වර්ෂ 2015 ක්වූ ජූනි 11 වැනිදා බ්‍රහස්පතින්දා




මේ සිකුරාදා අපේ සිනමාවට එක්වන අලුත්ම පෙම් යුවළ

මේ සිකුරාදා අපේ සිනමාවට එක්වන අලුත්ම පෙම් යුවළ

රඟපෑම රස්සාවක් විතරක් නෙවෙයි වගකීමක්

හේමාල් රණසිංහ

සිංහල සිනමාවේ ‘සුපිරි තරු’ සංකල්පය අද බිඳ වැටී ගොසිනි. ‘සිහින කුමරා’ කොහෙදෝ සැඟව ගිය සෙයකි. සැබෑ වීරයාද, ආදරණීය සුපෙම්වතාද රිදී තිරය මත පෙර සේ තම භූමිකාවන් යාවත්කාලීන කරන බවක් පෙනෙන්නට නැත. මේ නිසා රන්ජන් රාමනායකගෙන් පසු ජනප්‍රිය සිනමාව නියෝජනය කරන්නට එකී කුසලතාවන්ගෙන් සපිරි, සුපිරි නළුවකු බිහි නොවූ බව පොදු පිළිගැනීමය.

එහෙත් මේ අඩුව මකාලමින් හෙට සැඳෑයාමයේ අපේ සිනමා අඹරට අලුත් තරුවක් පායනු අත. ඒ නිසැකයෙන්ම ලාංකික සිනමාවේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන ‘ප්‍රවේගය’ චිත්‍රපටය සමගිනි. සොඳුරු පෙම්වතාද, සුපිරි වීරයාද ලෙසින් එහි ප්‍රධාන භූමිකාව රඟන ඔහු යොවුන් රංගන ශිල්පී හේමාල් රණසිංහය. මේ ආදරණීය කතාබහ ඔහු සමඟිනි.

අපි ඔබේ පෞද්ගලික තොරතුරු ටිකක් මුලින්ම කතා කරමු...?

මම උපන්නේ මාතලේ. මගේ පියා ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඔහු 2010 වසරේදී අපෙන් වෙන්වුණා. මවත් ආයුර්වේද වෛද්‍යවරියක්. අපේ පවුලේ මාත් එක්ක කොල්ලොම හතර දෙනයි. අය්යලා දෙන්නා පෞද්ගලික ආයතනවල සේවය කරනවා. මල්ලී ආයුර්වේදය හදාරනවා.

කොහොමද හේමාල්ගේ පාසල් කාලය...?

මම අධ්‍යාපනය ලැබුවේ මාතලේ සාන්ත තෝමස් විදුහලෙන්. ඇත්තටම පාසල් කාලයේ මම ගොඩක් නැඹුරු වෙලා හිටියේ ක්‍රීඩාවට. මම ඇත්ලටික් ටීම් එකේ හිටියා. ඒ වගේම අවුරුදු 13 න් පහළ ඉඳන් පාසලෙන් සමුගන්නා තුරු රගර් කණ්ඩායමේ ක්‍රීඩා කළා. පාසලේ අනෙක් ක්‍රීඩා කටයුතුවලටත් මම සහභාගි වුණා.

ඔබ ආත්මාරක්ෂක සටන්ක්‍රමත් පුරුදු පුහුණු වූ කෙනෙක්...?

ඔව්. මම අවුරුදු අටක් විතර ආත්මාරක්ෂක සටන් කලාව හැදෑරුවා. මුලින්ම පටන් ගත්තේ ඉන්ටර්නැෂනල් තායිකාන් කරාතේ. ඊට පස්සේ මම චයිනීස් කුංග්ෆූ කළා. ජිට් කුනේ ඩූ චූටි කාලයක් කළා. ඇත්තටම මට ඕනෑවුණා මේ හැම සටන් කලාවක් ගැනම දැන ගන්න. ඒවා අතපත ගාන්න. ඒ නිසයි මම මේ හැම සටන් කලාවක්ම හැදෑරුවේ. ඔය ටික කරගන්න අවුරුදු අටක විතර කාලයක් ගියා මට. එතනින් නතර වුණා කියලා නෙවෙයි මම කියන්නේ. තවමත් මම ඉඩ ලැබෙන විදිහට ඒ පුුහුණුවීම් හා හැදෑරීම් කරනවා.

