වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




සැරද සුලකළ’කුරු මියුරු තෙපලෙන් රඳනා

සැරද සුලකළ’කුරු මියුරු තෙපලෙන් රඳනා

'ගම් පියසේ මට මිතුරන් සිටියත්
නුඹ විතරයි අද ආවේ තනියට
තල් කොළයේ හෙවණේ ඉඳ වාඩි වෙලා
මා දෙනෙතේ රැඳියන් සඳුණේ'

මෙයට වසරකට පමණ පෙර යාපන පළාතේ සංචාරයක යෙදෙද්දී මේ ගී පද සිහිපත් වූයේ ඉබේටමය. ගීතයට මැය යොදා තිබුණේ තිරුනෙල්වේලියේ සිට යනුවෙනි. තිරුනෙල්වේලි යනු යාපනය විශ්ව විද්‍යාලය පිහිටි අඩවියයි. ගීතයේ මුල් පද මාලාව යෙදුණේ තල් ගස 'මුදුණේ හිනැහෙන සඳුනේ' යනුවෙනි. ගීතය වික්ටර් රත්නායකයන් විසින් සංගීතවත් කරන ලද්දකි. ගායනා කරන ලද්දේ සදහටම වෙන්ව ගිය අබේවර්ධන බාලසූරිය විසිනි. මේ ගීතය රචනා වී අවුරුදු තිස් හතක්වත් ඇතැයි මගේ විශ්වාසයයි. රචනා කරන ලද්දේ සුනිල් ආරියරත්නයන් විසිනි. පසුගිය සතියේ සිය විශ්ව විද්‍යාල දිවියට සමුදුන් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මෙකී ගීතය රචනා කරන ලද්දේ එවකට යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකුව සිටියදීය.

ගත වූ තිස් හත් වසර මුළුල්ලේ මේ රටේ සමාජයීය හා දේශපාලන වශයෙන් බරපතළ වෙනස්කම් රාශියක් සිදු වූයේය. එතෙක් පැවැති ආර්ථික රටාව සහමුලින්ම වෙනස් කර විවෘත ආර්ථික රටාව පැමිණීමත් සමඟ මුළු ජීවන චක්‍රයම උඩු යටිකුරු වූයේය. පරිබාහිර වශයෙන් කුරිරු ත්‍රස්තවාදී යුද්ධයකට මේ කාලය ඇතුළත මුහුණ දුන්නේය. රටේ ආණ්ඩු ඇති විණ. නැති විණ. එතෙක් ලෝකය දුටු ඇසිදිසි සියලු සන්නිවේදන රටා හා මාධ්‍ය කරනම් පිට කරනම් ගැසුවේය. මේ කාලාන්තරය ඇතුළත පූර්වෝක්ත ගීතයේ රචකයා වූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිය දැනුමෙන්, කුසලතාවෙන් කීර්ති ප්‍රභාවත්ව දිනෙන් දින ඔපමට්ටම් වූයේය. මේ ගත වූ තිස් අට වසර මුළුල්ලේ බොහෝ ආචාර්යවරු, මහාචාර්යවරු බවට පත් වූහ. මහාචාර්යවරු බහුතරයක් නිකම්ම ආචාර්යවරු වී ගෙදර ගියහ. පිනාචාර්යවරු වැසි වැස්සාහ.

එබඳු යුගයක මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිය සේවයෙන් විශ්‍රාම ලබනුයේ සම්මානිත මහාචාර්යවරයකු හැටියටය. එපමණක් නොව පසුගිය කාලයේ සේවයෙන් විශ්‍රාම යන මහාචාර්යවරුන් වෙනුවෙන් නොලියවුණු තරම් ලිපි සංඛ්‍යාවක් මහාචාර්ය ආරියරත්නයන්ගේ ඉසිඹු ලැබීම වෙනුවෙන් ඔහුට ගෞරවයක් ලෙස ලියැවිණි. මෙයින් එක් ලිපියක් රචනා කර තිබුණේ මහාචාර්ය ආරියරත්නයන් සේවය කරනු ලැබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වත්මන් උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග වීම විශේෂ කාරණයකි.

සිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකුගේ විශ්‍රාම යෑම පිළිබඳ රටට හඬ ගා කියන්නට එහිම උප කුලවතිවරයෙක් විසින් ලියන ලද දුර්ලභ ලිපියම මහාචාර්ය ආරියරත්නයන් පිළිබඳ ඔවුන්ගේ ඇති ගෞරවය ඉහළින්ම හුවා දක්වන්නකි. පසුගිය කාලය මුළුල්ලේ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය වඩා කැපී පෙනුණේ කාරණා දෙකක් නිසාය. එකක් ශිෂ්‍ය අරගලය. දෙවැන්න මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ශාස්ත්‍රීය පර්යේෂණ ආදියෙන් ලැබූ ආලෝකයයි. මේ ශාස්ත්‍රීය පර්යේෂණ පමණක් නොව පසුගිය වසරේ විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඉදි කරන ලද වෙසක් තොරණ ද මහාචාර්ය ආරියරත්නයන්ගේ වෑයමක ප්‍රතිඵලයකි.

මහාචාර්ය සුනිල් ආරියරත්න තරම් 'සරසවිය' සමඟ සම්බන්ධ වූ අධ්‍යයතන විෂය ක්ෂේත්‍රයේ පඬිවරයකු නොමැති තරම්ය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් 'සරසවිය' ට දෙආකාරයකට නෑකම් කියන්නේය. එනම් වසර ගණනක් මුළුල්ලේ එතුමා විසින් සරසවිය හා බැඳි දයාව, කරුණාව පෙරිදැරි කරගත් හිතෛෂිවන්තකමය. අනෙක් පැත්තෙන් 'සරසවිය' පොබ කළ මහා කතුවරුන් අතර එක් අයකු වූයේ ඔහුගේ වැඩිමහල් සොහොයුරාණන් වන ජ්‍යෙෂ්ඨ පත්‍රකලාවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් වීමය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මෙරට සිනමාවේ පසුගිය වකවානුවේ බිහි වූ විශිෂ්ටතම ගේය පද රචකයාය.

සුනිල් ආරියරත්න නම් යෞවනයාගේ කලා දිවියේ ආරම්භයේ පසු පස සිටි දැවැන්තම චරිතය වූයේ තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ය. නැතහොත් අපගේ ආදරණීය තිලක් අයියාය. එහෙත් පසු කලෙක මහාචාර්ය ආරියරත්නයන්ගේ ගී පද සංකල්පනාවන්ගේ ඇති විශිෂ්ටත්වය නිසා වැඩියෙන්ම අවලාද අසනු ලැබුවේ ද තිලක් අයියාය. ඒ සරසවිය කතුවරයා හැටියටය.

පසුගිය වසර ගණනාවක ඇතුළත මෙරට චිත්‍රපට ගීත ක්ෂේත්‍රයේ මහාචාර්ය ආරියරත්න දැක් වූ දායකත්වය ඉතා ඉහළ එකකි. එය කිසිසේත්ම වාදයකට ගැනීමට තරම්වත් අවැසි මතවාදයක් නොවේ. තිලක් අයියා කර්තෘ ධුරය දරන අවධියේදී 'සරසවිය' සම්මාන උළෙලවල් පවත්වද්දී හැමවිටම හොඳම ගීත රචනයට හිමි සම්මානය පිරිනැමුණේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ටය. 'සරසවිය' සිනමා විනිශ්චය මණ්ඩලය කර්තෘ මණ්ඩලයෙන් බැහැරව පත් කරන්නකි. කිසි කලෙකත් එහි විනිශ්චය සඳහා තීන්දු කිරීමේදී විනිශ්චය මණ්ඩලයට කිසිවෙකුගේ හෝ ඇඟිල්ලක්වත් නොගෑවෙන්නට තරම් තිලක් අයියා අවංකව හා ඉතා වගකීමෙන් කටයුතු කළේය. එහෙත් ගෞරවණීය විනිශ්චය මණ්ඩලය චිත්‍රපට ගේය පද රචනය සම්මානය වෙනුවෙන් හැම විටම තෝරා ගැණුණු, ගීතයේ රචකයා වූයේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය. එයට තිලක් අයියාගේ කිසිදු සම්බන්ධයක් තිබුණේද නැත. ඇත්ත නම් එම ගීත හා සම කරන්නට කිසිදු වෙනත් චිත්‍රපට ගීතයක් තිබුණේ ද නැත.

