වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




මග දිගට රසකතා

කොරේ පිටට මරේ . . .

ටෙනිසන් කුරේ කියන්නේ කවුද කියලා ඉතින් ආයේ අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනෙ. සමහරුන්ට ටෙනීව දැක්කත් ඇති හිනා යන්න. ටෙනී සාමාන්‍යයෙන් මිත්‍ර සේනාව එකතු වුණ තැන්වලදී අතින් පයින් වැඩ දමමින් විවිධාකාරයේ හාස්‍යෝත්පාදක කතා කියලා අවට ඉන්න අයව හිනස්සනවා.

ටෙනී ඒ කාර්ය කරන්නේ පුදුමාකාර සැහැල්ලුවකින්. ඒ ටෙනී කළ හිතුවක්කාරම වැඩේ කියන්නයි මේ හදන්නේ. ඔහු උපන්තේකට මෙවන් වූ හිතවක්කාරකමක් කරන්නට නැතුව ඇති. ඔන්න අහගන්නකො සිද්ධිය මොකක්ද කියලා. නිෂ්පාදක රාජ් රණසිංහ ටෙනීට කතා කරලා චිත්‍රපටයක් කරන්න.

තැන්ක්‍යු බර්ටි චිත්‍රපටයෙන් පසුව අධ්‍යක්ෂවරයාගේ පුටුවේ පැත්ත පළාතකවත් නොඉන්න තීරණය කළ ටෙනී රාජ්ගේ ඇරැයුම ගැන එක පාරක් නොව දෙතුන් පාරක්ම හිතලා. අන්තිමේ ටෙනී තීරණය කළාලු ඒ වැඩේ බාර ගන්න. ටෙනී විසින්ම ලියපු චිත්‍රපට තිර පිටපතක් රාජ්ට දීලා.

ඒක නම් කරලා තිනේනේ එයා තමයි මෙයා ලෙසට. පසුගිය දිනෙක එහි රූගත කිරීම් පටන් ගත්තා. දවසක් දෙකක් ගත වුණා. දැන් සාමාන්‍ය පරිදි රූ ගත කිරීම් සිදු වෙනවා. සියල්ල දැහැමින් සෙමින් විනෝදයෙන් සහ කල්පනාවෙන් සිදු වෙද්දී ටෙනීව වැටුණා කියමුකො පඩි පෙළකින් බිමට.

යාන්තම් කොඳු නාරටිය සහ දෙපා ආපදාවක් නැතුව බේරුණාට එක් අතකට නම් හානි සිදු වුණා. ටෙනී මොකද කළේ චිත්‍රපටයක් රූගත කිරීම් කල්දාන එක පාඩුවක් නිසා ළඟ තිබුණු කැඩුම් බිඳුම් වෙද ශාලාවකට ගොහින් පත්තු බැඳගෙන රූගත කිරීම් කරපු එක. මේ සිද්ධිය දැනගත්තොත් ගෙදර අය බය වෙන නිසා ටෙනී නෙවෙයිලු මේ ගැන පවුලේ උදවියට කිව්වේ.

කොහොම හරි ටෙනී කැඩුණු අත සමඟින් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. මේ අතරේ රාජ් ටෙනීගේ පින්තූර දෙක තුනක් අරගෙන මූණු පොතට දාලා. අන්න එතකොට තමයි සෑහෙන්න දෙනෙක් ටෙනීට වෙච්ච අකරතැබ්බය දැනගෙන තියෙන්නේ. ඔය අතරේ එක්තරා පුද්ගලයකු ටෙනීගේ ජංගම දුරකතන අංකය හොයා ගැනිමට බැරිව ගෙදරට කතා කරලා මේ ගැන අහලා.

එතකොට තමයි ගෙදර අය මේ ගැන දැනගෙන තියෙන්නේ. එවලේ ඉඳලා ඒ අය කලබල වෙලා ටෙනීව හොයාගෙන ඇවිත් එක්ක ගෙන යන්න හදනවලුු චිත්‍රපටය රූගත කිරීම පැත්තක දාලා. ටෙනීට දැන් කොහොමවත් එන්න බැහැනෙ. මේ අලකලංචිය මැද ටෙනීට තද වෙලා මේ ආරංචිය ගෙදරට කියපු කෙනාව හෙව්වලු හොඳවයින් දෙකක් කියන්න. අන්තිිමේ ඒ කෙනා ටෙනී හොයනවාලු. හැබැයි සරසවිය පත්තරෙන් ඇහුවානම් අපට දැනගන්න පුළුවන් ඒ කෙනා කවුද කියලා.

