වර්ෂ 2015 ක්වූ ජූනි 11 වැනිදා බ්‍රහස්පතින්දා




අප්‍රසිද්ධියේ එන කතාවක්

අප්‍රසිද්ධියේ එන කතාවක්

නළුවෙක් හෝ නිළියක් යම් චිත්‍රපටයකට දායක වුණාම ප්‍රේක්ෂකයන්ට කියන්නේ චිත්‍රපටය බලන්න. ඒක ඔබට වෙනස්ම අත්දැකීමක් ගෙන ඒවි වැනි වූ දේවල්. විද්‍යා බාලන් බොලිවුඩ් සිනමාවට අපූරු සුන්දරත්වයක් ගෙන එන රංගන ශිල්පිනියක්.

ඇය පසුගියදා රංගනයෙන් දායක වුණේ මොහිත් සූරි අධ්‍යක්ෂණය කරන Hamari Adhuri Kahani (හමාරි අධුරි කහානි) චිත්‍රපටයට. එහි ඉම්රාන් හෂ්මි සමඟිනුයි ඇය රංගනයේ නිරත වුණේ. නමුත් ඒ රංගනය ගැන නම් විද්‍යා කියන්නේ වෙනස්ම කතාවක්.

Hamari Adhuri Kahani චිත්‍රපටය රළු චිත්‍රපටයක් කියලයි විද්‍යා නම් කියන්නේ. ඒ නිසාම මේ සිනමා නිර්මාණයට උවමනාවෙන්ම ලොකු ප්‍රසිද්ධියක් ලබා දෙන්නත් කටයුතු කරලා නැහැ. පරාර්ථකාමී ආදර කතාවක් ගෙන එන හමාරි අධුරි කහානි හෙට (12) සිට තිරගත කරන්න සූදානම්.

නමුත් මේ චිත්‍රපටයට ලොකු ප්‍රසිද්ධියක් දෙන්න චිත්‍රපට කණ්ඩායමේ බලාපොරොත්තුවකුත් නැති බවයි පේන්නේ. වෙනත් චිත්‍රපටවල වගේ ලොකු උත්සව තියලා මේක ප්‍රසිද්ධ කරන එකක් නැහැ. රූපවාහිනි වැඩසටහන් වලින් තමයි ඔවුන් මේ වෙනුවෙන් ප්‍රචාරය දෙන්න බලාපොරොත්තු වෙන්නේ.

ඒ වුනත් ඉන්දියාවේත් අපේ රටේ වගේ රූපවාහිනිය වටා සිටින ප්‍රේක්ෂක ප්‍රමාණය විශාල නිසා ඒකත් හොඳ ප්‍රචාරයක් වේවි.