වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රේමය සහ රාගය අතර වෙනස ‘ප්‍රේම සැඳෑවෝ’

ප්‍රේමය සහ රාගය අතර වෙනස ‘ප්‍රේම සැඳෑවෝ’

ලොව පුරා සිනමාහල් කළඹයි

ඇනස්ටාසියා හෙවත් ඇනා වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ උපාධිය හදාරන විසි එක් හැවිරිදි තරුණියකි. එක් දිනක ඇයගේ මිතුරිය රෝගී වූ බැවින් ඇය සිය විශ්ව විද්‍යාලයේ සඟරාව සඳහා සම්මුඛ සාකච්ඡාවකට යයි.

මේ සාකච්ඡාව මුලින් කරන්නට නියමිතව තිබුණේ ඇනාගේ මිතුරියටය. එය නම් 27 හැවිරිදි බිලියනපතියකු වන ක්‍රිස්ටියන් ග්‍රේ සමඟින් වූ සම්මුඛ පරීක්ෂණයයි.

ඇනාගේ ජීවිතයේ ඇය බලාපොරොත්තු වූයේ සුන්දර වූ ආදරයකි. ඇය තම සිහින ලෝකය ගොඩ නගන්නේ ඒ සොඳුරු ආදරයෙනි. එහෙත් ක්‍රිස්ටියන්ග් හමුවීම ඇනාගේ ජීවිතය උඩු යටිකුරු වේ.

ක්‍රිස්ටියන් අසාමාන්‍ය ලිංගික ආශාවන්ට ඇබ්බැහි වූ තරුණයකි. ඇනාට සෑම විටම අවශ්‍ය වන්නේ රාගයට පමණක් සීමා නොවූ ආදරබර සබඳතාවයකි.

එකිනෙකට පරස්පර විරෝධී වූ සිදුවීම් හමුවේ ඇනා හා ක්‍රිස්ටියන්ගේ ආදර කතාවට කුමක් සිදු වන්නේද? අතිශය ශෘංගාරාත්මක ආදර කතාවක් ලෙසින් එය ගෙන එන්නේ Fifty Shades of Grey චිත්‍රපටයයි.

Fifty Shades of Grey සෑමි ටේලර් ජොන්සන්ගේ අධ්‍යක්ෂණයකි. ඩෙකොටා ජොන්සන් සහ ජෙම් ඩොරෙන් ඇනා සහ ක්‍රිස්ටියන්ගේ චරිත සඳහා පණ පොවති.

විසි පස් හැවිරිදි ඩෙකොටා සුප්‍රකට නිළි මෙලනි ග්‍රිෆිත් ගේ දියණියකි. Fifty Shades of Grey රූගැන්වීම ආරම්භ වූයේ 2013 වසරේ වැන්කුවර්හිදීය. 65 වන බර්ලින් චිත්‍රපට උළෙලින් එය ප්‍රදර්ශනය ආරම්භ කළේය.

බ්‍රිතාන්‍ය ජාතික සුප්‍රසිද්ධ ලේඛක ඊ. එල්. ජේමිස් විසින් රචිත Fifty Shades of Grey නවකතාව මෙම චිත්‍රපටයට පාදක වී ඇත. චිත්‍රපටය ද කෘතිය සේම ඉහළ ආදායම් වාර්තා පිහිටුවනු ඇති බවට නිර්මාණය ආරම්භයේදීම විචාරකයන් අදහස් පළ කර තිබුණි.

2011 වසරේ එළි දැක් වූ Fifty Shades of Grey කෘතිය ලොව පුරා පිටපත් මිලියන 100 ක් අලෙවියක් වාර්තා කළ අතර භාෂා 52 කට පරිවර්තනය කෙරිණි.

එය සිංහල භාෂාවට පරිවර්තනය වූයේ 'ප්‍රේම සැඳෑවෝ' නමිනි. පරිවර්තකයා කාන්තාරේ කුසුම ඇතුළු නවකතා රැසක් පරිවර්තනය කළ, පවන රළු විය චිත්‍රපටයේ අධ්‍යක්ෂ රංජිත් කුරුප්පුය.

Fidty Shads of Grey පසුගිය පෙබරවාරි 13 වැනිදා සිට අමෙරිකා එක්සත් ජනපදය ඇතුළුව ලොව පුරා රටවල් රැසක තිරගත වෙමින් පවතී.

මේ වන විට එහි සාර්ථකත්වය පෙන්නුම් කර තිබෙන්නේ නිර්මාණයට වැය වූ අමෙරිකානු ඩොලර් මිලියන 40 ට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ආදායමක් වාර්තා කරමිනි.

එමෙන්ම යුනිවර්සල් චිත්‍රාගාරයේ ඉහළම ආදායම් ලද චිත්‍රපට අතරට ද Fifty Shades of Grey චිත්‍රපටය ඇතුළත් වී තිබේ.

ආදායම් වාර්තා ලැබුව ද විචාරක පැසසුම් ලබන්නට මෙම චිත්‍රපටය සමත් වී නැති බව පෙනේ. පොදුවේ ගත් කළ ඔවුන් සඳහන් කරන්නේ Fifty Shades of Grey  චිත්‍රපටය විශිෂ්ට ගණයේ කලා කෘතියක් නොවන බවයි.

IMDB හි 4.2 ක් පෙන්නුම් කරන මෙය මෙටා ක්‍රිටික් හි සියයට 46 ක් සහ රොටෙන් ටොමාටෝස් හි සියයට 25 ක් ද වශයෙන් ලකුණු ලබාගෙන තිබේ. මෙහි දෙවැනි කොටස ලබන වසරේ තිරගත වනු ඇත.