නන්දා මාලිනී එක්ක ලස්සන මල් පිපිලාදැයි බලන්න

විශාරද නන්දා මාලිනිය පිළිබඳ අමුතුවෙන් කියන්න ටීකා, ටිප්පනි අවශ්‍ය නැහැ. ඇය අපට සිටින විශිෂ්ට ගායනවේදිනියක්. ඇය මේ දිනවල ඉතාමත් කාර්යබහුල වෙලා කියලා අපට දැනගන්නට ලැබුණා. එයට හේතුව වෙලා තියෙන්නේ වසර හයකට පසුව ඇය සංයුක්ත තැටියක් එළි දැක්වීමට සූදානම් වීම. එහි විශේෂත්වයක් තියෙනවා.

ඒ එදා කරුණාරත්න අබේසේකරයන් සරස්වතී මණ්ඩපය වෙනුවෙන් ලියූ ළමා ගීත රාශියක් ඇතුළත් වීිමයි. එම සංයුක්ත තැටිය නම් කරලා තියෙන්නේ ලස්සන මල් පිපිලා යනුවෙන්.

මෙහි නව සංගීත සංයෝජනය ආචාර්ය රෝහණ වීරසිංහයන් ගෙනි. ලස්සන මල් පිපිලා ඉදිරිපත් කරනුයේ මෙරට කීර්තිමත් ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයක් වන එම්. ඩී. ගුණසේන සමාගමයි.

විශිෂ්ට ගායිකාවක් විශිෂ්ට ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයක් සමඟ එකතු වී දායාද කිරීමට නියමිත මෙම අගනා සංයුක්ත තැටිය සැබවින්ම විශිෂ්ට එකක් වනු නොඅනුමානයි.

මෙම මස 20 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන උත්සවයකින් අනතුරුව ලස්සන මල් පිපිලා එළි දැක්වෙනු ඇත.

උපන් දින සුනඛ සාදය

තීක්ෂණ අනුරාධට වෙන්නෙම මහ අමුතුම දේවල්. එක පාරක් අනුන්ගේ කාර් එකක ගමනක් ගිහින් ඒක මඟ නතර කරගෙන කට්ටක් කෑවා. තවත් දවසක කලබලේට නෝනගේ කලිසමක් ඇඳගෙන ගෙදරින් එළියට බැස්සා.

කලකට පෙර අනුන්ගේ සිංදුවක් කියලා නඩුවක් පටලවා ගන්න ගියා. අනේ මන්දා ඉතින් . . . මෙන්න මේක තමයි තීක්ෂණගේ අකරතැබ්බ කතා පොතේ ඊළඟ පරිච්ඡේදය. උපන් දිනේ ළඟ එන හින්දා තීක්ෂණ හිතුවලු මෙදා පාර වෙනස්ම වැඩක් කරන්න ඕනෑ කියලා.

එහෙම හිතලා හිතලා මෙන්න මෙහෙම තීරණයක් ගත්තලු. 'හැමෝම දන් දෙන්නෙ මිනිස්සුන්ටනේ, මං දෙනවා සත්තුන්ට' තීක්ෂණ ඒ සොඳුරු විචිත්‍රවත් අදහස පෙරදැරිව උපන් දිනේ දවසේ සුනඛයින් රැස් කළා. (අපෙන් අහන්න එපා එහෙම කළේ සිංදුවක් කියලද කියලා. අපි නම් දන්නේ නැහැ) කොහොම හරි තීක්ෂණ මේ සුනඛ දානය බොහොම ඉහළින් පවත්වලා. එතන හිටපු ද නොහිටපු ද දන්නේ නැති සුනඛයින් දෙපොළත් තීක්ෂණට බුරාගෙන පැන්නලු.