ඔබ ශූර සටන්කරුවකු බව ‘ප්‍රවේගය’ චිත්‍රපටයෙන් අපට ඒත්තු යනවා. කවදාහරි සිනමාවට එන චේතනාවෙන්ද ඔබ එදා සටන් කලාව හැදෑරුවේ...?

ඇත්තටම එහෙම එකක් හිතාගෙන නෙවෙයි. මම සිනමාවට ආදරේ කරන්න පෙළඹුණේ පුංචි කාලේ ඉඳලා. මගේ තාත්තා ඉතාමත් දැඩි සිනමාලෝලියෙක්. එතකොට මල්ලි ඉපදිලා නෑ. තාත්තා අපි හැමෝම එක්කරගෙන යනවා රෑ 9.30 දර්ශනය බලන්න. ඒ නිසා තමයි මම සිනමාව පැත්තට යොමු වෙන්නේ. හැබැයි මම සටන් කලාව හදාරන්නේ සිනමාව දිහා බලාගෙන නෙවෙයි. ඒ කියන්නේ සිනමා නළුවෙක් වෙන්න හිතාගෙන නෙවෙයි.

කවුද සිනමාවේ වීරයා වුණේ ඔබේ...?

පුංචි කාලේ මට තේරුමක් නෑ එහෙම. ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග රඟපෑ චිත්‍රපට තමයි වැඩිදුර නැරඹුවේ ඒ කාලේ. ඒත් මෙයා තමයි මගේ වීරයා වෙන්න ඕනෑ කියලා, එහෙම සිතිවිල්ලක් මගෙ තිබුණේ නෑ. ආකර්ෂණයක් තියෙන හැමෝම මම දැක්කේ වීරයෙක් හැටියට. ඒ හැමෝම මම දැක්කේ දැවැන්ත විදිහට.

ඒත් සටන් කලාව හදාරපු නිසාම මම හිතන්නේ බෲස් ලී වගේ කෙනෙක්නම් ඔබේ වීරයෙක් වෙන්නට ඇති...?

ඔව්. අනිවාර්යයෙන්ම. සිනමාවේ වීරයා බිහි වෙන්නෙත් සටන් කලාව නිසානේ. ඇත්තම කියනවානම් මම බෲස් ලී ගේ චිත්‍රපට සේරම නැරඹුවා. ඒත් මම ඔහුගේ චිත්‍රපටයක් මුලින්ම බලන්න ගියේ බෲස් ලී ගේ චිත්‍රපටයක් බලන්න යනවා කියලා නෙවෙයි. ඒක ෆයිට් තිබුණ චිත්‍රපටයක් නිසා. පස්සේ බෲස් ලී මේ සටන් කලාවේ නිර්මාතෘ නිසා ඔහු මොනවද කරලා තියෙන්නේ කියලා බලන්න තමයි අනෙක් චිත්‍රපට නැරඹුවේ.

කොහොම වුණත් සිනමා නළුවකු වීම අහම්බයක් නොවේ කියලා ඔබ කියනවා...?

අහම්බයක් නෙවෙයි කිව්වේ. පුංචි කාලේ ඉඳන්ම මම ඇවිදින්න, කොන්ඩේ පීරන්න, අඳින්න පළඳින්න උත්සහ කළේ සිනමාවේ මම දැකපු ප්‍රිය කරපු චරිත විදිහට. එතකොට නිරායාසයෙන්ම ආසාවක් ඇතිවුණා. ඒ අය මොනවද කියන්නේ, මොනදේ කරන්නේ කියලා කුතුහලයෙන් මම බලාගෙන හිටියේ. ස්කෝලේ යන කාලෙත් මම හැසිරුණේ ඒ විදිහට. ඒක ලොකු පිස්සුවක්. ඒක තමයි අද මම මෙතන ඉන්න හේතුව.

කොහොමද ඔබ සිනමාවට සම්බන්ධ වෙන්නේ...?

ආර්. සදේශ් කුමාර්ගේ පළමුවැනි නිෂ්පාදනය වුණු ‘සුපර් සික්ස්’ චිත්‍රපටයෙන් තමයි මම සිනමා රංගනයට පිවිසුනේ. සංදේශ්ගේ වගේම මගෙත් පළමුවැනි චිත්‍රපටය ඒක. ඒ චිත්‍රපටයට දායක වෙන්නට පෙර මම ‘මිස්ටර් වර්ල්ඩ්’ තරගාවලියට දකුණු කොරියාවට ගිහින් හිටියේ. ඊට කලින් මම චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. නමුත් ඒකට මම කැමැති වුණේ නෑ. කොහොම හරි ‘සුපර් සික්ස්’ තිර නාටකය කියෙව්වාට පස්සේ මම ඒකට කැමැති වුණා. ඒක ප්‍රධාන චරිතයක් නෙවෙයි උප ප්‍රධාන චරිතයක්.

