වර්ෂ 2015 ක්වූ ජූනි 11 වැනිදා බ්‍රහස්පතින්දා




කැලණි නදිය ගලා බසී - පාලම සවිමත්ය

කැලණි නදිය ගලා බසී - පාලම සවිමත්ය

ජේ. එච්. ජයවර්ධන නැත

අධිෂ්ඨාන

මීට අවුරුදු 30 කට පමණ පෙර ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ආර්. ආර්. සමරකෝන්ගේ 'කැලණි පාලම' නාට්‍යයේ එක් වදන් පෙළක් තවමත් මගේ මතකයේ රැඳී පවතී.

'සැනසුම කොතැනද අල්ලපු ගෙදර' කිසිදු අපහසුතාවකින් තොරව, හාස්‍ය රසය උපදවමින් ජේ. එච්. ජයවර්ධනගේ මුවින් පිට වූ එම සිංහල චිත්‍රපට දෙකෙහි බැලූ බැල්මට අහිංසක බවක් රැඳී තිබුණද, එකට පැවසූ කළ ඊට වඩා වෙනස් අර්ථයක් ගම්‍ය වන බව පාසල් සිසුන් වන අපට ද වැටහිණ. ඒ මක්නිසාද යත් ජේ. එච්. ජයවර්ධන විසින් පණ පෙවූ 'මැම්බර් මහත්තයා' ගේ චරිතයේ ගති ලක්ෂණ පිළිබිඹු කළේ ඔහු සැනසුම සෙවීමට විවිධ ප්‍රයත්න ගත් බවය.

කැලණි පාලම නාට්‍යයට ගම්‍ය වූයේ කැලණි ගංතෙර නොයෙකුත් උපද්‍රවවලට ලක්වෙමින් දැඩි සමාජ හා ආර්ථික ප්‍රශ්නවලින් වෙළුණු පවුල් කීපයක් සහ දේශපාලනඥයන් විසින් ඔවුන්ට කරන බලපෑම් පිළිබඳ කතිකාවතකි. ජේ. එච්. ජයවර්ධනගේ චරිතය එහි වඩාත් කැපී පෙනුණ චරිතයක් වූ අතර, එය සාරධර්ම පිරිහුණු සමාජයක කැඩපතක් බඳු විය.

කැළණි පාලම

කැලණි පාලම බෙහෙවින්ම මතකයේ රැඳෙන නාට්‍යයක් වුවත්, එය ජයවර්ධනයන්ගේ කලා ජීවිතයේ තවත් එක් නාට්‍යයකි. මිය යන විට 94 වන වියේ පසු වූ ඔහු ගුවන් විදුලිය, වේදිකා නාට්‍ය, චිත්‍රපට හා ටෙලි නාට්‍ය ආදී සෑම ක්ෂේත්‍රයක්ම සිය රංග ශෝභාවෙන් හැඩ කළ ප්‍රතිභාපූර්ණ නළුවෙකි. කවදත් ධෛර්යවන්ත පුද්ගලයකු වූ ජයවර්ධන ග්ලූකෝමා රෝගය විසින් සිය දෑස අන්ධ කළ ද කලාවට ඇති ළැදියාව බිඳක් හෝ අඩු කළේ නැත.

ඔහු නිරූපණය කළ සමහර චරිත යම් කෙළිලොල් බවක් පෙන්වුව ද, සැබෑ ජීවිතයේ ඔහුට සිය බිරිඳ හා දරුවන් තම ජීවිතය හා සමාන විය. මිය යන තුරුම ඔහුට ආවතේව කළේ ඔහුගේ ප්‍රිය බිරිඳ වන ස්වර්ණා ජයවර්ධනය. එම දෙපළට දරුවන් දෙදෙනෙක් සිටී. ඔහු සිය මුනුපුරන් මිනිබිරියන්ට ද ඉතා සමීප විය. ඔහුගේ එක් මිනිබිරියකගේ විවාහ උත්සවයකදී ඔහු කඳුළු සැලුවේ ඇය මනමාලියක් වී සිටින අයුරු දැක ගැනීමට තම දෑස් නොපෙනීම තම සිතට දැඩි ශෝකයක් ගෙන දෙන බව පවසමිනි.