එබැවින් මහාචාර්ය ආරියරත්නයන්ට ඒ සම්මානය පිදිය යුතුම විය. සම්මාන නොදෙනවා නම් එකම කරුණ මහාචාර්ය ආරියරත්නයන් තිලක් අයියාගේ සොහොයුරා වීමය. අනෙක් අතට ජූරියේ තීන්දුව 'සරසවිය' ප්‍රධාන කර්තෘවරයා දැන ගන්නේ ද උත්සව ශාලාවේදීය. (ඒ සම්ප්‍රදාය 'සරසවිය'ට හඳුන්වා දෙන ලද්දේ තිලක් අයියා විසිනි) එබැවින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සරසවිය සිනමා උළෙලේ ගේය පද රචනය වෙනුවෙන් සම්මාන දිනීම සිනමා ක්ෂේත්‍රයේ සිටින්නන්ට ද ප්‍රශ්නයක් නොවිණි. එමෙන්ම ඒ හා සමගාමීව පැවැත් වූ වෙනත් සිනමා උළෙලවල්හිද අදාළ වර්ෂයන්හි හොඳම ගීත රචනයට හිමි සම්මානය පිරිනැමුණේ මහාචාර්ය ආරියරත්නයන් අතින් රචනා කරන ලද ගීත සඳහාමය.

එහෙත් තරගකාරී අපරිණත වූ රචකයන්ට නම් එය මහත් ගැටලුවක් විය. ඒ සම්බන්ධයෙන් දොස් ඇසුවේ ද තිලක් අයියාය. එහෙත් සුනිල් ආරියරත්නයන්ගේ ප්‍රතිභාව චිත්‍රපට ගීත රචනය කෙරෙහි පමණක් ලඝු කොට සළකන්නේ නම් ඔහු විසින් උකහා ගත් ඥානය ලක්ෂ සංඛ්‍යාත සිසු පරම්පරාවකට පමණක් නොව මුළු මහත් දේශයටම කැප කළ ආකාරය නිර්ණය කරන්නට හැක්කේ කවර ආකාරයෙන් ද? නවකතා රචකයෙකු, ගේය පද රචකයෙකු, පරිවර්තකයෙකු, ශාස්ත්‍රීය පර්යේෂකයෙකු මෙන්ම සංගීතඥයෙකු, සිනමාකරුවෙකු ද ආදී වශයෙන් තවත් බොහෝ තැන් පුරා මහාචර්ය සුනිල් ආරියරත්නයන්ගේ ප්‍රතිභා විහිද යයි. ඔහු මේ සෑම විෂයයක් කෙරෙහිම නිරන්තරයෙන්ම අභ්‍යාසයේ යෙදෙන ශිෂ්‍යයෙක් ද වෙයි. ඒ නිසාම ඔහු යාවත්කාලීන පුද්ගලයෙක් වෙයි. චිත්‍රපට ගීත රචනය හෝ සරල ගීත රචනය හෝ වේවා ඔහු විසින් සංස්කරණය කරන ලද ග්‍රන්ථ මාලවේ හෝ වේවා එසේත් නැතිනම් ශාස්ත්‍රීය කෘති හෝ වේවා ප්‍රසිද්ධ දෙසුමකදී හෝ වේවා මහාචාර්ය ආරියරත්නයන් විසින් උපයුක්ත කොට ගන්නා වූ වදන් මාලාව අපූරු එකකි. සිංහල භාෂාවේ ළයාන්විත ස්වභාවය බොහෝ විද්වතුන්ගේ වාග් කෝෂයෙහි ද නැත. ඔහු විසින් රචනා කරන ලද ගීතයෙන් ගීතයට ඇත්තේ ඔහු සතු වාග් කෝෂයෙහි හා භාෂා වින්‍යාසයේ පුළුල් පරාසයයි.