ඒ වෙනකොට ඔබ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් සිටියේ...?

දවස් පහළොවක් ‘සුපර් සික්ස්’ චිත්‍රපටයේ රූගත කිරීම් තිබුණා. ඇත්තටම ආයතනයේ පරිපාලකයන්ගෙන් මට ලොකු සහයෝගයක්, නිදහසක් ලැබුණා ඒ කටයුතු සඳහා. හැබැයි මට තීරණයක් ගන්න තිබුණා රැකියාවද? සිනමාවද? කියලා. මොකද එකක් තෝරගෙන ඒ දේ ලොකු කැපවීමකින්, හරියට කරන්නයි මට අවශ්‍ය වුණේ. ඒ නිසා රැකියාවට සමුදීලා සීයට සීයක්ම සිනමාවට දායකත්වය දෙන්න මම තීරණය කළා.

ගෙදරින් ප්‍රශ්නයක් වුණේ නෑ...?

තාත්තා සිනමාවට කොයි තරම් ආදරේ වුණත් එයාට බියක් තිබුණා. මට රැකියාවට සමුදීලා සිනමාව තෝරා ගන්න තීරණය කරපු එක ගැන. එයා ඇහුවා මගෙන් සිනමාව තෝරාගෙන ජීවිතයට ප්‍රශ්නයක් වෙයිද කියලා. මම ඒ අභියෝගය බාර ගත්තාම ඔහු ඒකට විරුද්ධ වුණේ නෑ.

මේ චිත්‍රපටයේ විශේෂ දර්ශන නැරඹූ බොහෝ දෙනෙක් ඔබේ රඟපෑම් පිළිබඳ කතාබහ කළේ ප්‍රශංසාත්මකව. සිනමාවේ වීරයා යළි ඉපදිලා කියලා සමහරු කිව්වා. සුපිරි තරුවක් බිහි වී ඇති බව ඇතැමුන් ප්‍රකාශ කළා. මම හිත්න්නේ ඔබට අපේ අනාගත සිනමාවේ බෙහෝ දේවල් කළ හැකියි...?

ඇත්තටම ඒ ප්‍රකාශයන් ගැන මට හරි සතුටුයි. මම විශ්වාස කරන්නේ ප්‍රේක්ෂකයා තමයි ඒ දේවල් තීරණය කළ යුත්තේ. අපි කරන්නේ නිර්මාණයකට දායක්තවය දීම පමණයි. එතකොට අපේ වගකීම තමයි උපරිම කැපවීමෙන් ඒක කිරීම. මොකද මේක අපේ රස්සාව විතරක් නෙවෙයිනේ. මේක වගකීමක් හැටියට තමයි මම සළකන්නේ. ඒ වගකීම හරිහැටි ඉටුකළාද කියලා ප්‍රේක්ෂකයා තමයි තීරණය කළ යුත්තේ. ප්‍රේක්ෂකයා තීරණය කරාවි මේ ගමන යන්න මට උදව් කරන්න ඕනෑද නැද්ද කියලා. ඒ හැම දෙයක්ම ම හදවතින්ම බාර ගන්නවා. ඒක නිසා ප්‍රේක්ෂකයාට උපරිම දෙයක් දෙන්න මම කැපවෙනවා.

ප්‍රේක්ෂක මතය කුමක් වුවත් ඔබ සිනමාවේ හොඳ දෙයක් කළාය කියන විශ්වාසය ඔබ තුළ නැද්ද...?