1921 වර්ෂයේදී උපත ලත් ජයවර්ධන කොළඹ ආනන්ද විදුහලේ කීර්තිමත් ආදි සිසුවකු විය. පාසැල් සමයේදී ද ඔහු කලා වැඩ කටයුතුවලට බෙහෙවින් ඇලුම් කළේය. දිගු කලක් යන්නට මත්තෙන් වෘත්තීය කලා ක්ෂේත්‍රයේ දොරටු ඔහුට විවෘත විය. එම දශකවලදී කලාවට අලුතින් පිවිසෙන්නට ගුවන් විදුලිය හා වේදිකාව තෝතැන්නක් බඳු විය. එම මාධ්‍ය ප්‍රධාන සිරාවට එක් වන සමයේදීම ජයවර්ධනගේ තාරුණ්‍ය ද ළඟා වීම විශේෂත්වයකි.

ජේ.එච් සහ බිරිය

ඔහු පළමුවෙන්ම පිවිසුණේ ගුවන් විදුලි මාධ්‍යයටයි. ගුවන් විදුලි නාට්‍ය ගණනාවක චරිත රැසකට පණ පෙවූ ජයවර්ධන වඩාත්ම ජනප්‍රිය වූයේ මොනරතැන්න ගුවන් විදුලි නාට්‍යයෙනි. පසු කලෙක ඔහු එම නාට්‍යය පාදක කරගත් චිත්‍රපටයේ ද චරිතයක් නිරූපණය කළේය. ගුවන් විදුලියේ විශේෂත්වයක් වනුයේ අසන්නා විසින් කතාව සහ ජවනිකා තම සිතෙහි මවා ගත යුතු වීමයි. ජයවර්ධන සිය චරිත තුළ ජීවත් වෙමින් එම අත්දැකීම අසන්නන්ට ලබාදීමට ඉහළින්ම සමත් විය. කිසිවකුට ඔහු නොපෙණුනත් ඔහු ගුවන් විදුලියෙන් රසිකයන්ගේ හදවත් තුළ ජීවමාන විය.

එහෙත් ජයවර්ධනගේ රංගන කුසලතා වඩාත් තීව්‍ර වූයේ වේදිකාවෙන් බව නිවැරැදි කරුණකි. මෙහිදී වරක් හොලිවුඩ් අධ්‍යක්ෂ සැමි මෙන්ඩෙස් කී දෙයක් මගේ සිහියට නැඟේ. විටෙක 'ඔබ ත්‍රිමාණ නිර්මාණ කරන්නේ නැද්ද?' යනුවෙන් විචාරකයෙකු නැඟූ ප්‍රශ්නයකට ඔහු දුන් පිළිතුර වූයේ 'ඇයි නැත්තේ. මම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කරනවා' යන්නයි. ජයවර්ධන සහ මෙන්ඩෙස් කිසිදා හමු නොවුණත් මෙන්ඩෙස්ගේ මෙම තර්කය ජයවර්ධන ඉතා හොඳින් දැන සිටියේය.

වේදිකාව ජයවර්ධනට සිය රංගන කුසලතාවන් හිනි පෙත්තටම ගෙන යාමට සැලැස් වූ අතර ඔහු නිරූපණය කළ චරිතවල ජීවත්වීමට ඔහුට වරම් ලැබිණ. ප්‍රේක්ෂකයන්ට ඔහුගේ ත්‍රිමාණ රූපය පමණක් නොව, ඔහුගේ රඟපෑමේ විවිධ පැතිකඩ දැක බලා ගත හැකි විය. ඔහු රඟපෑ නාට්‍ය 40 අතර මකරාක්ෂයා, හිරු නැති ලොව, සිහින සාප්පුව, මෝදර මෝල, අහසින් වැටුණු මිනිස්සු, ඉඩම සහ උතුරේ රාහුල හිමි වෙයි. ඔහු බොහෝ අවස්්ථාවල භික්ෂු චරිතයට යොදා ගැනුණේ ඉතා භක්තිමත් බෞද්ධයකු වූ ඔහුට නිතැතින්ම එකී චරිතවලට ඇතුළුවීමට

