‍රදර්ශනය කළේ බ්ලූරේ තාක්ෂණයෙන්. මම මෝටර් බයිසිකල් චිත්‍රපටය හැදුවේ ඩිජිටල් තාක්ෂණයෙන්. ලංකාවේ තවත් අධ්‍යක්ෂවරු කිහිපදෙනෙක්ම මෙවර උළෙලට ඉදිරිපත් වුණත් මේ හේතුව නිසා ඔවුන් තම නිර්මාණ ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කළා. මගේ චිත්‍රපටය හැදුවට කවුරුවත් දැකලා තිබුණේ නැහැ. මේක බලන්න උනන්දුවෙන් ප්‍රේක්ෂක පිරිසක් හිටියා. හොඳ ප්‍රමිතියකින් චිත්‍රපටය නිර්මාණය කරලා බ්ලූරේ වගේ තාක්ෂණයකින් චිත්‍රපටය පෙන්වන විට මෙහි රූප ගුණය වෙනස් වෙලා චිත්‍රපටයට හානියක් වෙයි කියලා මම බය වුණා.

ලොකු අවධානමක් අරගෙන මම තීරණය කළා බ්ලූරේ තාක්ෂණයෙන් චිත්‍රපටය පෙන්වනවා කියලා. එය සාක් සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය ලෙසින් මෝටර් සයිිකල් සම්මානනීය වුණා. එදා මම ගත් අවධානාත්මක තීරණය නිසා අද වන විට එය ලොකු සමාජ අවධානයක් දිනාගෙන සිටිනවා.

සාක් සිනමා උළෙල වැනි සිනමා උළෙලක් අපේ රටට වගේම ඔබ වැනි කිර්මාණකරුවන්ට වැදගත් වන්නේ කොහොමද?

ඇත්ත වශයෙන්ම ඉන්දියාව වැනි රටක් ගත්තොත් සිනමා කර්මාන්තයෙන් ඉදිරියෙන් සිටින රටක්. ඉන්දියාවේ ප්‍රාන්තවල පවා සිනමා සම්මාන උළෙල රාශියක් පැවැත්වෙනවා. අපේ රටට එවැනි ජාතික චිත්‍රපට උළෙලක් නැහැ. කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට හැරුණාම අපට තියෙන්නේ සාක් චිත්‍රපට උළෙල. එවැනි චිත්‍රපට උළෙල අපට ගොඩක් වැදගත්. සිනමාකරුවෙක්ට තම නිර්මාණයක් ප්‍රදර්ශනය කරන්න අවධානය දිනා ගන්න හොඳ අවස්ථාවක් ලෙසින් මම මේ සිනමා උළෙල දකිනවා. මෙවැනි සිනමා උළෙල සිනමා කර්මාන්තයට වගේම සිනමාකරුවන්ගේ ප්‍රගමනයට හොඳ අවස්ථාවක්. ඒවගේම ප්‍රේක්ෂකයන්ටත් වටිනා අවස්ථාවක්.

එදා සම්මාන උළෙලේදී ඉඩ නැතිව ආපසු ගිය පේ‍්‍රක්ෂකයන්ට වගේම මෝටර් බයිසිකල් නරඹන්න ආසාවෙන් සිටින අනෙකුත් ප්‍රේක්ෂකයන්ට එය දකින්න ලැබෙන්නේ කවදාද?

චිත්‍රපටය ලියමින් හීන මවමින් සිටි කාලයේ සිට අද මේ සම්මානයට පාත්‍ර වූ අවස්ථාව දක්වා ගමන් කළ ගමන් මාර්ගය ඉතාම දුෂ්කර කටුක ගමන් මාර්ගයක්. සමහර තැන්වලදී අතහැරලා දාලා පළා යන්න සිතූ අවස්ථා අපමණයි. ඒ වුණත් නොකඩවා මම විශාල අරගලයක නිරත වුණා. අද වන විට එය සාර්ථක වෙලා මල්ඵල ගැනවෙමින් සිටින්නේ. හැබැයි ඒ මල් පූදන වගකීම තියෙන්නේ මට නෙවෙයි. මේ සම්මානයේ කීර්තිය මට නෙවෙයි ශ්‍රී ලංකාවට අයිති එකක්. සාක් චිත්‍රපට උළෙල පුරාවට රට ගැන කියලා ඊට පසුවයි මගේ නම කියන්නේ. මේ සම්මානය රටට හිමිවූ ගෞරවයක්. එය ආරක්ෂා කිරීම ජාතික වගකීමක්.

ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් සඳහන් කළොත්?

අලුත් චිත්‍රපට කරන්න කතා තේමා රැසක් මා ළඟ තියෙනවා. ඒ වුණත් තවත් නිර්මාණයක් ගැන හිතන්නෙ මෝටර් බයිසිකල් ප්‍රදර්ශනයෙන් පසුවයි. ආප්ප හදනවා වගේ චිත්‍රපට හදන්න බැහැ. එහෙම චිත්‍රපට හදලත් වැඩක් නැහැ.