මම චරිතයක් බාර ගන්නේ හේමාල් රණසිංහ කියන චරිතයෙන් මිදිලා වෙනත් චරිතයක් නිරූපණය කළ හැකිනම් පමණයි. මෙතෙක් මම රඟපෑ චරිතවලට උපරිම සාධාරණයක් කළා කියන විශ්වාසය මගේ තියෙනවා. ඒත් ප්‍රේක්ෂකයා එය දකින්නේ විවිධ කෝණවලින්. මගේ උපරිම දක්ෂතාවයන්ට කෙනෙක් මගේ දුර්වලතාවයකුත් දකින්න පුළුවන්. ඒ නිසා මම විමසිල්ලෙන් ඉන්නේ මේ චිත්‍රපටය නරඹලා එන පළමුවැනි දුරකතන ඇමැතුම මොනවගේ එකක් වෙයිද කියලා. අවසානයට එන ජචතත එකත් මොනවගේද කියලා මම බලාගෙන ඉන්නවා.

වෘත්තිය සිනමා නළුවෙක් වෙන්න ඔබ ගත් තීරණය නිවැරදියි කියලා හිතෙනවාද...?

ඒ තීරණ්‍ය ගත්ත දවසේ මට හිතුනා මම ගත්ත තීරණය හරි කියලා. ටික කලක් යනකොට හිතුනා ඒ ගත්ත තීරණය හරිද කියලා. ප්‍රශ්නාර්ථයක් සමග. ඒත් අද මම හිතනවා මම ගත්ත තීරණය නිවැරැදියි කියලා.

‘ප්‍රවේගය’ තිරගත වුණාට පස්සේ නිසැකයෙන්ම ඔබ අපේ තරුණියන්ගේ ආදරණීය චරිතයක් බවට පත්වෙනවා. ‘සිහින කුමාරයා’ වෙන්නත් හොඳටම ඉඩ කඩ තියෙනවා. යෞවනයෙක් හැටියට මොකද ආදරය ගැන හිතෙන්නේ...?

යම් යම් කාලවලදී ප්‍රේමය පිළිබඳ මමත් අත්දැකීම් ලබලා තියෙනවා. ආදරය කියන්නේ සුන්දර වගේම පූජනීය දෙයක්නේ. ඒ නිසා ආදරයට මම ගෞරව කරනවා. ජීවිතයේ හීන හඹාගෙන යනකොට මට යම් යම් දේවල් පරිත්‍යාග කරන්න සිද්ධ වුණා. ඒත් මම කිසිම කෙනෙක් රවට්ටලා නෑ.

පෙම්වතියක් නැහැ...?

දැන් එහෙම විශේෂ කෙනෙක් නෑ.

කොයිවගේ කෙනෙකුටද හේමාල් කැමැති...?

මම කවුද කියලා හොඳින් තේරුම් ගත්තු, මගේ ඉලක්කය මොකක්ද කියලා අවබෝධ කරගත්ත කෙනෙකුට තමා මම කැමැති. හේමාල් රණසිංහ කියන නළුවාට නෙවෙයි ඒ ප්‍රතිරූපය ඇතුළේ ජීවත් වෙන හැබෑ මනුෂ්‍යයාට ආදරය කරන කෙනෙකු තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම ඇය මගේ ඉලක්කය, මගේ අධිෂ්ඨානය තේරුම් ගත්ත කෙනෙක් වෙන්න ඕනෑ.

* * * * * * * * * *

සිනමාවට විතරයි මං කැමති

උදාරි

අපේ රංගන ක්ෂේත්‍රයේ උදාරි නමින් තිදෙනෙකි. ඒ උදාරි වර්ණකුලසූරිය, උදාරි කෞශල්‍යා සහ උදාරි පෙරේරායි. මේ තුන් කට්ටුවෙන් එක් උදාරි කෙනෙකු පිටුවට එක් වෙයි. ඇය අපේ සිනමාවට අලුතින්ම එක් වන කතා නායිකාව උදාරි පෙරේරායි. මේ උදාරි හෙට සිට තිරගත වන ප්‍රවේගය සිනමා සිතුවමේ හේමාල් රණසිංහගේ පෙම්වතියයි. නිතර දකින්නට නැති ඉඳහිට දකින මේ උදාරි අනෙක් උදාරිලා දෙන්නා මෙන්ම මිත්‍රශීලි යුවතියකි.

උදාරි, ප්‍රවේගයේ ඔබ කරන චරිතයට ප්‍රවේගාත්මක ප්‍රතිචාර ලබන්නට බලාපොරොත්තුවෙන් ඇති නේද?