යාපනය විශ්ව විද්‍යාලයේ එනම් තිරුනෙල්වේලියේ වියළි වැලි කාන්තාර හා දැඩි හිරු රශ්මියෙන් පීඩා විඳින සුනිල් ආරියරත්නයන් මෙරට ගීත ක්ෂේත්‍රයේ පමණක් නොව සිනමා ක්ෂේත්‍රයේ ද අස්වනු නෙළනු සමත් විය. 'තල් ගස මුදුණේ', 'මීන නුවන් යුගින් බලන්' යන ගීතත්, 'සරුංගලේ' සිනමා නිමැවුමත් එළි දකින්නේ ඒ කාලයේය. එයින් ටික කලකට පසු උතුර ගිනි ගනිද්දී එයින් බැහැර වන එතුමන් තවත් දශකයකට පසු ජීවිතාරක්ෂාව පතා රටින් පලා යන්නේ දකුණ ගිනි ගනිද්දීය. ඒ පලායෑම ආශිර්වාදයක් වනුයේ දෙමළ සාහිත්‍ය හා සංස්කෘතිය ද, සංගීතය ද පිළිබඳ අප නොදුටු අති විශාල අත්දැකීම් රාශියක් ගෙන එන්නට අවශ්‍ය දැනුම උකහා ගන්නට මේ පලා යන කාලය උපයෝගී කර ගැනීමට එතුමන් සමත්වීම නිසාය. ඔහු හැම විටම කාල තරණයක යෙදුනෙකි. කවර හෝ දුෂ්කර අවස්ථාවක වුව තම දැනුම වර්ධනය කර ගැනීමට වෙහෙස වීම වූ කලී මහා උත්තම ගුණයක් බැව් අමුතුවෙන් කිව යුතු නැත. අපේ බොහෝ උගතුන් පසේ බුදුවරුන් වැනිය. එහෙත් සුනිල් ආරියරත්නයන්ගේ දැනුම යළි අප වෙත ගලා එන්නක් විය.

ගර්හාවට ලක් වූ ගීතයෙහි නානාවිධ ස්වරූප ඔහු සමාජ ස්ථරයන්ගේ විමසුමට භාජනය කරන ලද්දේය. ගීතය සමාජ පෝෂණයෙහිලා දේවායුධයක් බවට පත් කළේය. මහා විද්වතුන් පිළිබඳ, කවීන් පිළිබඳ යළි අපි මසැස අවදිකර වූයේය. සිනමාකරුවෙකු හැටියට තරුණ කාලයේදී ඔහු වාර්තා පිහිට වූයේ එකම චිත්‍රපටයක් හෝ තිරගත වන්නට පෙර චිත්‍රපට නවයක් නිර්මාණය කරමිනි. එයින් ඔහු පාඩමක් ද උගත්තේය. සිනමාකරණය පිළිබඳ මහාචාර්ය ආරියරත්නයන්ගේ බොහෝ චිත්‍රපට සමඟ මට ඇත්තේ ආරවුලකි. මේ සිනමා කෘති අතර අතිශයෙන් අගය කළ යුතු සිනමා නිර්මාණ කිහිපයක් ද ඇති වග අමතක කළ යුතු ද නැත. ඇත්ත නම් සුනිල් ආරියරත්න නම් සිනමාකරුවාගේ නිර්මාණ ඔහුගේ සෙසු කාර්යයන් හා සසඳද්දී ඉතා කුඩා අගයක් ගන්නක්වීමය. කෙසේ වෙතුදු සමස්ත ශාස්ත්‍රීය කර්තව්‍යයන් හරහා එතුමන් සන්නද්ධ දැනුම හමුවේ අපි ඔහුගේ නිය පාමුලටවත් උස්නැත්තන් වෙමු. එතුමන් විසින් මේ භවයේදී ලබාගත් ශාස්ත්‍රීය ඥානය ලබන්නට නම් අප කෙතරම් කලක් මේ මේ සංසාර තීර්ථයෙහි යාත්‍රා කළ යුතුදැයි මම නොදනිමි.

බොහෝ කලකට ඉහත සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමග මා කළ සංවාදයකදී එතුමන් පැවසූ වදනක් මට සිහිපත් වෙයි.

'සුනිල් ආරියරත්නයන් වගේ ගීතයක් ලියන්නට පුළුවන් නම්, එබඳු කාව්‍ය සංකල්පනා මට පහළ වේ නම් මම ජීවිතයේ ලද සියලුම දේවල් ඒ වෙනුවෙන් පූජා කරන්නට කැමැතියි'.

සරසවි බිමෙන් සමුගත්ත ද සරසවිය හා නිබඳ රැඳෙන මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට චිරාත් කාලයක් ස්වකීය පර්යේෂණයන් හා ශාස්ත්‍රාලෝකයෙන් අප වැන්නවුන් ප්‍රබෝධවත් කරන්නට ශක්තිය ලැබේවා.