තීක්ෂණටත් පුදුමයි. තීක්ෂණව ඩෙසට් එකට ගන්න හිතුණ ද දන්නේ නැහැ උන්ට. ඒ කතන්දරෙන් පසුව තීක්ෂණ තීිරණය කළාලු උපන් දිනය දවසේ මේ වගේ කාර්යන් නොකරන්න.

නිවසේ වැඩ පෙන්නපු නර්ස් මෝනා මෙන්න

උතුම් පැතුම් සහ ඉදිරියේදී විකාශය වීමට නියමිත අංකල් සෑම් යන ටෙලි සිතුවම්වල සොඳුරු චරිත මැවූ සමාධි පෙරේරා මේ දිනවල තවත් අපූරු චරිතයකට පණ පොවනවාලු.

අපට දැනගන්නට ලැබෙන පරිදි ඇයට මෙවර ලැබිලා තියෙන්නේ සාත්තු සේවිකාවකගේ චරිතයක්. හැබැයි ටෙලි නාට්‍යක හෝ සිනමාපටයක නම් නෙවෙයි සමාධි මේ චරිතය මවන්නේ. ඇය සාස්තු සේවිකාවක් වෙලා තියෙන්නේ සැබෑ ජීවිතයේ. ඒකෙන් අපි අදහස් කළේ සමාධි වෘත්තීය මට්ටමේ සාත්තු සේවිකාවක් වුණා කියන එක නම් නෙවෙයි.

එහෙනම් කොහොමද? ඔබ මගෙන් අසාවි. අහගන්නකො මේකයි වෙලා තියෙන්නේ. සමාධිගේ ආදරණීය මව හදිසි අනතුරකට පත් වෙලා. මල්ලියි තාත්තයි රාජකාරිවල නියැලෙන හින්දා ඇය තීරණය කළාලු පුළුවන් තරම් කාලයක් ගෙදර රැඳෙමින් අම්මට සාත්තු කරන්න.

දැනගන්නට ලැබෙන පරිදි සමාධිට දැන් ප්‍රථමාධාර කටයුතු එහෙම හොඳට පුළුවන්ලු. මේ අතරේ සමාධිගේ නාට්‍යවල ඉන්න පිරිස බය වෙලා ඇය නාට්‍ය අතහැර හෙදියක් වන්නට යාවිදෝ කියලා. තවමත් පසු වන්නේ ඉගෙන ගන්න වයසේ නිසා සමාධිත් ඒ ගැන හිත හිත ඉන්නවලු.

ගුරුවරයකු වූ දයාන්

දයාන් විතරණ සිය කාචයේ සනිටුහන් කරගන්නා සේයාරූ ඉතාම කලාත්මකයි. අපේ පත්තරේ මුල් පිටුවේ ඔහු ගත් අනගි ඡායාරූප බොහොමයක් නිරන්තරයෙන් පළ වෙනවා.

දයාන් ගායනයට ද දක්ෂයෙක්. ඔහු ගැයූ ගීත ජනප්‍රිය වුණේ ද දයාන්ගේ සේයාරූ තරමටමයි. අපි හඳුනන්නේ ඒ ඡායාරූප ශිල්පියා සහ ගායකයාව පමණයිනේ.

ඉදිරියේදී දයාන්ව ගුරුවරයකු ලෙසට ද හඳුන්වා දීමට අපට පුළුවන් වෙනවා. ඒ තම මිතුරන් කිහිප දෙනෙකු එක්ව ඇරැඹි ෂ්ලෑෂ් ආර්ට් ආයතනයේ ඡායාරූප කලාව පිළිබඳ දයාන් නවකයින්ට උගන්වන්නට පටන් ගැනීම නිසායි.

දයාන් සාමාන්‍ය ජීවිතයේ කතබහ කරන්නේ හරිම ළයාන්විතව. ඉතින් දයාන් ගුරුවරයකු විදි'හටත් එහෙම කතා කරයි ද දන්නේ නැහැ. කොහොම නමුත් දයාන්ගෙන් ඡායාරූපකරණය පිළිබඳ ඉගෙන ගන්න ප්‍රිය කරන හැමෝටම මෙය මහඟු අවස්ථාවක් වේවි.