ප්‍රවේගය කියන්නේ මගේ පළමු සිනමා නිර්මාණය. මේ සඳහා මට කතා කළේ එහි නිෂ්පාදක සදේශ් කුමාර් මහත්මයා. ඔහු මං රඟපෑ ශ්‍රී ලංකන් එයාර් ලයින් දැන්වීමක් දැකලා තිබුණා. ඒ ඔස්සේ තමයි මට ප්‍රවේගයට ආරාධනා ලැබුණේ. ප්‍රවේගය සිනමාහල්වල තිරගත වන්නට පෙර එහි විශේෂ දර්ශන කිහිපයක්ම විවිධ පාර්ශවයන්ට පෙන්නුවා. අන්න එදා සිටම මට ප්‍රවේගයට ප්‍රවේගාත්මක ප්‍රතිචාර ලැබුණා. ජීවිතයට කවදාවත් දැකපු නැති අය ළඟට ඇවිත් සුභපැතුවා. ඒ වගේම මගේ ඉදිරි ගමනට ආශිර්වාද කළා. චිත්‍රපටය ආවට පසුව ඒ ප්‍රතිචාර තවත් වැඩි වේවි. මුල්ම චිත්‍රපටයෙන්ම මෙවැනි වූ ප්‍රතිචාරයක් ලබන්න මං බොහොමත්ම වාසනාවන්ත වෙන්න ඇති.

උදාරි පෙරේරා කියලා කියන්නේ මොන වගේ කෙනෙක්ද?

පොළවේ පය ගහලා ඉන්න කෙල්ලෙක්.

ඇයි එහෙම කියන්නේ?

මිනිස්සු මගේ ගතිගුණ ගැන මගේ මූණටම කියද්දි මට එහෙම හිතෙනවා.

උදාරිට හොඳට මුල මතක ඇති?

අනිවාර්යයෙන්ම ශාන් පෙරේරා මහත්මයා ගාව නර්ථනය හැදෑරුවා. එතෙන්දි මාව දැකලා තමයි සිනිඳු පියාපත් නාට්‍යයේ සරෝජාගේ චරිතය ලැබෙන්නේ. ඒ අදින් වසර කිහිපයකට පෙර. ඊට පසුව ප්‍රවේගය. මේ කාලය ඇතුළත මුණගැසුණු මිනිස්සු කළ කී දෑ මට අද වගේ මතකයි. ඒ හින්දා හැමෝම මට කියනවා එදා වගේමයි උදාරි අදත් කියලා.

අනෙක් උදාරිලා දෙදෙනා ඔබට අභියෝගයක්ද?

තවම ඒක කියන්න බැහැ. මොකද තවම මං ක්ෂේත්‍රයට ආව අලුතනෙ.

ඒ උදාරිලා දෙදෙනාගෙන් එක් කෙනෙක් කියලා ඔබව පැටලුණු අවස්ථාවන් ගැනයි මං ඊළඟට අහන්නේ?

අපෝ ඕනෑ තරම් තියෙනවා. ඔන්න දවසක් සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමේ අමිල අයියාගෙන් දුරකකතන ඇමතුමක් ආවා. එයා කියන දේවල් හරිම අපබ්‍රංස. මට ටක් ගාලා තේරුම් ගියා මේක මට ආව කෝල් එකක් නෙවෙයි කියලා. එයා උදාරි කෞශල්‍යාට ගත්ත ඇමතුමක් වැරැදිලා මට ඇවිත්. මීට කලකට ඉස්සර නිල්වලා ආයතනයෙනුත් මට ඇමතුමක් ආවා. උදාරි වර්ණකුලසූරිය කියලා හිතලා.

ඒ උදාරිලා දෙන්නා ඔබගේ යාළුවොද?

උදාරි කෞශල්‍යා නම් යාළුවෙක්. නමුත් උදාරි වර්ණකුලසූරියව තවම මට හමු වෙලා නැහැ.

සිනිඳු පියාපත් නාට්‍යයෙන් පසුව ඔබව යළිත් දකින්නට ලැබුණේ ප්‍රවේගය චිත්‍රපටයේ. ඒ කාලය අතරතුරදී ඔබ මොකද කළේ?

මං ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනයේ රැකියාවකට ගියා. ඒ හින්දා සියලු කලා කටයුතුවලින් ඈත් වුණා.

තවමත් ඔබ රැකියාවේ නියැලෙනවාද?

නැහැ. මං දැන් ජොබ් එකෙන් අයින් වෙලා ඉන්නේ.

දුකක් හිතුණෙ නැතිද ශ්‍රී ලංකන් එයාර් ලයින් වගේ තැනකින් අයින් වෙන්න?