ජේ.එච්ගේ විවාහ මංගල්‍යය දවසේ

හැකියාවක් තිබූ නිසයි. සිනමාවේදී ඔහුට සිය රංග ප්‍රතිභාව විදහා දැක්වීමට අවස්ථා 25 කට වඩා ලැබිණ. වේදිකාවට වඩා සිනමාවේදී ජයවර්ධනයන්ගේ රංගන විලාශයන් වඩාත් ළංව බැලීමට ප්‍රේක්ෂක ජනතාවට හැකි විය. එදා රෑ (1953) ඔහුගේ පළමු චිත්‍රපටය විය. 1982 වසරේදී අධිෂ්ඨානය චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහාය නළුවාට හිමි ජනාධිපති සම්මානය ඔහුට හිමි විය. ඔහුගේ අනිකුත් චිත්‍රපට අතර හංස විලක්, සප්ත කන්‍යා, හඳයා, අයෝමා, වසන්තේ දවසක්, පාලම යට, බව දුක, ලක්ෂෙට කොඩිය, දඩයම, සුරඟන යහන, සුද්දිලාගේ කතාව, සෙයිලම සහ සති පූජා වෙයි.

හංස විලක්

1978 දී රූපවාහිනි මාධ්‍යය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබුව ද, ටෙලි නාට්‍ය යන වචනය අපගේ ශබ්ද මාලාවට එක් වූයේ 1983 වර්ෂයේදී පමණය. ජයවර්ධන රූපවාහිනි මාධ්‍යයට එක්වීමට වැඩිකල් ගත නොවිණ.

සිනමාව සහ රූපවාහිනි මාධ්‍ය අතර යම් වෙනස්කම් තිබුණත් එම මාධ්‍යයට තම දස්කම් එක් කරමින් ඔහු ලොක්කේ මාමා, සංගිලි පාලම, හිරුට මුවාවෙන් සහ දල රළ පෙළ යන ටෙලි නාට්‍ය තුළත් කැපී පෙණිනි. ලොක්කේ මාමා නාට්‍යය කොතරම් ජනප්‍රිය වී ද යත් ජයවර්ධනට බොහෝ රසිකයෝ ලොක්කේ මාමා යන නමින් ආමන්ත්‍රණය කළහ.

ජයවර්ධන සෑම මොහොතක්ම කලාව සඳහා කැප කළ අතර රසිකයන් හා සහෝදර ශිල්පීන් අතර නිරතුරු ප්‍රසාදයට පත් විය. ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අති විශාල සංඛ්‍යාවෙන් මේ බැව් මැනෙවින් පිළිබිඹු වෙයි.

එමෙන්ම ඔහුගේ අවසන් කටයුතු සිදු කෙරුණ වැලිසර සුසාන භූමියටත් බොහෝ පිරිසක් රැස් වී සිටියහ. තවමත් වේදිකාගත වෙමින් පවතින ඔහු රඟපෑ සමහර නාට්‍ය (කැලණි පාලම වැනි) වල සියලු නළු නිළියන් මේ අවස්ථාවන්ට සහභාගි වී සිටියහ. ගුවන් විදුලිය, සිනමාව, රූපවාහිනිය සහ වේදිකාව එක සේ ඒකාලෝක කළ ජයවර්ධන ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයට ඉමහත් සේවයක් කළ අයෙකි. ඔහුගේ අඩුව කලා ක්ෂේත්‍රයට ඉමහත් පාඩුවකි. අපි ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.