පොඩ්ඩක්වත් දුකක් නැහැ. මේ වන විට පොඩි නිදහස් ගතියක් තියෙනවා. මං කළේ පැය අටක රාජකාරියක් නෙවෙයි. ඒ කාලේ දවසින් වැඩි පැය ගණනක් ගත කළේ උඩු ගුවනේ. රැකියාව කරන කාලේ මගේ දායකත්වය උපරිමයෙන් ඊට ලබා දුන්නා. ඇති කියලා හිතුණා, අයින් වුණා.

වෘත්තීමය කලාකාරිණියක් වන්නද අදහස?

මා රංගනයේ යෙදෙන්නේ වෘත්තියක් විදිහටවත් විනෝදාංශයක් විදිහටවත් නෙවෙයි. මේ හැකියාව මට දෙවියන් විසින් දුන් තෑග්ගක්. මට ඕනෑ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නමක් දිනාගන්න. ඒ සඳහා මං මගේම රූපලාවන්‍ය ආයතනයක් පටන් ගත්තා. දැනට එහි වැඩ කටයුතු කරගෙන යනවා.

උදාරිගේ පදිංචිය කොහෙද?

ගම වත්තල. දැනට පදිංචිය නාවල.

පාසල?

වත්තල ශාන්ත ඈන් කන්‍යාරාමය.

උපන් දිනය?

අප්‍රේල් 23.

උදාරි විවාහකයි නේද?

ඔව්.

සැමියා ගැනත් විස්තර කියමු?

එයා ප්‍රසාද් රණසිංහ. ඔහු දැන්වීම්කරණ ආයතනයක ප්‍රධානියෙක්. ප්‍රසාද් තමයි මෑතකාලීනව බිහි වූ මියුසික් වීඩියෝස් රැසක්ම නිර්මාණය කළේ.

ප්‍රසාද් වගේ ඔබ ආස නැද්ද අධ්‍යක්ෂණයට යොමු වෙන්න?

අධ්‍යක්ෂණය පැත්තෙන් නැති වුණත් මං ඔහුගේ නිර්මාණවල අංග රචනය සහ ඇඳුම් නිර්මාණය වැනි අංශවලින් උදව් වෙනවා. ඉදිරියටත් එහෙමයි. රූපලාවන්‍ය පැත්තට තමයි මං හුඟක් දක්ෂ.

ප්‍රවේගයේ රඟපාන්න ගිහින් එක්තරා අවස්ථාවකදී හොඳටම බය වුණාලු නේද?

මං ඒ ගැන මෙහෙම විස්තර කරන්නම්. ඇත්තටම එදා මං බය නොවුණා නම් තමයි පුදුමෙ. හේමාල් අයියත් එක්ක මෝටර් බයිසිකලයේ යන්න තිබුණෙ මට. ඒ කාලේ හේමාල්ට එච්චර බයික් හුරු නැහැ. අනික වේගයෙන් බයික් එක ධාවනය කළ යුතුව තිබුණා. එදා නම් හරිම බයෙන් මං රඟපෑවේ. වාසනාවට එය ඉතාම සාර්ථකව කරන්නට ලැබුණා.

ඔබ ඇයි ටෙලි නාට්‍යවල දකින්නට නැත්තේ?

මං මේ ලොකුකමකට කියනවා නෙවෙයි. ටෙලි නාට්‍යවල රඟපාන්න මං වැඩිය ආස නැහැ. මොකද ඒවාට එකතු වෙනවා නම් එක දිගට මාස ගණනක් රඟපාන්න යන්න ඕනෑ. මට එවැනි කැප කිරීමක් කරන්න අමාරුයි. නමුත් චිත්‍රපට එහෙම නැහැ. එක දිගට දින විස්සකින් විතර ෂූටිං ඉවරයි. ඒ හින්දා සිනමාවට විතරයි මං කැමැති.

ඒ කියන්නේ ඔබව ඉදිරියේදිත් දකින්නට ලැබෙන්නේ චිත්‍රපටවලින් විතරයි?

ඔව්.

ජීවිතය දෙස ආපසු හැරිලා බලද්දී මොකද හිතෙන්නේ?

පුදුමයි. මං ගොඩක් මිනිස්සු අතරට ඇවිත්. නමුත් මං අර කලින් කිව්වා වගේ කොපමණ ඉදිරියට ගියත් තවමත් මම මමමයි.